බඩඉරිඟු පමණක් නොව උක්, වී, එළවළු, පලතුරු ඇතුළු රනිල බෝග සියයකට පමණ හානි කාරක තර්ජනයක් වී ඇති ආක්‍රමණශීලි හා නිරෝධායන පළිබෝධකයකු වන ‘සේනා දළඹුවා’ විනාශ කිරීම සඳහා රුවන්ඩා
හමුදා කෘෂි විශේෂඥයින් විසින් හඳුන්වාදීමට යන 'පයිරෙත්‍රම්' (pyrethrum) නම් කෘමිනාශකය, මෙරට මී මැස්සන්, සමනලුන්, මත්ස්‍යයින්, ක්ෂීරපායින් ඇතුළු සත්වයින් රැසකට අතිශයින්ම මාරාන්තික බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය පවසයි.
 
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, බඩඉරිඟු ඇතුළු වගාවන්ට හානි කරන සේනා දළඹුවා පිළිබඳව සොයා බැලීමට රුවන්ඩා හමුදා බ්‍රිගේඩියර් ජනරාල්වරයකු ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක් ලංකාවට පැමිණ කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදුකළ පැහැදිලි කිරීමකින් අනතුරුවය.
 
බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතර පැතිර යන සේනා දළඹුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රුවන්ඩාවේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව රුවන්ඩාවේ බ්‍රිගේඩියර් ජෙනරාල්වරයකු වන ෆ්‍රෙඩ් මුසිරගුහාරාරා සමඟ එරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් වන ඇලෙක්සිස් රුසාගාරා සහ ජේන් මාරී වියානී උසුමුගුරා  ඇතුළු විද්‍යාඥයන් 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි ඇති බව ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත අද (02) වාර්තා කර ඇත.
  
 
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මේ පිරිසට මෙරටට ආරාධනා කර ඇති බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
මෙම රුවන්ඩා ජාතික හමුදා විද්‍යාඥයන් පිරිස අනුරාධපුරයට ගොස් සිය පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමෙන් පසුව ඊයේ (01)  ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත. 
 
 
 
'පයිරෙත්‍රම්' සියලු සතුන්ට අතිශයින් මාරාන්තිකයි !
 
 

insecticide mix

 
 
රුවන්ඩා ජාතික හමුදා විද්‍යාඥයන් සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති හමුවෙන් පසු ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාට විශේෂ දැනුම්දීමක් කර ඇති පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ. ඒ. සුමිත්,   'පයිරෙත්‍රම්' (pyrethrum) භාවිතයේ ප්‍රතිපල පැහැදිලිකර දී ඇතැයි වාර්තාවේ.
 
ඔහු ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් 30 දා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිත දැනුම් දීමක් ද සිදුකර තිබේ.
 
'පයිරෙත්‍රම්' (pyrethrum) යනු 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලන පනත යටතේ නියාමනය කරන ලද සංයෝගයක් වන අතර එය බලපත්‍රලත් අයිතමයක් ලෙස නම් කර ඇත.
 
'පයිරෙත්‍රම්' කෘෂිකාර්මික හා මහජන සෞඛ්‍යය සඳහා දැනට ලියාපදිංචි කර ඇති කෘතිම 'පයිරෙට්‍රොයිඩ්' (Pyrethroids) කෘමිනාශක කිහිපයකට සමාන ක්‍රිසන්තේමං සිනේරාරියෝෆොලියම් (chrysanthemum cinerariofolium) ශාකයේ ඇති ශුද්ධ නොකරන ලද සංයෝගයකි.
 
කෘතිම පයිරෙට්‍රොයිඩ් භාවිතය ශ්‍රී ලංකාවේ දැඩි ලෙස සීමා කර ඇත්තේ මදුරුවන් (සහ වෙනත් පළිබෝධකයන්ගේ) ප්‍රතිරෝධී වර්ධනයට ඉවහල් වන බැවින් මෙරට පළිබෝධකයන් පාලන වැඩසටහන්වලට බාධා එල්ලවන  නිසාය.
 
ඒ හැරුණු විට, 'පයිරෙත්‍රම්' ඇතුළු පයිරෙට්‍රොයිඩ් (Pyrethroids) කෘමිනාශක, කෘෂිකර්මාන්තයේ ස්වභාවික බිජ පරාගනයට අතිශයින් වැදගත්  මී මැස්සන් ඇතුළු ස්වභාවික සතුන්ට අතිශයින්ම විෂ සහිත වේ. 
 
 වම්බටු සහ ළූණු වගාවන් ආශ්‍රිතව ඇති  කෘමින් කළමනාකරණය කිරීම සඳහා සීමිත කොන්දේසි යටතේ දැනට කෘතිම පයිරෙට්‍රොයිඩ් ලීටර් 8000 ක් පමණ වාර්ෂිකව ආනයනය කිරීමට අවසර ඇත.
 
