උපරිමාධිකරණ සංකීර්ණයේ අබිලි ද්‍රව්‍ය ගබඩාවක ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශ සමත්ව ඇති අතර ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID) හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගින්න සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට භාරදී ඇත.
සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 03 කින් විමර්ශන ක්‍රියාත්මක වේ.
අදාළ සිදුවීම ක්ෂේත්‍ර කිහිපයකට අයත් විශේෂඥයින් කණ්ඩායම් කිහිපයක් පැතිකඩ කිහිපයක් ඔස්සේ පුළුල්ව විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවැසීය.
ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයාගේ මතය, විදුලි ඉංජිනේරුවරුන්ගේ මතය සහ අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන්ගේ විද්‍යාත්මක මතය විමසීමට නියමිත බව හෙතෙම කීය.
මෙම සියලු විමර්ශන සහ සොයාබැලීම් ඔස්සේ මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි කඩිනමින් සොයාගැනීමට පියවර ගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කීවේය.
'ලේඛනාගාරයට හානියක් නැහැ'
ගින්නත් සමගම අධිකරණ සංකීර්ණයේ ලිපිගොනු ද ගිනිගෙන ඇතිබවට රාවයක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් ලෙස පැතිර ගියේය.
ගින්නත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පොස්ටුවක්.
කෙසේවුවද ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වූ අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න ප්‍රකාශකර සිටියේ, මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බවයි.
මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා ඇති බැවින් අබලි භාණ්ඩ ගබඩාවට පමණක් ගින්නෙන් හානි සිදුව ඇති බව ලේකම්වරයා පැවැසීය.
රනිල් හා සජිත් මහ රෑම ගින්න බලන්න ගිහින්.
අලුත්කඩේ පිහිටා ඇති උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න පිළිබඳව නිරීක්ෂණය කිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඊයේ (15) රාත්‍රියේ එම පරිශ්‍රයට ගොස් තිබිණ.
එම ගින්න පාලනය කිරීමට කටයුතු කළ ගිනි නිවන හමුදාව ඇතුලු සියලු පාර්ශ්වයන්ට සිය ස්තූතිය පුද කළ විපක්ෂ නායක අදාළ සිදුවීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බව අවධාරණය කළේය.