'සාධාරණ සමාජයක් සදහා වන භික්ෂූ සංසදයේ කොමඩි නාට්‍යය' යන ශීර්ෂයෙන් යුතුව දෙසැම්බර් 15 දා theleader.lk හි පළවූ විශේෂාංගයට පිළිතුරු ලිපියක් අප වෙත ලැබී තිබේ. 'පිළිතුරුදීමට ඇති අයිතිය' යටතේ එම සටහන කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත. - සංස්කාරක
ඇට මැස්සාද මැස්සෙකි - මැස්සන් වර්ග රැසකි.
මැස්සන් වර්ග රැසකි.
නිල මැස්සන් මෙන්ම ඇට මැස්සන්ද ඒ අතර වේ.
නිල මැස්සන්ගේ ප්‍රණීතම බොජුන වසුරුය.
ඇට මැස්සා වසුරු තරමටම ලේවලටද ලොල් බවක් දක්වයි.
සාධාරණ සමාජයක් සඳහා වන භික්ෂු සංසදයේ යහපත් පෙනී සිටීමක් එක්තරා ඇට මැස්සෙකුට කොමඩි නාටකයක් ලෙස පෙනී යාම කිසිවෙකු පුදුම වියයුතු නැත.
ලේ වෙනුවට යුක්තිය ඉල්ලන හැම ක්‍රියාවක්ම ඇට මැස්සෙකුට පෙනෙනු ඇත්තේ කොමඩියක් ලෙසටය.
සතාට අනුව බලන කල නම් එහි කිසි වැරද්දක් නැත.
ඒ නිසා ඒ ගැන කිසිවෙකු කලබල වියයුතු ද නැත. එ
හෙත් නිල මැස්සන් මෙන්ම මේ ඇට මැස්සන්ද තැන තැන වසුරු හැලීම ගැන නම් සැලකිලිමත් වියයුතුය.
මක් නිසාද යත් එමගින් පුද්ගල සෞඛ්‍යයට මෙන්ම සමාජ සෞඛ්‍යයටද බොහෝ සේ හානි ඇති කරලිය හැකි නිසාය.
මේ සටහන තබන්නේද ඒ නිසාය.
ඇට මැස්සාට විස වී ඇති සාධාරණ සමාජයක් සදහා වන භික්ෂු සංසදය පෙන්වාදී ඇති කරුණු මොනවා ද?
පාර්ලිමේන්තු සභාව මගින් ස්වාධීන කොමිෂන් සදහා පත්කර ඇති ඇතැම් සාමාජිකයන් දේශපාලන හෙංචයියන් බව උන්වහන්සේලා පෙන්වාදීම ගැන ඇට මැස්සාට තද වී තිබේ. ඒ තදවීම ස්වභාවිකය.
භික්ෂුන් වහන්සේලාට නිදහසේ අදහස් පලකිරීමට නොහැකි තත්වයක් උදාවි ඇතැයිද රහස් පොලීසිය පන්සල් ගානේ යමින් භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්ණ කරන බව පෙන්වා දීම ද ඇට මැස්සාට අනුව ආනන්තරීය පාපකර්මයකි.
රටේ විශිෂ්ඨ රහස් පරීක්ෂක නිලධාරියෙකු ලෙස ඇගයීමට ලක්ව සිටින ශානී අබේසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන් ගණනාවකට එරෙහිව සිදු කරන දේශපාලන පලිගැනීම නවත්වන ලෙස ඉල්ලා සිටීමෙන් ද උන්වහන්සේලා කර ඇත්තේ බරපතල වැරැද්දකි.
ඒ ඇට මැස්සාට අනුවය.
මේ රටේ අතිපූජ්‍ය මහා සංඝ රත්නය එවැනි ඉල්ලීම් කර ඇත්තේ රට වෙනුවෙනි, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි.
ඉතින් එහෙම වනවිට ඇට මැස්සෙකුට ඒවා කොමඩි ලෙස පෙනීම පුදුමයක් නැත.
එහෙත් පුදුමය නම් මිනිස්කම විත්තිකුඩුවට දමා මේ ඇට මැස්සා හරස් ප්‍රශ්ණ ඇසීමය.
එසේ අසා ඇති ප්‍රශ්ණ වන්නේ ,
ශානි අබේසේකර යහපාලන කාලයේදී දේශපාලන දඩයම් කරන විට මෙම වහන්සේලා කුමක් කලේ ද?
යහපාලන කාලයේ ශානි අබේසේකර සිදුකර ඇති දේශපාලන දඩයම් මොනවාද යැයි කියන්නේ නම් ඒ ප්‍රශ්ණය අහන්නේ ඇට මැස්සෙකු වුවත් ඊට පිලිතුරු ලබාදීම වැදගත් වනු ඇත.
පද්මිණි විනිසුරුවරිය හා රන්ජන් රාමනායක අතර සිදුව ඇතැයි කියන දුරකථන සංවාදවල අවුලක් ඇතැයි ඇට මැස්සා කියයි.
රජ බොජුන් ලෙස සලකමින් වසුරු හා අමු ලේ බුදින ඇට මැස්සෙකුට අප්පිරියා වන දේ හා අනෙක් සතුන්ට අප්පිරියා වන දේ අතර වෙනස්කම් තිබේ.
