රට එල්ටීටීඊ ත්‍රස්තවාදයේ බරපතලම තර්ජනයට ගොදුරු වෙමින් සිටි පසුබිමක එදා තමා කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට එකතු නොවුණා නම් තවත් වසර විසි තිස් ගණනකට උතුරේ යුද්ධය ඇදී යන්නට ඉඩ තිබුණ බව හිටපු
කතානායක කරු ජයසුරිය පවසයි.
 
දේශබන්දු කරු ජයසුරිය එබව සඳහන් කර ඇත්තේ, ජනවාරි මස 05 වනදින 'හිරු' රූපවාහිනී නාලිකාවෙහි විකාශය වූ 'සලකුණ' වැඩසටහනට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශයකට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වමිනි.
 
 
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
'' මා පිළිබදව කරන ලද සදහන ජනතාව නොමඟ යවන්නකි. කරුණු නොදැන සිදුකල ප්‍රකාශයක් නොවේ නම් එය සත්‍ය කරුණු වසන් කරමින් රටේ මහජනතාවද නොමඟ යවා පුද්ගලිකව මාවෙත යම් අපහාසාත්මක යමක් කිරීම එම අරමුණ වූවා විය හැකිය. 
 
ඒ නිසා මා ප්‍රථමයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ගැන කණගාටු වෙමි. එහෙත් ඒ කරුණු මුල් කරගනිමින් කිසිසේතම කම්පා නොවෙමි. අමනාප නොවෙමි. එය මාගේ දේශපාලන දර්ශණයයි.
 
එය එසේ වුවත් බැසිල් රාජපක්ෂ මහතා මාගේ නම සඳහන් කරමින් සිදු කරන ලද එම ප්‍රකාශයේ හරය සැලකිල්ලට ගෙන ඊට පදනම් වූ කාලය හා එම කාල වකවානුවේදී මගේ දේශපාලන භාවිතයට තුඩු දුන් කරුණු ජනතාවට පැහැදිලිකරලීම කළ යුතු වගකීමක් කොට සලකමි. ''
 
 
බැසිල් රාජපක්ෂ 'සලකුණ 'වැඩසටහනේදී මෙසේ සඳහන් කළේය.
 
 “කරු ජයසූරිය මහත්තයා කිලිනොච්චිය පරක්කු වෙනකොට පැන්නා. එයා ඇවිල්ලා යුද්දේ ඉවර වෙනකම් අපේ දෑත් ශක්තිමත් කරන්න කියලා 17 දෙනෙක් එක්ක ඇවිල්ලා, කිලිනොච්චිය ටිකක් පහු වුණානේ අපේ හමුදාව ඉස්සරහට යන්න. එතකොට එයා හිතුවා වැඩේ කෙලවුණා තමා, අපට යන්න බැහැ මෙතනින් ඉස්සරහට. එයා පැන්නා අනිත් පැත්තට” 
 
 
ඒ සම්බන්ධයෙන් සිය නිවේදනය මගින් කරු ජයසුරිය අවධාරණය කර සිටින්නේ, තමා කිසිවෙකුගේ දෑත් ශක්තිමත් කරන්නට ආණ්ඩුවට එක් නොවූ බවය.
 
තමා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර වෙනක් කිසි පක්ෂයක සාමාජිකයෙකු ලෙස එක පැයක් හෝ ගතකර නැතැයි ඔහු ඔහු තවදුරටත් අවධාරණය කර සිටියි.
 
 
 
තමා කිසිම දිනක එක්සත් ජාතික පක්ෂය හැර වෙනක් කිසි පක්ෂයක සාමාජිකයෙකු ලෙස එක පැයක් හෝ ගතකර නැතැයි කරු ජයසුරිය අවධාරණය කර සිටියි.
 
 
ඔහු තවදුරටත් මෙසේ පවසයි.
 
