මාධ්‍ය හැසිරවීම යනු දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි.
එය ඉතා පරිස්සමෙන් කළ යුතුය.
 
මක්නිසාද ‍යත් පොඩ්ඩ එහා මෙහා වුණොත් කැපෙන්නේ කට ය.
 
රජතුමා උද්‍යානයේ විවේක සුවය විඳිමින් සිටියදී එතුමාගේ හිසේ වැසූ මැස්සා එලවන්නට මඟුල් කඩුවෙන් කෙටූ වඳුරකු පිළිබද පුවතක් ජාතක කතාවල එයි.
 
මෙය සැබෑවටම සිදුවූවක් පැහැදිලි වන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩ කරගෙන යන ආකාරය දුටු විට ය.
 
ජනාධිපති මාධ්‍ය ඒකකය අනාගෙන හමාරය.
 
එළියට දිය යුතු නිවුස් එක කුමක්ද නොදිය යුතු නිවුස් එක කුමක්ද කියා තවමත් ඔවුන්ට වටහාගත නොහැකිය.
 
මේ ඊට උදාහරණය කිහිපයකි.
 
 
චක්‍ර ලේඛ:
 
 
එක්තරා ග්‍රාමීය ප්‍රදේශයකට ජනාධිපතිවරයා ගිය අවස්ථාවක දී ප්‍රමාද වූ ජනතා අවශ්‍යතාවක් පිළිබද සාකච්ඡාවක් ඇති විය.
 
රජයේ නිලධාරින් ප්‍රමාදයට හේතු වශයෙන් ගෙනහැර පෑවේ චක්‍ර ලේඛ යි.
 
ජනාධිපතිවරයා එහිදී තදින් පැවසුවේ තමන්ගේ වචනය චක්‍ර ලේඛය ලෙස පිළිගෙන එම කාර්යය නිම කරන ලෙසයි.
 
ඔහු එලෙස පැවසුවේ එම කටයුත්ත ඉක්මනින් නිම කර ජනතාව මුහුණපාන ගැටළුවට කඩිනම් සහනයක් ලබා දීමටයි.
 
එහි කිසිදු වරදක් නැත.
 
එය එම ස්ථානය හා අදාළ අවස්ථාව අරභයා කළ ප්‍රකාශයකි.
 
එහෙත් ජනාධිපති මාධ්‍ය ඒකකය කළේ කුමක්ද ?
 
මෙම සිදුවීමට ජාතික වැදගත්කමක් ලබාදී අදාළ  පුවත ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමයි.
 
අවසානයේ මෙම පුවත අළාලා පෝස්ටු විශාල ප්‍රමාණයක් සමාජ ජාලා ඔස්සේ පැතිරෙන්නට විය.
 
ඒ සියල්ලම ජනාධිපතිවරයාට අපහාස වන පරිදිය.
 
මේවා සියල්ලම නෙගටිව් පෝස්ට් විය.
 
ජනාධිපති මාධ්‍ය ඒකකය කළ මේ ගොන්කම නිසා ජනාධිපතිවරයා ගේ ප්‍රතිරූපයට සිදුවූ හානිය  කොතෙක් දැයි කවරකුවත් ගණන් බලා ඇති බවක් නොපෙනේ.
 
රා පෙරීම
පසුගියදා බලංගොඩ ගිය ජනාධිපතිවරයා ජනතාවට බලපාන ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලබාදුන්නේය.
 
එහෙත් ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි අවධානයක් දුන්නේ කුමකටද ?
 
රා පෙරන්නන් දෙදෙනකුගේ ප්‍රශ්නයට ය.
 
වැඩිකල් නොගොස් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනාධිපතිවරයාට එරෙහිව මඩ ප්‍රහාරය ඇරඹෙනු ඇත.
 
ඒ, ජනාධිපතිවරයා බලංගොඩ ගියේ රජයේ කැලෑවල රා පෙරීමට අවසර දීමටත්, රා පෙරන්නන් දඩවලින් මුදවා ගැනීමටත් කියායි.
 
ජාතික වැදගත්කමක් නැති පුවත්වලට ජාතික වැදගත්කමක් ලබා දී ජනාධිපතිවරයා ඇන්නවීම ජනාධිපති මාධ්‍ය ඒකකයේ කාර්ය භාරය බවට පත්කර ගැනීම කණගාටුවට කාරණාවයි.
 
 
 
මාධ්‍ය හැසිරවීම ප්‍රොරොම්ප්ටරය කරකවන තරම් ලෙහෙසි නැති බව මාධ්‍ය ඒකකය වටහාගත යුතුය.
 
ගෝඨාභය ජනාධිපතිවරණයට මුහුණ දුන් කාලයේ මාධ්‍ය හසුරුවන ලද්දේ ඉතාමත් උපක්‍රමාන්විතවය.
 
ඒ මාධ්‍ය ගැන දන්නා මිනිසුන් නියමිත ස්ථානවල ස්ථානගත වී සිටි නිසාය.
 
එහෙත් ඒ විනය මහ මැතිවරණය පවත්වද්දි තිබුනේ නැත.
 
දැන් එහෙමවත් නැත.
 
දැන් යලිත් මාධ්‍ය කමිටුව රැස් වෙන බවක් අසන්නට ලැබේ.
 
සිදුවන දෙයක් නැත.
 
ජාතික ලැයිස්තුවලින් පත් කළ ඇතැම් ගොබ්බයන්ට කළ හැකි යමක්ද නැත.
 
මෙම කමීටුවල සිටින බහුතරයක් දියවැඩියාකාරයින් නිසා රජයට සීනි වියදම පමණක් ඉතිරි වනු ඇත.
 
ඒ හැරෙන්නට වෙනත් යමක් නම් සිදු නොවනු ඇත.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ සිදුවූ සිද්ධියක් ඇටමැස්සාට මෙහිදී සිහිපත් වේ.
 
එවක සිරස රූපවාහිනීයේ ප්‍රධාන විධායක නිලධාරියා වූයේ ගයිරික පේරුසිංහ යි.
 
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනාධිපතිවරයාගේ පුවත්වලට අදාළ රූපරාමු සිරසට ලබාදුන්නේ නැත.
 
එක් අවස්ථාවක දී මේ පිළිබද පැමිණිල්ලක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබීය.
 
මහින්ද අදාළ නිලධාරින් කැඳවා මේ ගැන විමසීමක් කළේය.
 
එවිට ඔවුන් පැවසුවේ සිරසට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් රූපරාමු ලබාදුන් විට සිරසේ දාන්නෙ ජනාධිපතිවරයා නිදාගෙන හරි, ඈනුම් අරින හරි රූපරාමු බැවින් තමන් සිරසට අදාළ රූපරාමු ලබා නොදෙන බවයි.
 
මහින්දට යකා නැග්ගේය.
 
හොඳවායින් කුණුහරුප දෙකක් ද කියා මහින්ද විමසා සිටියේ " ඉතින් ........ පුතෝ තොපි ඒවා සිරසට යවන්නේ ඇයි ...?" කියායි.
 
වත්මන් ජනාධිපති ගෝඨාභය තවමත් මේ ප්‍රශ්නය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් විමසා නැති බව නම් සහතිකය.
 
 
(ඇටමැස්සා)

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්