# 2021 සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 6,865 ක්
# රටේ අනාගත ඛේදවාචකය අග්‍රාමාත්‍යතුමාගේ  2021.01.08 දිනැති කැබිනට් පත්‍රිකාවෙන් පැහැදිළියි
# 2021 වර්ෂයේ අපේ සමස්ථ වියදම ට්‍රිලියන 05 ක්
# දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපේ ණය බර 95-100% මට්ටමකින් ඉහළට
# ආණ්ඩුවේ බදු ආදායම් ගජ මිතුරන්ට
# වත්මන් රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා ශ්‍රී ලංකාව අවශ්‍රේණිගත මට්ටමට
වත්මන් රජය, ජෝගි නට නටා, කොරෝනා වසංගතය ගරානාවක් කරගනිමින් ගෙනියන මේ පාලන ක්‍රමය තුළින් නුදුරේදීම රට ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණ දෙනු ඇති බවත්, ආදර්ශමත් ක්‍රියාවලියකින් තොරව, විධිමත් මූල්‍ය කළමණාකරනයකින් තොරව කටයුතු කළහොත් රට බංකොළොත්වීමෙන් ගළවාගත නොහැකි වනු ඇති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.
 
වත්මන් රජයේ මෙම අදූරදර්ශී ක්‍රියාදාමයෙන් රජය අසමත් වනවා පමණක් නොව සමස්ථ රටම අඳුරු අගාධයකට ඇද වැටෙන බව පවසන මන්ත්‍රීවරයා, මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට සැබෑ ලෙසම රටට ආදරය කරනා පිරිස එක්වී දේශපාලනයෙන් ආතල් ගැනීම නවතා රටේ ආර්ථිකය ගොඩනැගීමට කැපවිය යුතු බවද පෙන්වා දෙයි.
 
වර්තමානයේ රටේ පැන නැගී ඇති රාජ්‍ය මූල්‍ය අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් ගැන වැඩිදුරටත් අදහස් පළකල මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය.
 
''2021 ජනවාරි 08  දාතමින් යුතුව රටේ අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් එකෙන් ඉල්ලල තියෙනවා විදේශ ණය ගෙවීම සඳහා, දේශීය ණය හා සංවර්ධනය කිරීම සඳහා ණය ගැනීම සඳහා වු විස්තරාත්මක කැබිනට් පත්‍රිකාවක්.
 
ඇමුණුම 01jpeg 
එයින් ප්‍රකාශකොට තියෙනවා 2021 වර්ෂය සඳහා ආණ්ඩුව ගෙවීමට තිබෙන සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 6,865 ක් හැටියට. 
 
මෙයින් ඩොලර් මිලියන 5,351 ක් ණය වාරික හැටියටත්, ඩොලර් මිලියන 1,514 ක් ණය පොලිය ලෙසත් ගෙවන්න තිබෙන බව එතුමාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන්වෙලා තියෙනවා.
 
මීට අමතර වශයෙන් රුපියල් බිලියන 2,987 ක් මේ 2021 වර්ෂය සඳහා, ණය ගැනීම සඳහා තියෙන සීමාවේ ණය ගැනීමට ඉල්ලල තියෙනවා. ''
 
එහිදී ඔහුගේ ප්‍රකාශයට අනුව ණයවල වාරිකය සඳහා රුපියල් බිලියන 1,257 කුත්, ණය පොලිය  හා සංවර්ධන ක්‍රියාවලිය සඳහා රුපියල් බිලියන 1,740 කුත් ලබාදෙන්න කියල ඉල්ලල තියෙනවා. මේවා දේශීය වශයෙනුත්, විදේශීය වශයෙනුත් මූල්‍යනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අවසරය අරගෙන තියෙනවා.
 
මේක තමයි අපි නිරන්තරයෙන්ම පසුගිය වසර පහ හයක කාලය පුරා නගපු ප්‍රශ්නයක්. 
 
විශේෂයෙන්ම මේ විදේශ ණය ඩොලර් මිලියන 6,865 කියන්නේ කොච්චර ගාණක් ද ? 
 
අපි සියලුදෙනාම දන්නවා හම්බන්තොට වරායට වියදම් වුණේ ඩොලර් මිලියන 1,400 කට ආසන්න ප්‍රමාණයක්. ඒ ගාණ ගැන අපි එකඟ වුණත් නැතත්. 
 
ඒ වගේම පුත්තලම 900MW ක විදුලි බලාගාරයට වියදම් වුණේ ඩොලර් මිලියන 1,300 කට ආසන්න ප්‍රමාණයක් අපි කැමති වුණත් අකමැති වුණත්. 
 
ඒ වගේම මේ රටේ ප්‍රධාන ව්‍යාපෘතියක් වෙච්ච වරාය නගරයට අවශ්‍ය කරන බිම්කොටස ගොඩකිරීම සඳහා අදාල සමාගම වැයකළේ ඩොලර් මිලියන 1,400 ක පමණ මුදලක්. 
 
එතකොට අපිට පේනවා මේ ණය මුදලෙන් අඩක් පමණ තමයි ඒ ප්‍රධාන ව්‍යාපෘති තුනටම ගොඩනැගිල තියෙන්නෙ.
 
ඒ වගේම මේ රටේ ප්‍රධාන අධිවේගී මාර්ගවලට වැයවෙලා තියෙන මුදල ගත්තත් මේ මුදලට වඩා අඩුයි කියල අපිට කියන්න පුළුවන්. 
 
