සජිත් ප්‍රේමදාස නායකත්වය දරන 'සමගි ජන බලවේගයේ' ව්‍යවස්ථාව
එම පක්ෂයේ අන්තර්කාලින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමතකර ඇත. ඒ පසුගිය සෙනසුරාදා බණ්ඩාරවෙල හෝටලයේ පැවති විශේෂ රැස්වීමකදීය.
 
එම ව්‍යවස්ථාවට අනුව පක්ෂනායක තනතුරක් ස්ථාපිතකර ඇති අතර නියෝජ්‍ය නායක හෝ උප නායක තනතුරු හෝ වෙනත් කිසිඳු අනු නායක තනතුරු ඇති කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලු දෙනාම එකහෙළා විරෝධය පළකර ඇත. එම ව්‍යවස්ථාවට අනුව සෑම වසරකදීම විධායක සභාව විසින් පක්ෂ නායකයා තෝරාගනු ලබයි. 
 
එම ව්‍යවස්ථාවට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා ලෙස පත්කිරීමට නියමිතය.
 
පක්ෂය සඳහා සභාපති තනතුරක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කිරීමට නියමිතය.
 
එකී ව්‍යවස්ථාවට අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු 06ක් වන අතර උප සභාපතිවරු තනතුරු 05ක් ද ස්ථාපිත කර ඇත.
 
අප වෙත වාර්තාවන පරිදි කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, චම්පික රණවක, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර් හා සරත් ෆොන්සේකා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී ඇත.
 
එසේම, රවී සමරවීර, සුජීව සේනසිංහ, අජිත් පි. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර හා රන්ජිත් අලුවිහාරේ උප සභාපතිවරුන් ලෙස යෝජනා වී තිබේ.
 
 
මහ ලේකම් මද්දුම බණ්ඩාර : ජාතික සංවිධායක තිස්ස 
 
Tissa Ranjith
 
පක්ෂයේ මහ ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර යළි පත්කිරීමටත් උප ලේකම් ලෙස  අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා පත් කිරීමටත් යෝජනා වී ඇතැයි වාර්තාවේ. 
 
ඇතැම් විට සුජීව සේනසිංහ උප ලේකම් ලෙස පත්කර අශෝක අබේසිංහ උප සභාපතිවරයකු ලෙස පත්කිරීමේ ඉඩක් ඇතැයි ද වාර්තාවේ.
 
පක්ෂයේ ජාතික සංවිධායක ලෙස යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකයි. භාණ්ඩාගාරික ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වී තිබේ.
 
 
කෘත්‍යාධිකාරී මණ්ඩලය :
 
සමගි ජන බලවේගයේ යෝජිත කෘත්‍යධිකාරී මණ්ඩලය 80 කට ආසන්න පිරිසකගෙන් සමන්විත වේ.
 
පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මහ ඇමති හෝ විපක්ෂනායකවරුන් නිල වශයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරයි.
 
එසේම, පක්ෂයේ ප්‍රාදේශීය හා නගර සභා සංවිධානයේ සභාපති, ලේකම් ඇතුළු සිව්දෙනෙකු ද වෘත්තීය සමිති නියෝජිතයින් තිදෙනෙකු ද පක්ෂයේ කාන්තා සංවිධානයේ නියෝජිතයින් දෙදෙනෙකු හා තරුණ සංවිධානයේ නියෝජිතයින් දෙදෙනෙකුට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කිරීමට අවස්ථාව හිමිවේ.
 
එසේම, සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කර ඇති කාර්ය සාධක බලකා 32ක ප්‍රධානීන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය හිමිවනු ඇත.
 
 
ව්‍යවස්ථා කෙටුම්පත්කරුවෝ :
 
සමගි ජන බලවේගයේ මෙම ව්‍යවස්ථාව කෙටුම්පත්කර ඇත්තේ, තිසත් විජේගුණවර්ධන හා ෆර්මන් පේ කාසිම්  යන ජනාධිපති නීතිඥයින් දෙදෙනා විසිනි. 
 
ඒ සඳහා නීතිඥ සුරේන් ප්‍රනාන්දුගේ සහය ද පලවී ඇති අතර සම්බන්ධිකරණ කටයුතු සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනයකයි.
 
ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයකු වන ගාමිණි දිසානායකගේ දියණියගේ සැමියාය.
 
 
සමගි ජනබල සන්ධානය :
 
මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් වූ සමගි ජන බලවේගය මෙසේ සජිත් ප්‍රේමදාසගේ නිල දේශපාලන පක්ෂය ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත අතර පසුගිය මහ මැතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත්වූ සෙසු දේශපාලන පක්ෂ ඒකරාශී කොට 'සමගි ජනබල සන්ධානය' නමින් නව දේශපාලන  ව්‍යාපාරයක් ගොඩනැගීමට ද යෝජනා වී ඇතැයි ද අප වෙත වාර්තාවේ.
 
එහි නායකත්වය ද සජිත් ප්‍රේමදාස වෙත පැවරෙනු ඇති අතර රවුෆ් හකීම්, රිෂාඩ් බද්යුදීන්, දිගම්බරම්, මනෝ ගනේෂන් හා ජාතික හෙළ උරුමයේ නියෝජිතයාගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයකින් එම සන්ධානයේ වැඩකටයුතු සිදු කෙරෙනු ඇතැයි ද පැවසේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්