''2007 වසර වනවිට මේ රට පැවැතියේ එල්ටීටීඊ ත්‍රස්තවාදයේ බරපතලම තර්ජනයට ගොදුරු වෙමින් සිටි පසුබිමකය. රුදුරු ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කලයුතුව ඇතැයි යන අදහස සමස්ත ජනතාවගේ ඒකායන අධිෂ්ඨානය බවට පත්ව තිබූ කාලය විය. 
 
එහෙත් එදා පැවැති රජයට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතර බලයක් නොතිබූ අවස්ථාවක ඕනෑම මොහොතක ආණ්ඩුව දුර්වල වීමට හෝ කඩා වැටීමට හැකිව තිබූ පරිසරයක එය එසේ වූයේ නම් එය එල්ටීටීඊ සංවිධානයේ අවසන් ජයග්‍රහණයේ ආරම්භය එමඟින්ම සනිටුහන්වීමට බොහෝසේ ඉඩ තිබුණි. එම අනතුර අන් බොහෝ දෙනෙකුට පෙර හොදින්ම දැන සිටියේ අප යි.
 
ඒ අනුව මේ රටේ අතිගෞරවණීය මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම ආගමික නායකයන්ගේද රට පිළිබද අවංක හැගිමකින් යුත් සෑම පාර්ශවයකම ද ඉල්ලීම වූයේ එවන් මොහොතක සිදුවිය යුත්තේ රට මුහුණ දී ඇති ත්‍රස්තවාදී තර්ජනය පරාජ කිරිම සඳහා ආණ්ඩුව දුර්වල නොකල යුතු බවය. 
 
අප පිලිගත්තේ සමස්ත ජාතියම එක හඩින් එදා ඉල්ලා සිටි එම වගකීමය. එදා ආණ්ඩුවට තිබුණේද එක් වැඩි ඡන්දයක් පමණි.
 
සමහර විට අප එදා කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට එකතු නොවුණා නම් තවත් වසර විසි තිස් ගණනකට උතුරේ යුද්ධය ඇදී යන්නට ඉඩ තිබුණා. 
 
 
 
 
කෙටියෙන් කියනවානම් එදා අප කණ්ඩායම එකතු වූ නිසා තමයි ආණ්ඩුව ශක්තිමත් වුණේ. ආණ්ඩුව ශක්තිමත් වුණ නිසා තමයි යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමේ මාවතට අවතීර්ණ වුණේ. යුද්ධය දිනුව නිසා තමයි අද අප සියලු දෙනාම ජීවත්වන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ඒ තීරණය කිසිවෙකුගේ දෑත් ශක්තිමත් කිරීමක් නොවේ. එය රට ශක්තිමත් කිරීමට ගත්තා වූ තීරණයකි. 
 
 
බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශය, රජය රැකගැනීමට සහය දුන් අනෙක් මන්ත්‍රීවරුන් 16 දෙනාට ද සිදුකළ අපහාසයක් බව පවසන කරු ජයසුරිය, එය ගුණමකු ක්‍රියාවක් බව කියා සිටියි.
 
ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේ කරුණු පැහැදිලි කර ඇත.
 
''දෙවනුව, මා බැසිල් රාජපක්ෂ මහතාට අවධාරණයෙන් යුතුව සිහිපත් කරන කාරණය වන්නේ මා එදා රජයට සහය දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස වන බවය. මා කිසිදු මොහොතක මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ කිසිදු පක්ෂයක සාමාජිකත්වය ගෙන නැත. 
 
වෙනත් ආකාරයකට කියන්නේ නම් බැසිල් රාජපක්ෂ මහතා කාලයක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගෙන ක්‍රියාකාරීව කටයුතු කර ඇති ආකාරයට මා කටයුතු කර නැත.
 
 
 
''වෙනත් ආකාරයකට කියන්නේ නම් බැසිල් රාජපක්ෂ මහතා කාලයක් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගෙන ක්‍රියාකාරීව කටයුතු කර ඇති ආකාරයට මා කටයුතු කර නැත.''
 
