ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පටු මුහුදු තීරයේ මාළු ඇල්ලීම පිළිබඳව දශක කිහිපයක් තිස්සේ ඇදෙමින් පවතින ගැටලුවට ආණ්ඩුවලින් තිරසාර විසඳුමක් ලැබී නැති තැන මුහුණට මුහුණලා සාකච්ඡා කිරීමේ සූදානම
දෙරටේ ධීවර නායකයන් වෙතින් පල වී තිබේ.
 
ඉන්දියාවේ දකුණු තුඩුවේත් සහ ශ්‍රී ලංකාවේ උතුරු කෙලවරේත් දහස් සංඛ්‍යාත ධීවර ප්‍රජාවගේ බඩ වියත සරිකර දෙන පෝක් සමුද්‍ර සන්ධිය අවට කලාපයේ මත්ස්‍ය සම්පත වියැකී යාමේ අවදානම හමුවේ ඉන්දීය ධීවරයන් ලාංකීය මුහුදු තීරයේ අනවසර මාළු බෑම දෙරටටම හිසරදයකි.
 
දෙරට අතර පිහිටි කච්චතීවු දූපත ඉන්දියාව විසින් 1974 දී ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබුවත් ඉන්දීය යාත්‍රා ශ්‍රී ලංකා ආර්ථික කලාපයට ඇතුල්වී තහනම් පන්න ක්‍රම යොදාගෙන මසුන් මැරීම ගැටුම්කාරී තත්වයකට තුඩු දී තිබේ.
 
 
'' දෙරට අතර පිහිටි කච්චතීවු දූපත ඉන්දියාව විසින් 1974 දී ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබුවත් ඉන්දීය යාත්‍රා ශ්‍රී ලංකා ආර්ථික කලාපයට ඇතුල්වී තහනම් පන්න ක්‍රම යොදාගෙන මසුන් මැරීම ගැටුම්කාරී තත්වයකට තුඩු දී තිබේ.''
 
 
යුද්ධයෙන් සහ ස්වාභාවික ආපදා වලින් බැට කා සිටින උතුරේ ධීවරයන්ට සතියේ වැඩි දින ගණනක් මුහුදු යාමට හැකිවන පරිදි වාර වෙන්කරගෙන මාළු බෑමේ යෝජනාවක් තමිල්නාඩුවේ කිලෝමීටර 200ක් දිවෙන රාමේශ්වරම් සහ පුදුකෝට්ටේයි කලාපයේ ධීවරයෝ දැන් ඉදිරිපත් කර සිටිති.
 
“ලංකාවේ ධීවරයන්ට පෝක් සමුද්‍ර සන්ධියේ සතියට දවස් පහක් මාළු බාන්න ඉඩ දීලා අනික් දවස් දෙකේ මූදු යන්න අපි ලෑස්තියි,” යනුවෙන් රාමේශ්වරම් ධීවර සමිතියේ නායක බෙන්සින්ලාස් ජේසුරාජා ඉන්දීය මාධ්‍යවේදී සිවා පරමේශ්වරන් හා පවසා තිබේ.
 
“කච්චතීව් හරියේ තියෙන මාළු සම්පත ඉන්දීය මුහුදු සීමාවේ තියෙනවාට වඩා ගොඩක් සරුයි. අනික අපිත් අවුරුදු සිය ගානක් මාළු බාපු පොඩි කච්චතීව් පළාතේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් නොවී ඉන්න එක අසීරු වගේම අපි සලකන්නේ ඒ අපේ පාරම්පරික කලාප හැටියටයි.”
 
උතුරේ ධීවර ප්‍රජාව පවසන පරිදි ඉන්දීය ධීවරයන් ලාංකික සාගර කලාපයේ දඩයම් කිරීම පුරුද්දක් කරගත්තේ මෑත දශක කීපයක සිටයි. 
 
යුද සමයේ දී උතුරු නැගෙනහිර ධීවර ප්‍රජාවගේ මුහුදු යාමට රජය විසින් දැඩි තහංචි පනවා තිබියදී ඉන්දීය ධීවරයෝ නිර්බාධිතව පැමිණ මත්ස්‍ය අස්වැන්න සිතුසේ නෙලාගෙන ගොස් තිබේ. අද දක්වා ඇදෙන දෙරටේ ධීවර විරසකයට හේතුවී ඇත්තේ ඒ පුරුද්දයි.
 
