ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 වෛරසය වැළදීමෙන් මරුමුවට පත්වන පුද්ගලයන්ගේ සිරුරු බැහැරකිරීම
සම්බන්ධයෙන් පළමු විද්වත් කමිටුව මගින් ලබාදුන් නිර්දේශ සහ ඒ අනුව පැනවූ නීතිය වෙනස් කිරීමට නව කමිටුවක් පත් කිරීම නිසා, ආණ්ඩුවේ ජනවරම උදුරා ගැනීම සඳහා විපක්ෂයට දේශපාලන ඉල්ලමක් පහළ වී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බංඩාර එබව සඳහන් කර ඇත්තේ, ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා ලීඩ්' වෙබ් අඩවිය විසින් කළ විමසීමකදීය.
ආණ්ඩුව අන්තවාදී බලවේග වලට යටත් වී තමා විසින්ම පැනවූ නීතියක් වෙනස් කිරීමට උත්සහා කරන බවට ආණ්ඩුවට පක්ෂපාති කොටස්වලින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බංඩාර මෙසේ අදහස් දක්වා ඇත.
''අධිකරණය මගින් එම ප්රශ්නය විසඳා තිබියදී සහ විද්වත් කමිටුවකින් නිර්දේශ ලබා දී තිබියදී සහ ඊට අදාලව නිර්දේශ පනවා තිබියදී අන්තවාදී බලවේග වලට යටවී නීතිය වෙනස් කිරීම ගොන් තකතීරු වැඩක්” -වෛද්‍ය වසන්ත බංඩාර
''ඉස්ලාම් ආගමික අන්තවාදීන් සැම විටම ඇස් යොමු කරමින් සිටින්නේ තම සංවිධානවල සාමාජික සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා කුමන හෝ ගැටුමක් කරලියට පැමිණෙන තුරුයි.
ඊට සමගාමීව මුස්ලිම් තරුණයන් සහ මහා සමාජය අතර ගැටුම් නිර්මාණය කිරීම ඔවුන්ගේ දෙවන අරමුණ බව ඉතා පැහැදිලියි.
ඒ සියල්ලට අමතරව ආණ්ඩුව අමාරුවේ දැමීමට එනම් බහුතර සිංහල ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමත් ඔවුන්ගේ අරමුණයි.
එම ක්‍රියාවලිය ඇතුළේ හතරගාතෙන් වැටී සිටින විපක්ෂයට මහා දේශපාලන ඉල්ලමක් පහළ වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ජනවරම ආපසු උදුරා ගැනීමටත් මනරම් අවස්ථාවක් නිර්මානය වෙනවා.
ආණ්ඩුව අන්තවාදී බලවේග වලට යටත් වෙලා පළමු විද්වත් කමිටුව මගින් ලබාදුන් නිර්දේශ සහ ඒ අනුව පැනවූ නීතිය වෙනස් කිරීමට නව කමිටුවක් පත් කිරීම නිසා විපක්ෂයට එම වාසිය ලැබෙන බව පේනවා.
අධිකරණය මගින් එම ප්රශ්නය විසඳා තිබියදී සහ විද්වත් කමිටුවකින් නිර්දේශ ලබා දී තිබියදී සහ ඊට අදාලව නිර්දේශ පනවා තිබියදී අන්තවාදී බලවේග වලට යටවී නීතිය වෙනස් කිරීම ගොන් තකතීරු වැඩක්” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
''කොරෝනා ඇමතිනී ඩවුන් යයි. කමිටුව පත් කලේ තමන් නොවේ කියයි.''
රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ
මෙසේ ජාතික සංවිධාන වලින් සිදුකෙරෙන බලපෑම් හමුවේ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ පවසන්නේ, කොරෝනා මෘත දේහ වැලලීම සඳහා නිර්දේශ දුන් කමිටුව තමන් විසින් පත් කරන ලද්දක් නොවන බවයි.
ඇමතිවරියගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක එබව සඳහන් වේ.
රජයේ මාධ්‍ය ප්රකාශකවරයාද මාධ්‍ය හමුවකදී පවසා සිටියේ, එක් කමිටුවකින් නිර්දේශ දී තිබියදී දෙවන කමිටුව පත් කලේ කවුදැයි තමන් නොදන්නා බවයි.
''කොවිඩ් මරණ ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීම සදහා රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට කෙරෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඇමතිවරියගේ මාධ්‍ය ඒකකයේ නිවේදනයේ සඳහන්වේ.''
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
''ඇතැම් විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය මගින් වාර්තා කල පරිදි කොවිඩ් මරණ ආදාහනයද භුමීදානයද යන්න නිර්දේශ කිරීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට ගෙන යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්රමවේදයක සිට විසදුම් සෙවිය යුතු බවත් ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද, මිත්‍යා මතවාද මත පදනම්ව කිසිවිටෙක තීන්දු තීරණ නොගත යුතු බවත් වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කරන ලද කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය වන බව අමාත්‍යවරිය පෙන්වාදෙයි.
කොවිඩ් මරණ සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබදව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර කොවිඩ් 19 සම්බන්ධයෙන් මුල්කාළීනව පැවැති වෛද්‍ය විශේෂඥ මතයන් විටින් විට වෙනස්විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව එවැනි මතයන් ඉදිරිපත් විය හැකිය.
එවැනි තත්වයන් පිළිබදව අධ්‍යයනය කර තමන් වෙත විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වෛරස් විශේෂඥයින්, වෛද්‍ය විශේෂඥයින් වෙත අමාත්‍යවරිය විසින් දන්වා ඇති නමුත් කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමිදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වෙනත් කිසිදු කමිටුවක් අමාත්‍යවරිය විසින් පත්කර නොමැති බව තවදුරටත් තහවුරු කර සිටිමු.''