 
 
තෙවනුව, සඳහන් කරන්නේද ඉතාමත්ම වැදගත් සිහිපත් කිරිමකි. එනම් මා ද ඇතුළත් කණ්ඩායම එදා ආණ්ඩුවට එක් වූයේ එක්සත් ජාතික පක්ෂයද පිළිගෙන පැවැති වැදගත් සම්මුතියකට අනුගතවය. 
 
එනම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර 2006 වසරේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුවය. 
 
එවකට ශ්‍රීලනිප මහා ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එජාපයේ සභාපති වූ මලික් සමරවික්‍රම මහතාගේ අත්සන් සහිතව 2006 ඔක්තෝම්බර් 23 වන දින කොළඹ දී අත්සන් කරන ලද එකී සම්මුතියට අනුව කරුණු පහකට අදාලව වසර දෙකක කාලයක් එය බලාත්මක වියයුතු විය. 
 
එහි සම්මුති ගත පළමුවන කරුණ වූයේ උතුරු හා නැගෙනහිර අර්බුදයට එක්ව විසදුමක් ලබාගැනීමය. අප ඉටු කරන ලද්දේ එකී වගකීමය. 
 
ඒ අනුව නියමිත වසර දෙකක කාලය තුළ යුද්ධය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට ආණ්ඩුවට සහය දුන් මා 2008 වසරේ පැවැති 2009 වර්ෂයට අදාළ අයවැය ජන්ද විමසීමේදී ඊට පක්ෂව ජන්දය ලබාදී එදිනම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වෙත පිය නැගුවෙමි. 
 
මා කලින් දරමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයේ වැඩකටයුතු නැවත සුපුරුදු ලෙස ආරම්භ කළෙමි. 
 
 
මා ආණ්ඩුවේ කටයුතු කළ වසර දෙකක කාලය තුළ එජාපයේ නියෝජ්‍ය නායක දුරයට වෙනත් කිසිවෙකු පක්කරලීමට පක්ෂය කටයුතු නොකල බවද එහිදී තේරුම් ගැනීම ඉතා වැදගත්ය. 
 
ත්‍රස්තවාදය නිම කිරීම සඳහා මා ගත් පියවර ගැන මරණමංචකය දක්වා සිහිකරමි. ඒ රට වෙනුවෙනි, නූපන් දරු පරපුර වෙනුවෙනි.
 
ඒ අනුව මා ආණ්ඩුවෙන් ඉවත් වූයේ බැසිල් රාජපක්ෂ මහතා කියන ආකාරයට කිලිනොච්චියේදී හමුදාව ලැබූ යම් පසුබෑමක් නිසා නොවේ. සම්මුති ගතව මා රජය සමඟ සිටින බවට එකඟවී සිටි වසර දෙකක කාලය ඒ වනවිට ආසන්න වී තිබූ නිසාය. 
 
එමෙන්ම එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධය සාර්ථකව අවසන් කිරීම සඳහා වන ශක්තිමත් පදනම ඉතා පැහැදිලි ලෙස ඒ වනවිටත් සම්පූර්ණ වී තිබූ නිසාය. අවසන් යුද්ධයට අවශ්‍ය සියළුම අවිආයුද ලබාගනු ලැබුවේ අප අන්තිමට සහාය ලබා දුන් අයවැය ලේඛණයෙනි.
 
 
''ඒ අනුව මා ආණ්ඩුවෙන් ඉවත් වූයේ බැසිල් රාජපක්ෂ මහතා කියන ආකාරයට කිලිනොච්චියේදී හමුදාව ලැබූ යම් පසුබෑමක් නිසා නොවේ. සම්මුති ගතව මා රජය සමඟ සිටින බවට එකඟවී සිටි වසර දෙකක කාලය ඒ වනවිට ආසන්න වී තිබූ නිසාය. ''
 
 
පස්වැන්නට, හා අවසාන වශයෙන්ද බැසිල් රාජපක්ෂ මහතාට එක් දෙයක් සිහිපත් කිරීමට මා කැමැතිය. එනම් එදා රජය සමඟ මා ගතකල එකී වසර දෙකක කාලය පුරා මා දරමින් සිටියේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයයි. 
 
