අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කිරීමට
පොලිසිය බාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය රටේ ඉහලම  නීති උපදේශකයන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ හෙලා දැකීමට ලක් වද්දී, අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍ය නිරීක්ෂකයන් විසින් සමාජ සංවාදයකට ලක් කර තිබේ. 
 
මහජන ආරක්ෂාව පිළිබඳ රියර් අද්මිරාල් සරත් වීරසේකර අමාත්‍යවරයා සිදු කිරීමට යන ක්‍රියාව යුක්තිය පසිඳලීමට එල්ල කරන මරු පහරක් ලෙසින් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකගේ හෙලා දැකීමට ලක්වෙද්දී මාධ්‍ය හමුවක් පවත්වමින් 'අලුත් පියාපත්' සංවිධානය පවසා තිබුනේ සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර  මාධ්‍යයට නිකුත්  කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙන්ම පුද්ගලික අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසිනි.
 
 රජයක් ලෙස ජනතාවගේ අයිතින් උල්ලංඝනය වන යෝජනා ගෙන ඒම පිළිබදව කණගාටු වන බව 'අලුත් පියාපත්' සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා ව්‍රායි කැලි බල්තසාර් සඳහන් කළේ දෙසැම්බර් 21 සඳුදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
 
මේ මොහොතේ බලයෙන් මත්වී සිටින රජය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අකුරු ටිකවත් ගණන් නොගන්නා තත්වයක් මතුවී ඇති බවත්  ඇය එහිදී අවධාරණය  කළාය.
 

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර දෙසැම්බර් 12 දින පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර තිබුනේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පහරදීම් වැනි අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ට නඩු පවරන අතරේම ඔවුන් ලැජ්ජාවට පත් කිරීමේ අරමුණින් යුතුව ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කරන බවයි.
 
 "අපි ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම, ඉතාම නින්දිත ලෙස පාරේ මැද්දෙ තියලා පහරදීම් වගේ ප්‍රචණ්ඩක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව, ඔවුන්ට නඩුදාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගේ ඡායාරූ‍ප පෙන්වලා මේ අයගේ විස්තර මාධ්‍යයට නිකුත් කරලා ජනතාව දැනුවත් කරනවා. ඒ තුළින් මම හිතනවා මින් ඉදිරියට හෝ එවන් දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔහු කිසියම් බියක් සැකක් නැත්නම් ලැජ්ජාවක් ඔවුන් තුළ ඇතිකිරීම තමයි අපේ සම්පූර්ණ පරමාර්ථය. " අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබුනි.
 
 
මාධ්‍ය දඩයම්
 
සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය  තීරණ ගත යුත්තේ අධිකරණය විසින් පමණක් විනා ජනමාධ්‍ය මෙහෙයුම් වලින් නොවන බව සිවිල් ක්‍රියාධාරීහු පෙන්වා දෙති.
 
 ජනමාධ්‍ය දඩයම් මගින් එල්ලුම් ගසට යවන ලද පුද්ගලයන් නිර්දෝෂි ලෙස නිදහස්ව ගිය ඉතිහාසයක් මෙරට තුළ පවතින බවත් 'අලුත්  පියාපත්' සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා ව්‍රායි  කැලි බල්තසාර් මාධ්‍ය හමුවේදී  පෙන්වා දුන්නාය. 
 
ඒ සදහා ඇය නිදසුන් ලෙස  ගෙනහැර දැක්වුයේ  ගම්පහ ප්‍රදේශයේ මීට වසර කිහිපයකට පෙර සිදු වු සිදුවීමකි. 
 
"එතකොට ඒ මරණය සිදු කළේ වෙන පුද්ගලයෙක් කියා පස්සේ ඔප්පු උනා‌. හැබැයි ඒ වෙන කොට අර මුලින් සැක කරපු මනුස්සයාගේ ජීවිතය ඉවරවෙලා තිබ්බා. මාධ්‍යයෙන් වළලන චරිත ආයි නැවතත් ගොඩ ගන්න එම මාධ්‍යම හුඟක් දුරට යොමු වෙන්නේ නැහැ.  "
 
 
අධිකරණ අමාත්‍යාංශය:
 
සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරන බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සිදු කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ උදය රොහාන් ද සිල්වාගේ දැඩි හෙලා දැකීමට ලක්ව තිබුනි.
 
