විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ නිරෝධායනය වීම සම්බන්ධව
ආණ්ඩුවේ අභ්‍යන්තරයේ පැවති ගැටුම මේ වන විට වඩාත් උණුසුම්ව දේශපාලන කරලියට පැමිණ ඇත. ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති සටහනත් සමගයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් නාමල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, පසුගිය සමයේ යම් යම් හෝටල්වලින් නිරෝධායනය වෙනුවෙන් ලබා ගත් අයකිරීම් ගැන විමර්ශනය කළ යුතු බවයි.
එසේම විදේශ ශ්‍රමිකයින් අධික මිලට හෝටල්වල නිරෝධායනය කිරීම නවතා දැමිය යුතු බවත්, මුදල් ගෙවා හෝටල්වල කරන නිරෝධායනය නවතා රජය විසින් නොමිලේ සියලුම ශ්‍රමිකයින් නිරෝධායන කළ යුතු බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
නාමල් ආරක්ෂක මණ්ඩලයට කැඳවයි !
මේ අතර 'ද ලීඩර්' වෙත වාර්තා වන්නේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ තරුණ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ඊයේ ජනාධිපතිවරයා හමුවී කොරෝනාව ගරානාවක් කරගත් ආණ්ඩුවේ කිහිප දෙනෙකු නිසා ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවද බලවත් අසීරුතාවයකට පත්ව ඇති බව දැනුම් දී ඇති බවයි.
නාමල් රාජපක්ෂ ඇමතිවරයා කළ ඉල්ලීමක් මත ජනාධිපතිවරයා ඔහු ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වෙන ස්ථානයට කැඳවා ආරක්ෂක ප්‍රධානින් ඉදිරියේ කරුණු දක්වන්නැයි ඉල්ලා තිබේ.
කාංචන විජේසේකර, ඉන්දික, රොෂාන් රණසිංහ ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එම අවස්ථාවට එක්ව ඇත.
'' නිරෝධායනය සඳහා නොමිලේ හෝටල් දෙන බව ආණ්ඩුවට සම්බන්ධ ඇතැමුන් කියල තිබුන. එත් එහෙම දෙයක් වෙලා නැහැ. මිනිස්සු හිතන් ඉන්නේ, එයාල හෝටල්වලට ගෙවපු සල්ලි ආණ්ඩුවට අරගෙන කියල. සමහර හෝටල් හිමියෝ නිරෝධායන මිනිසුන්ගෙන් ගහන්කලා. මිනිස්සු ආණ්ඩුවට නොසැහෙන්න බනිනවා.'' යයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසද්දී, යුධ හමුදාපතිවරයා පවසා ඇත්තේ කිසිඳු හෝටල් හිමියකු නොමිලේ හෝටල් ලබා නොදුන් බවයි.
නිරෝධායනයට ලක්වන්නන් සඳහා හමුදාවෙන් හෝටල් සපයන්නේ නැති බවත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ හෝටල් සංස්ථාව බවත් යුධ හමුදාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
කෙසේවුවද හෝටල් සංස්ථාවේ සභාපතිය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට පවසා ඈත්තේ, තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නැති බවයි.
ආණ්ඩු පක්ෂ රැස්වීමත් උණුසුම් !
ඊයේ සවස අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ද මෙම කාරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා වී ඇත.
එහිදී විදේශීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීම ගැන ද සාකච්ඡා කර තිබේ.
මෙහිදී නැගීසිටි අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු, විදේශීය ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම ගෙන්වාගතයුතු බවත් ඔවුන් නිරෝධායන සදහා හෝටල් වලින් සහන මිලක් ලබාදිය යුතුබවත් එසේ නොමැතිනම් නිවෙස් වල නිරෝධායන සදහා ඉඩ දිය යුතු බවත් ප්‍රකාශ කර ඇත.
මෙහිදි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ, මේවන විට මුදල් ගෙවා හොටල් වල කරන නිරෝධායනය නවත්වා රජය විසින් නොමිලේ සියලු ශ්‍රමිකයින් නිරෝධායනය කල යුතු බවයි. එමෙන්ම පසුගිය සමයේ යම් යම් හෝටල් මගින් නිරෝධායන වෙනුවෙන් ලබාගත් අයකිරීම් ගැනද විමර්ශන කල යුතු බව ද ඔහු අවධාරනය කර ඇත.
අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නව දේශපාලන ප්‍රවේශය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු පැවසුයේ, මීට පෙර අදාළ නිරෝධායන ක්‍රියාවලිය ආශ්‍රිතව කටයුතු කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතවත් පාර්ශව බවත්, එවැනි පසුබිමක නාමල් අමාත්‍යවරයාගේ මේ ක්ෂණික නැගී සිටීම රාජපක්ෂ පවුලේ ඇති දේශපාලන සීතල යුද්දයක්ද ? ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ ගැටුමක්ද යන්න සම්බන්ධව විමසිලිමත් විය යුතු බවයි.
The Leader TV පුවත් විකාශය (ජනවාරි 06)
රට විරුවන් ජනපතිට ශාප කරයි ශාපෙන් බේරෙන්න නාමල්ගෙන් ප්‍රකාශයක්! -