ආණ්ඩුව සමග දිනෙන් දින දුරස්වෙමින් යන 'ජාතිකවාදී' බලවේගය තවදුරටත් තම කඳවුර තුල රඳවා ගැනීම සඳහා විමල් විරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස් ඇතුළු
ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකු විසින් නව දේශපාලන මෙහෙයුමක් ආරම්භකර ඇත.
එම වැඩසටහනේ ආරම්භයක් ලෙස ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී අද (06) මාධ්‍ය හමුවක් කැඳවූ එම පක්ෂයේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, '69 ලක්ෂයක ජනවරමේ බලාපොරොත්තුව මෙය නොවේ' යයි ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ බලධාරීන්ට සිහිපත් කර සිටියේය.
කොවිඞ් ආසාදිතයන්ගේ මළ සිරුරු භූමදානය කළ යුතු බවට තර්ජනය කරමින්, කටමැත දොඩන අසාත් සාලි වැනි දේශපාලන නිගණ්ඨයන් මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන බැවින් එය වැළැක්වීමට අවශ්‍ය පරිදි නීතිය බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් කටයුතු කළ යුතු බවට ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
කොවිඩ්19 වෛරසය ආසාදනය වූ මළ සිරුරු ආදාහනය කිරීමට ආණ්ඩුව ගත් තීන්දුවට මේ වන විට බෞද්ධ, කතෝලික, හින්දු සහ අන්තවාදී නොවන ඉස්ලාම් භක්තිකයන්ද එකඟ වී ඇති බව පැවසු අමාත්‍ය වීරවංශ, එවැනි තීන්දුවක් ගැනීමට මුලික වූ සියලු දෙනාගෙන්ම පළිගන්නා බව පවසන අසාද් සාලි වැනි අන්තවාදීන් අනිවාර්යෙන්ම සිර ගෙදර සිටිය යුතු බව අවධාරණය කළේය.
මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ,” ජනාධිපතිවරණයේදී ගෝඨභය රාජපක්ෂ දිනවා මහමැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නේ අසාද් සාලි වැන්නවුන්ට මෙලෙස ක්‍රියාකරන්න ඉඩ දී බලාගෙන සිටීමට නොවෙයි. අන්තවාදීන් සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අපේ කිසිදු පැහැදීමක් නැහැ” යනුවෙනි.
මාධ්‍යය සාකච්ඡාවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර ද සහභාගි විය.
'69 ලක්ෂයක ජනවරමේ බලාපොරොත්තුව මෙය නොවේ' යයි ජාතික නිදහස් පෙරමුණේ නායකයා මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා වෙත සිහිපත් කර සිටියේ, 'මහින්ද සුළඟ' හරහා රාජපක්ෂවරුන් යළි දේශපාලන කරලියට ගෙන ඒමට තමා ඇතුළු පිරිසක් දැක්වූ දායකත්වය සිහිපත් කරවන ආකාරයෙනි.
ආණ්ඩුව සමග දිනෙන් දින දුරස්වෙමින් සිටින ජාතිකවාදී බලවේගය තවදුරටත් තම කඳවුර තුල රඳවා ගැනීම ඔහුගේ මෙම මාධ්‍ය හමුවේ ඉලක්කය වී තිබිණ.
2015 ජනවාරි 08 දා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ලද පරාජයෙන් පසු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් නන්නත්තාරව ගිය අවස්ථාවේදී යලිත් රාජපක්ෂවරුන් දේශපාලන කරලියට රැගෙන ඒමට 'මහින්ද සුළඟ' නමින් රැස්වීම මාලාවක් සංවිධානය කරනු ලැබුවේ විමල් විරවංශ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, වාසුදේව නානායක්කාර හා දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙනි.
විමල් විරවංශ ඇතුළු කණ්ඩායම විසින් 2015 පෙබරවාදී 18 දා (පරාජයෙන් දින 40කට පසු ) නුගේගොඩ දී සංවිධානය කළ 'මහින්ද සුළඟ' දැවැන්ත රැස්වීමෙන් පසු රාජපක්ෂ කඳවුර තුල යලිත් දේශපාලන බලාපොරොත්තුවක් ඇතිවිය.
දේශපාලනික වශයෙන් විශ්‍රාම යාමට තීන්දුකර සිටි මහින්ද රාජපක්ෂ, යළිත් දේශපාලනයට ඒමට තින්දුකලේ එම රැස්වීමෙන් අනතුරුවය.
එම රැස්වීමෙන් දිනකිහිපයකට පසු මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි නුගේගොඩ මිරිහාන නිවසේ විශේෂ දේශපාලන සාකච්ජාවක් පැවති අතර අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීමේ අදහස ඉදිරිපත් වුයේ එහිදීය.
පොහොට්ටුවට අනුමැතිය ලැබුන හැටි ....
පක්ෂයේ සලකුණ ලෙස 'නෙලුම් මල' යොදාගත යුතු බවට මහින්ද රාජපක්ෂ එහිදී යෝජනාකර තිබු අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ගෙන් වහාම විමසන ලෙස විමල් වීරවංශට දැනුම් දී තිබිණ.
එම රැස්වීමේ සිටියදීම විමල්, මැතිවරණ කොමසාරිස් ගෙන් ඒ පිළිබඳව කළ විමසීමේදී සඳහන් කර තිබුනේ, '' නෙලුම් මල' පක්ෂ සලකුණක් ලෙස ලබාදිය නොහැකි බවයි.
කෙසේවුවද අදාල මැතිවරණ සලකුණේ සටහනක් එවන්නැයි කළ දැනුම්දීම අනුව විමල් විරවංශ විසින් නෙලුම් මලකට සමාන ආකෘතියක් වහාම යවා තිබු අතර එහිදී මැතිවරණ කොමසාරිස් පවසා තිබුනේ එය නෙලුම් මලට සමාන බවයි.
අනතුරුව විමල විරවංශ විසින් යලිත් එම මලෙහි සටහන පොහොට්ටුවක් අකාරයෙන් වෙනස් කර යොමුකළ අවස්ථාවේ මෙවැනි මල් පොහොට්ටුවකට අනුමැතිය ලබාදිය හැකිබව මැතිවරණ කොමසාරිස් දැනුම් දී තිබිණ.
මෙසේ අලුත් පක්ෂයක් ගොඩනගමින් රාජපක්ෂවරුන් බලයට ගෙනඒමට පෙරමුණගත් විමල් විරවංශ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් ගිලිහෙන බලවේග ඒකරාශිකර ගැනීම සඳහා විශේෂ දේශපාලන වැඩසටහනක් ආරම්භකර ඇත.
විමල් විරවංශ විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා අරඹ කරනු ලැබුවේ එම වැඩසටහනයි.
************************************
The Leader TV පුවත් විකාශය !
රට විරුවන් ජනපතිට ශාප කරයි ශාපෙන් බේරෙන්න නාමල්ගෙන් ප්‍රකාශයක්!