ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තම මරණයෙන් පසු ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට
ඇති අයිතියට ගරු කල යුතු බව හිටපු කතානායක කරු ජයසුරිය අවධාරණය කර සිටියි.
 
ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
 
ලෝක මට්ටමේ පිලිගත් විශේෂඥ උපදෙස් මත ක්‍රියාකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' එම නිවේදනය මගින් රජයෙන් ඉල්ලා සිටියි.
 
එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන්වේ.
 
 
ශ්‍රී ලංකාව බලවත් හෑල්ලුවට ලක්කිරීමක් !
 
ශ්‍රී ලංකාවේ උපන් සිංහල දෙමල,මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතිකත්වයකට හෝ ජන වර්ගයකට අයත්  පුද්ගලයෙකුට තම මරණයෙන් පසු ස්වකීය මව්බිමෙහි ගෞරවාන්විතව මිහිදන්වීමට අවස්ථාවක් නොදී බලහත්කාරයෙන් වෙනත් රටක භූමදාන කිරීමට කටයුතු යොදන්නේ නම් එය මියයන පුද්ගලයන්ට මෙන්ම ශ්‍රී ලංකාවටද කරන්නා වූ බලවත් අවමානයකි. 
 
එවැනි යම් හෝ උත්සහයක් මඟින් සිදුකරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව බලවත් හෑල්ලුවට ලක්කිරීමකි.
 
කොවිඩ් වසංගතයෙන් මියයන ලාංකීය මුස්ලිම් ජාතිකයන් මාලදිවයින තුළ භූමදාන කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එරට සමඟ සාකච්ජා කළ බවට පලවූ වාර්තාවන් පිලිබදව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් කනස්සල්ට පත්වූ අතර මේ ආකාරයට අප මාතෘ භූමිය කවරෙකු විසින් හෝ හෑල්ලුවට ලක්කිරීම ගැන සංවිධානයක් ලෙස අපි දැඩි ලෙස සංවේගයට පත්ව සිටින්නෙමු.
 

WHO Covidලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති උපමාන වලට අනුව කටයුතු කරන්න

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කල යුතු ආකාරයන් පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ලබාදී ඇති උපමාන වලට පරිබාහිරව කටයුතු කිරීම මඟින් මෙන්ම වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රෙය් පිලිගත් පර්යේෂණ නිගමනයන්ට බැහැරව යමින් අදානග්‍රාහිත්වයෙන් යුතුව කටයුතු කිරීම නොකල යුත්තකි.
 
 අප කුමන හෝ කරුණක් මුල් කරගනිමින් එවැනි අගතිගාමී ස්ථාවරයන්ට එළඹෙන්නේ නම් එමඟින් සිදු කරන්නේ ශීලාචාර ලෝක ප්‍රජාවගෙන් අප මාතෘ භූමිය දුරස් කිරීමකි. ශ්‍රී ලංකා රජය මේ පිලිබදව ගැඹුරින් තේරුම්ගත යුතුව තිබේ.
 
KaruJaya''අප කුමන හෝ කරුණක් මුල් කරගනිමින් අගතිගාමී ස්ථාවරයන්ට එළඹෙන්නේ නම් එමඟින් සිදු කරන්නේ ශීලාචාර ලෝක ප්‍රජාවගෙන් අප මාතෘ භූමිය දුරස් කිරීමකි. ශ්‍රී ලංකා රජය මේ පිලිබදව ගැඹුරින් තේරුම්ගත යුතුව තිබේ.''
- කරු ජයසුරිය 
 
මෙම සංවේදී කාරණයට අදාලව රජය නොයෙක් ආකාරයේ සාකච්ජාවන්හි නිරතව සිටින බවට වාර්තා පළවන්නේ වුවද මේ දක්වාම නිශ්චිත වූ යහපත් තීරණයක් ගැනීමට ප්‍රමාද කිරීම තේරුම්ගත නොහැකිය. 
 
එමඟින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වෙනස් කොට සලකන බවට බාහිර සමාජය තුළ අපකීර්තිමත් මතයක් ගොඩනැගීමට අනුබල සැපයීමකි. 
 
එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට අපේක්ෂා කරන ඕනෑම ආකාරයේ අන්තවාදී බලවේගන්ට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කිරීමකි. 
 
මේ වනවිටත් ලෝකයේ රටවල් ගණනාවකම ප්‍රධාන නගර කිහිපයකදීම ශ්‍රී ලංකාවට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතා රැළි කෙරෙහි අවධානය යොමුකිරීම මඟින් ද ඒ බව අවබෝධ කරගත හැක. 
 
France Protest 3
ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ආදාහනයට එරෙහිව පැරීසියේ උද්ඝෝෂණයක්
 
ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ අවස්ථාවේදී රජයෙන් ඉල්ලා සිටින්නේ යුක්තියේ, සාධාරණත්වයේ මෙන්ම මනුෂ්‍යත්වයේ නාමයෙන් බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්නා ලෙසටය. 
 
ලෝක මට්ටමේ පිලිගත් විශේෂඥ උපදෙස් මත ක්‍රියාකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්