එබැවින්, සේනා දළඹුවන්ට එරෙහිව 'පයිරෙත්‍රම්' භාවිතා කිරීමට ලබා දීමට නියමිත ඕනෑම තීරණයක් එමගින් එල්ල විය හැකි ඍණාත්මක පාරිසරික බලපෑම් සැලකිල්ලට ගන්නා ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා කෘෂිකර්ම ලේකම්වරයාට දැනුම් දී ඇත.
 
 

Agriculture letters 2021.02.02

 
 
 රුවන්ඩා හමුදාවේ හදිසි පැමිණීමෙන් ගැටළු රැසක් !
 
 
 
ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ සීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණිමේ සිද්ධියත් සමග ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටළු රාශියක් මතුව ඇතැයි වාර්තාවේ. 
 
 
01. මෙම රුවන්ඩා හමුදා විශේෂඥයින් හදිසියේ ම මෙරටට පැමිණෙන බවක් විෂය බාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නොදැන සිටියේද ?
 
 
කෙසේවුවද එවැනි විශේෂඥයින් පිරිසක් කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති බව වාර්තාවීමත් සමග අමාත්‍යවරයා විසින් සාකච්ජාවක් ලබාදී ඇතැයි වාර්තාවේ.
 
 
 
02. යුධ හමුදාපති, සිමාව ඉක්මවා කළ අත පෙවීමක් ද ?
 
 
මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ජනාධිපතිගේ නම විකුණමින් තමන්ට අයිතිනැති රජයේ විෂය පාඨයන්ට ඇඟිලි ගසන යුධහමුදාපතිවරයා විසින් මෙම රුවන්ඩා හමුදා පිරිස මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි. 
 
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දැඩි ලෙස කනස්සල්ලෙන් සිටින බවද පැවසේ.
 
 
03. රුවන්ඩා හමුදා සාමාජිකයින්ට PCR  පරීක්ෂණ සිදු කළේ ද ?
 
 
කටුනායක ගුවන් තොටුපලට පැමිණි රුවන්ඩා හමුදා සාමාජිකයින්ට කොවිඩ් නයින්ටින් සඳහා වූ PCR පරීක්ෂණ සිදු නොකොට පැය දෙකක් තුලදී එම පිරිස කෘෂිකර්ම අමාත්‍යංශයට රැගෙන එම සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ප්‍රශ්නකර තිබිණ.
 
කෙසේවුවද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසා තිබුනේ, මෙම විද්‍යාඥයන් පිරිස පිළිබඳව පැවැත්වූ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවත්, ඒ අනුව මෙම පිරිස වහාම සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ කිරීම සදහා නිදහස් කර පිටත් කර හැරිය බවත් ය.
 
 
 
04. කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂඥයින් නැද්ද ?
 
 
විදෙස් අධ්‍යාපනික පුහුණුව ලද ආචාර්ය උපාධිලාභීන් (Phd) සියගණනක් සිටින එකම අමාත්‍යංශය කෘෂිකර්ම අමත්‍යංශයයි. 
 
එවැනි තත්වයක් තුල සේනා දළඹුවන් මර්ධනය කිරීමට ඔවුන් සතු දැනුම හා පළපුරුද්ද යොදා නොගෙන ජාත්‍යන්තර වශයෙන් පළිබෝධකයන් පාලනය පිලිබඳ පිළිගැනීමක් නොමැති රුවන්ඩාවේ හමුදාවේ සහය ලබාගැනීමට ඉක්මන් වුයේ ඇයි ද කියන කරණය සම්බන්ධයෙන් ද මෙරට කෘෂි විශේෂඥයින් ප්‍රශ්නකරමින් තිබේ.
 
05. රුවන්ඩා හමුදා කණ්ඩායම පැමිණි ගුවන් යානයෙන් 'පයිරෙත්‍රම්' රැගෙන ආවේද ?
 
 
අදාල රුවන්ඩා හමුදා විශේෂඥයින් මෙරටට පැමිණ ඇත්තේ පෞද්ගලික ගුවන් යානයකින් බවත්, එසේ පැමිණි ඔවුන් 'පයිරෙත්‍රම්' තොගයක් කිසිඳු දැනුම් දීමකින් තොරව නිල නොවන ආකාරයෙන් රාජතන්ත්‍රීක ගමන් මලු සමග  මෙරටට ගෙනවිත් ඇති බවටත් වාර්තා පලවෙමින් තිබේ.
 
 
මෙම ගැටළු සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා අප කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අමාත්‍යංශ ලේකම් ලුතිනන් ජෙනරාල් සුමේධ පෙරේරා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සහ කලද එය අසාර්ථකවිය.
 
කෙසේවුවද අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරකු පැවසුයේ අමාත්‍යවරයා අද පස්වරුවේ මෙම කාරනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්