එම අමාත්‍ය ධුරය දරණ කාලයේ සිදු කරන ලද සමස්ත කාර්ය භාරය මා මෙහි සදහන් නොකරන්නේ වුවද නැගෙනහිර පලාතේ සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කරන්නට අමාත්‍යවරයා ලෙස කළ මැදිහත්වීම ගැන යමක් සිහිපත් කළ යුතුමය.
 
මා එදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රාජකාරී භාරගත්තේ දින 180ක කාලයක් තුළ නැගෙනහිර පලාතේ සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කරන බවට පැහැදිලි පොරොන්දුවක් දෙමිනි. එදා සිට මා ප්‍රමුඛ අවධානයක් නැගෙනහිර පලාත වෙත යොමු කලෙමි. 
 
එම පලාතේ සෑම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත ගමන් කරමින් ආගමික නායකයන්,රාජ්‍ය සේවකයන්,ගොවියන් හා ධීවරයන් හමුවෙමින් කටයුතු සංවිධානය කලෙමි. 
 
එහා සමාරම්භක දිනයේ අප නැගෙනහිර පලාතට ගියේ යුධ ටැංකියක නැගීගෙනය. නැගෙනහිර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ඝාතනයට ලක්වූයේ එම දිනයේ දීය.
 
එහෙත් මාස 03කට පසු නැගෙනහිර පලාතේ සියලු රාජ්‍ය ආයතන සක්‍රීයත්වයේ ඉහලම තලයට ලෙන එන්නට අපට හැකිවිය. 
 
රාජ්‍ය සේවය නැවත පණගැන්වෙන ධීවරයන් සුපුරුදු ලෙස නිදහසේ මුහුදු ගියහ. සංචාරකයෝ වෙරළ තීරයේ නිදහසේ සැරිසැරූහ. සියළුම රාජයේ කාර්යාල, පොලිස් ස්ථාන ආරෝග්‍යශාලා, පාසල් ආදී සෑම ස්ථානයක්ම යළි පණගැන්විණි. 
 
එම ජයග්‍රහණය සංකේතාත්මකව සනිටුහන් කරමින් 2008 ජුනි මස 14 හා 15 යන දෙදින තුළ මුලු නැගෙනහිර පලාතම නියෝජනය වන සේ සමඟි රැස්වීම්ද සංවිධානය කරන ලදී. ගරු ජනාධිපතිතුමා නියෝජනය කරමින් ඊට සහභාගී වුයේ ජනාධිපති ලේකම්වරයා ය. 
 
නැගෙනහිර පලාතේ සිවිල් පරිපාලනය යළි සක්‍රීයවිමේ ජයග්‍රහණය පිළිබදව ගරු ජනාධිපතිතුමා වෙත ස්තූතිය පල කරමින් විශේෂ සන්නසක් ගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු කළ අතර ජනාධිපති ලේකම්වරයා එතුමා නියෝජනය කරමින් පැමිණ සිටියේය.
 
 
 
''පළමුවරට ජාතික ගීය පාසැල් දරුවන් විසින් ද්‍රවිඪ භාෂාවෙන් ගායනා කරන ලදි. එය ඓතිහාසික අවස්ථාවක් විය. එහෙත් එම විශේෂ අවස්ථාව ආවරණය කිරීම සඳහා නියමිතව සිටි රජයේ ජනමාධ්‍යවේදීන්  බොහෝ දෙනෙක් බැසිල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කර තිබූ රැස්වීමකට කැදවාගෙන ගොස් ඇති බව මා දැනගත්තේ පසුවය. ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ පිළිවෙත වියයුතුය. ''
 
 
 
 
ඒ කෙසේ වෙතත් මා හැමවිටම මා ජනිත වූ මේ මව්බිමට කෘතගුණ දක්වන්නෙමි. බැසිල් රාජපක්ෂ මැතිතුමාට කෘතගුණ දැක්වීමේ වැදගත්කම පෙන්වා දීමට කැමැත්තෙමි.''
 
 
 
###########
 
'ද ලීඩර්' ජනවාරි 08 පුවත් විශේෂාංගය 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්