 "අපේ නීතියේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙක් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබියදී පොලීසිය භාර අමාත්‍යවරයා මෙලෙස කෙටි ක්‍රමයකින් එතුමාගේ, මා දන්නෑ නොදනුවත් කමද එසේ  නැත්නම් ඒ ගැන අවබෝධයකින් තොරව කරන ක්‍රියාවක්ද කියන එක සම්බන්ධව, එතුමා කරන්න යන මේ ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතු දෙයක්.මේක යුක්තිය පසිඳලීමට කරන මරු පහරක්.මෙයට හේතුව මේ අයගේ ඡායාරූප ඉදිරිපත් කිරීම තුළ අවසාන වශයෙන් ඔවුන් වරදකරුවන් බවට පත් කර ඉවරයි. ඉතින් ඒ නඩුව තව දුරටත් පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැති තත්වයකට පත් කරනවා." ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මාධ්‍ය හමුවක් කැදවමින් පසුගියදා පවසා තිබුනි.
 
සැකකරුවකුගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීම හඳුනා ගැනීමේ පෙරෙට්ටු වලට බලපෑමක් වන බවද අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකයා පෙන්වා දුන්නේය.
 
 
Ethics Eye
 
අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප මින් ඉදිරියට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන බවට රියර් අද්මිරාල් සරත් වීරසේකර අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය ප්‍රශ්න කිරීමට ලක් කරන වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ EthicsEye කණ්ඩායම සිය මුහුණු පොත හරහා සංවාදයක් ඇති කිරීමට කටයුතු කර තිබුනේ සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමේ ප්‍රවේශය කෙතරම් ආචාර ධර්මානුකූල වන්නේදැයි ප්‍රශ්න කරමිනි.
 
 "නීතිය ඉදිරිපිට වරදකරුවකු බව සනාථ කරන තුරු සැකකරුවකු නිර්දෝෂ යැයි පූර්ව නිගමනයක් යටතේ කටයුතු කිරීම ඕනෑම පුද්ගලයෙකුගේ අයිතියකි. එවන් විටක සැකකරුවකුගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම නිසා, තවමත් නීතියෙන් වරදකරුවකු නොවූ අයෙකු හට සමාජ ගර්හාවට හා අපකීර්තියට මුහුණ දීමට සිදුවේ. එසේ නම්, මහජන බැඳියාව හා ගැටුමක් ඇති නොවන අවස්ථාවන්හිදී සැකකරුවෙකුගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරනා මාධ්‍ය භාවිතාවක් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනයක් නොවනු ඇතිද?"  EthicsEye සමාජයෙන් විමසන මුලික පැනයකි.
 
 "එසේම මාධ්‍ය තුළ ඡායාරූප පළ වීම ඔස්සේ උසාවි තීන්දුවටද පෙරාතුව සමාජ අපකීර්තියකට ලක් කෙරෙනා සැකකරුවෙකු යම් හෙයකින් නීතිය ඉදිරියේ නිර්දෝෂී වන්නේ නම්, ඊට සමාන ප්‍රසිද්ධියක් එම පුවතට මාධ්‍ය මගින් ලැබෙනු ඇතිද?" EthicsEye සමාජය හමුවේ තබා ඇති තවත් පැනයකි.
 
"එසේම මාධ්‍ය තුළ ඡායාරූප පළ වීම ඔස්සේ උසාවි තීන්දුවටද පෙරාතුව සමාජ අපකීර්තියකට ලක් කෙරෙනා සැකකරුවෙකු යම් හෙයකින් නීතිය ඉදිරියේ නිර්දෝෂී වන්නේ නම්, ඊට සමාන ප්‍රසිද්ධියක් එම පුවතට මාධ්‍ය මගින් ලැබෙනු ඇතිද?" EthicsEye සමාජය හමුවේ තබා ඇති තවත් පැනයකි.
 
පොලිස් ඇමැතිගේ නව ප්‍රතිපත්තිය අනුව සැකකරුවන්ගේ ඡායාරූප රජය විසින් බෙදා හරිනු ලැබුවහොත්, ඒවා පල කරන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය හිමිකරුවන් හෝ මාධ්‍යවේදී සංවිධාන අදහසක් පලකළ බවක් දැනගන්නට නැත. 
 
 
සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්