සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීමට රජයේ අනුමැතිය හිමිවේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ ඒ සඳහා අවසර දී තිබේ.
ඒ අනුව හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇත.
චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක් සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට සහ කලාකරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳව පසුගියදා අගමැතිවරයා හමුවී දැනුවත් කළහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව නිරෝධායන නීතිරීතිවලට ගරු කරමින් සිනමා ශාලා විවෘත කළ යුතු බවට අගමැතිවරයා විසින් උපදෙස් දී ඇත්තේ ඒ අනුවය.
සිනමා කර්මාන්තය සුරක්ෂිත කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමට රජය පසුබට නොවන බව ප්‍රකාශ කර ඇති අගමැතිවරයා, කොවිඩ්-19 හේතුවෙන් සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා ශාලා හිමියන්ට තවදුරටත් සිදුවන හානිය අවම කිරීම, චිත්‍රපට නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන අර්බුදය හා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු කලාකරුවන්, විවිධ වෘත්තිකයන් මුහුණ පා ඇති පීඩාවන් මගහැරීම සහ ප්‍රේක්ෂක ජනතාව පිළිබඳව අවධානය යොමුකර මෙම පියවර ගත් බව පෙන්වා දී ඇත.
සිනමා ශාලා විවෘත කිරීමේදී අදාළ සිනමා ශාලා විශබීජහරණයට ලක්විය යුතුයැයි පෙන්වා දී ඇති අගමැතිවරයා, සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපට නැරඹීම සදහා සිනමා ශාලාවලට පැමිණෙන ප්‍රේක්ෂකයන්ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාකළ යුතු බව අවධාරණය කළ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.