 
'' යුද සමයේ දී උතුරු නැගෙනහිර ධීවර ප්‍රජාවගේ මුහුදු යාමට රජය විසින් දැඩි තහංචි පනවා තිබියදී ඉන්දීය ධීවරයෝ නිර්බාධිතව පැමිණ මත්ස්‍ය අස්වැන්න සිතුසේ නෙලාගෙන ගොස් තිබේ. අද දක්වා ඇදෙන දෙරටේ ධීවර විරසකයට හේතුවී ඇත්තේ ඒ පුරුද්දයි.''
 
 
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වරින් වර කරනු ලබන මෙහෙයුම් වලින් ඉන්දීය ධීවර යාත්‍රා අත් අඩංගුවට ගෙන තිබුනත් කෝවිඩ් දෙවන රැල්ල නැග ඒමත් සමගම එය අත් හිටුවා ඇති බව උතුරේ ධීවර නායකයෝ පෙන්වා දෙති.
 
උතුරු මුහුදේ මාළු බෑමෙන් නොනැවතී ඊසාන දිග වෙරල තීරය ආසන්නයටම ඉන්දීය ට්‍රෝලර් පැමිණෙන ආකාරය මෑතදී මාධ්‍යවේදීන්ටත් පෙන්වා දුන් ධීවර නායකයන් නාවික බලධාරීන්ට දොස් පැවරුවේ වෙරල දිගටම කඳවුරු පනහක් පමණ ඉදිකර ඇතත්, ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත සොරකම් කරන්නවුන්ට එරෙහිව පියවර නොගැනීම ගැනයි.
 
විසඳුමක් ඉල්ලා විරෝධතාවක් දියත් කළ ඊසානදිග වෙරල තීරයේ ධීවර ප්‍රජාව ඉන්දීය ධීවරයන් විසින් සාකච්ඡා මේසයට කරන ලද කැඳවීමට දක්වා ඇත්තේ සාධනීය ප්‍රතිචාරයකි.
 
“මම ඒ යෝජනාව සාදරයෙන් පිලිගන්නවා,” යි විරෝධතාවට නායකත්වය දුන් මුලතිව් ධීවර සමුපකාර සමිතියේ සභාපති මරියදාස් පැට්‍රික් ජොන්සන් ලාංකික මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් හා කියා සිටියේය.
 
“අපේ ධීවරයෝ යුද්ධෙනුයි, සුනාමියෙනුයි බැට කාලයි ඉන්නේ. දෙපැත්තේම ධීවර සමිති මුණගැහිලා කතා කළොත් අපේ බැරි අමාරුකම් හොඳින් තේරුම් ගන්න අනික් පැත්තේ අයට පුළුවන් වේවි.”
 
ශ්‍රී ලංකාවේ ධීවරයන්ට වාසිදායක විසඳුමක් ලබාගැනීම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා පවත්වන බවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දුන් ප්‍රතිඥාවකින් පසු පස් දිනක් ගතවූ තම විරෝධතාව දෙසැම්බර් 20 දා තාවකාලික ලෙස අත් හිටුවීමට මුලතිව් ධීවරයෝ එකඟතාව පල කළහ.
 
 
''ශ්‍රී ලංකාවේ ධීවරයන්ට වාසිදායක විසඳුමක් ලබාගැනීම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා පවත්වන බවට ධීවර                                අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දුන් ප්‍රතිඥාවකින් පසු පස් දිනක් ගතවූ තම විරෝධතාව දෙසැම්බර් 20 දා තාවකාලික ලෙස අත් හිටුවීමට මුලතිව් ධීවරයෝ එකඟතාව පල කළහ.''
 
දෙසැම්බර් 30 දා පැවැත්වීමට ඉඩ තිබෙන දෙරටේ ආණ්ඩු අතර සාකච්ඡාවකදී තමන්ට සාධනීය විසඳුමක් ලැබෙනු ඇති බවට ලාංකික ධීවරයෝ බලාපොරොත්තු සහගතව සිටිති. 
 
එහෙත්, ඉන්දීය ධීවරයන් පවසන්නේ යෝජිත රාජ්‍ය මට්ටමේ සාකච්ඡා සඳහා තමන්ට මේතාක් කැඳවීමක් ලැබී නැති බවයි. 
 
 
 
 

සබැඳි පුවත් :
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්