එහෙත් මිනිස්සුන්ට ඒ දෙවර්ගයම අප්පිරියා ජනකය.
අද මේ රටේ මිනිස්සුන්ට බරපතලම අප්පිරියාව ගෙනදෙන කාරණය වී ඇත්තේ ඔය කියන වැරදි ගැන කියවමින් තලු මරන ආණ්ඩුව ඒ ගැන මෙලෝ දෙයක් නොකර බලාසිටීම ගැනය.
මහා බැංකු බැදුම්කර වංචාව ගැන මෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු වැරදිකරුවන් තවමත් අත් අඩංගුවට නොගැනීම ගැන ඇට මැස්සායට කිසිම අප්පිරියාවක් නැත.
ලෝකයේ ප්‍රථම වතාවට හඬ අනුව කතානායකවරයා තීන්දු දීමක් ගැනද ඇට මැස්සා කියා තිබේ.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන හා එහි කාර්යය ස්වභාවය ගැනද ඇට මැස්සෙකුට ඇති දැනුමේ තරම
පාර්ලිමේන්තුව ගැන ලෝක ඉතිහාසයට අදාලව මැස්සෙකුට කරුණු පෙන්වා දීමේ තේරුමක් නැත.
එහෙත් ලංකාවේ නම් පාර්ලිමේන්තුව තුළ හඬ අනුව පලමු වරට ජන්දය විමසා ඇත්තේ හිටපු කතානායකවරයෙකු වන චමල් රාජපක්ෂ මහතා විසිනි.
එදා චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා පාර්ලිමේන්තුවේදී හඬ අනුව ඡන්ද විමසුවේ දේශබන්දු කරු ජයසූරිය මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදීය.
වලව්වේ වැසිකිලිය පැත්තේ ගිය විටක හෝ ඇට මැස්සාට අවශ්‍ය නම් චමල් රාජපක්ෂ මහතාගෙන්ම ඒ ගැන වැඩිදුර තොරතුරු විමසා දැනගත හැකිය.
හම්බන්තොට වරාය විකුණා දැමීමක් ගැන, මත්තල ගුවන්තොටුපල මැස්සන්ට ඇහිරෙන්න ඉඩ නොදී වී වේලිමක් ගැන මෙන්ම මහ බැංකු කොල්ලය ගැනද ඇට මැස්සා කියයි.
වරාය විකුණුවේ කවු ද ?
මහ බැංකු හොරුන්ට නිදැල්ලේ ඉන්නට ඉඩ දෙන්නේ කවුරුන් ද ?
ඒවා නම් ඇට මැස්සෙකු වුනත් දැන ගතයුතුව ඇති වැදගත් කරුණුය.
ඒ නිසා ඒ ගැන මෙතනදි අප කිසිවක් කියන්නේ නැත.
ස්වාධින මැතිවරණ කොමිෂමේ හිටපු සාමාජිකයෙකු වූ හූල් ගැන ඇට මැස්සාට මාර අවබෝධයක් තිබෙන හැඩය.
එහෙත් අප දන්නා හූල් ජන්දදායකයන්ගේ අයිතිය වෙනුවෙන් උසාවි ගොස් ඇතත් කිසිම දේශපාලන පක්ෂයක සේවකයෙක් වි නැත.
ප්‍රශ්ණය ඇත්තේ එතන නොවේ.
පොහොට්ටු කාර්යාලයේ ක්ලාක්ලා පවා කොමිෂන් සභා සාමාජිකයන් ලෙස පත්කරන කොට ඇට මැස්සාට කිසිදු ගඳක් නොදැනීමය.
ඒ අතර භික්ෂු සංසදයේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් ඇසිය යුතුම ප්‍රශ්ණයක් ද ඇට මැස්සා විසින් අසා තිබේ.
ඒ යහපාලන ආණ්ඩු සමයේ භික්ෂූන් වහන්සේලාගෙන් හිර කූඩු පුරවද්දී මුන් වහන්සේලා නිහඬව සිටියේ ඒවා ඉත සිතින් අනුමත කල නිසාද යන්නය.
අනේ ඇට මැස්සෝ,
යහපාලන ආණ්ඩු සමයේ භික්ෂුවක් වීම නිසා හිරේ දැමූ එකම එක භික්ෂූන් වහන්සේ නමක් ගැන හෝ පෙන්වා දෙමින් ඒ ප්රශණය ඇහුවානම් හොද නැද්ද?
ඒ සමඟම මේ සටහන අවසන් කරන්නට සුදුසුම වාක්‍යය අන්තිමට හෝ ලියා ඇත්තේද ඔය කියන ඇට මැස්සාමය.
ඒකා මැස්සෙක් වුනත් සතෙක් වන නිසා සතෙකුට කරන සැලකිල්ලක් ලෙස හෝ එය ඒ ආකාරයටම මෙසේ සටහන් කරමි.
අත ඊසොෆ්ගේ වුවත් හඬ ජාකොබ්ගේය.
හැබැයි ඊට වඩා ගැලපෙන්නේ මෙහෙම ලිව්වානම් ය
අත ඇට මැස්සෙකුගේ වුවත් හඬ නිලමැස්සෙකුගේ ය.
(සුංගිරාළ)
(උපුටා ගැනීම අවසන්)
සබැඳි ඇටමැස්සා සටහන