ඒ අනුව වර්ෂයක් ඇතුළත කොළඹ වරාය නගරය වගේ කීප ගුණයක් ණයක් ගෙවන්නවීම, පුත්තලම බලාගාරය වගේ කීප ගුණයක ණයක් ගෙවන්නවීම, ඒ වගේම හම්බන්තොට වරාය වගේ කීප ගුණයක ණයක් ගෙවන්නවීම, කොළඹ සිට හම්බන්තොටට තියෙන අධිවේගී මාර්ගයට ගෙවන්න තියෙනව වගේ කීප ගුණයක ණයක් ගෙවන්න වීම ඉතාම භයානක බරපතල තත්ත්වයක් බව අප හැමටම තේරෙන්න ඕන. 
 
මේක මේ රට පෙළන දැවැන්ත ණය අර්බුදයේ විශාලතම ක්‍රියාදාමයක අපේ රට අනාගතයට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නයේ ඛේදවාචකය තමයි මේ කැබිනට් පත්‍රිකාවෙන් පෙන්නුම් කරල තියෙන්නේ.
 
මේක අපි කලින් ඉඳන්ම පෙන්වල දුන්නා. 2014 දී ‘ආලපාළු ආර්ථිකය’ නමින් මම කෘතියක් ලිව්ව. ඒක බොහෝ දෙනෙක් පිළිගත්තා. 
 
නමුත් අතිවිශාල ආණ්ඩුවේ පිරිසක් ඒකට උසුළු විසුළු කලා. 
 
ඒකට ප්‍රති උත්තර දෙන පතපොතත් ලියැවුණා. 
 
ඒ වගේම දිගින් දිගටම මෛත්‍රීපාල සිරිසේන මහත්මයගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව පවතින කාලයේ මම මේක පෙන්වල දුන්නා. 
 
‘මූල්‍ය අගාධයක් අභිය’ස කියල ඒ ආණ්ඩුවටත් මම අනතුරු ඇඟවීමක් කළා 2016 දි. කැබිනට් පත්‍රිකාවකුත් දැම්ම මේ ණය පිළිබඳ තත්ත්වය පැහැදිළි කරල. 
 
ඒ වගේම 2019 දි ‘ඉන්න හිතෙන රටකට’ යන තේමාව යටතේ මේ ණය අර්බුදයත් එයින් ගැලවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්  සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරල තියෙනවා. 
 
ඒ නිසා මා විසින් කාලයක් තිස්සේ මේ රටේ උගත් වෘත්තීයවේදීන්, ආර්ථිකය ගැන දැන උගත් පිරිස විසින් කාලාන්තරයක් තිස්සේ අනතුරු අඟවන ලද ක්‍රියාවලියේ උච්චතම අවස්ථාවක් ලෙස හඳුනාගන්න පුළුවන් 2021 ණය පියවීමේ අර්බුදය.
 
පසුගියදා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මා තවත් ප්‍රශ්නයක් යොමුකළා. ඒ තමයි රටේ ආදායම් පිළිබඳව නගන ලද ප්‍රශ්නය. 
 
එයට එතුමා පිළිතුරක් ලබාදුන්නා. 
 
විශේෂයෙන්ම මේ රජය බලයට පැමිණීමට පෙර කෝවිඩ් උවදුරට කලින් 2019 දෙසැම්බර් මාසෙ 01 වන දා ලබාදීපු බදු සහනය නිසා ඇතිවෙලා තියෙන බලපෑම ඒ දීල තියෙන සංඛ්‍යා ලේඛන අනුව පෙනී යනවා. 
 
2019 වර්ෂයට සාපේක්ෂව අඩුම තරමින් 30% ක පමණ ප්‍රමාණයක් බදු ආදායම අහිමි කරගෙන තිබෙන බව.   
 
අනෙක් පැත්තෙන් බදු ආදායම ආසන්නයෙන් මේ 2020 වර්ෂයට රුපියල් බිලියන 1,020 ක් පමණ වන බව තමයි පෙනී ගිහින් තියෙන්නෙ. 
 
ඒ අනුව සමස්ත ආදායම කෙසේවත් රුපියල් බිලියන 1,300 ඉක්මවා නොයන බව 2020 ට ඉතාම පැහැදිළියි. 
 
නමුත් රජයේ අයවැයි ලේඛනය කිව්වෙ මේක රුපියල් බිලියන 1,500 ක් කියල. 
 
ඒක යථාර්ථවාදී නැහැයි කියල අපි නිරන්තරයෙන්ම කිව්ව, ජාත්‍යන්තර ආයතන පවා කිව්වා, ඒ බව දැන් ඒ සංඛ්‍ය ලේඛනවලින් පෙනිල තියෙනවා.
 
වැදගත්ම කාරණය මේකයි, 2013 – 14 වර්ෂවල තිබුණෙත් අපේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,000. ඒ කියන්නේ ට්‍රිලියනයක සීමාවේ. 
 
ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ පාලනය විසින් මේක රුපියල් ට්‍රිලියන 02 දක්වා ඉහළ නැංවුවා 2019 වෙනකොට. 
 
සහරාන්ගේ ප්‍රහාරය නූනානම්, ඒ වගේම මැතිවරණය නිසා අවසාන මාස එකහමාරේ බදු එකතු කිරීම හා ඒ ලබාදීපු බදු සහනය නොඑන්න මේ ට්‍රිලියන 02 ඉලක්කය ළගාකරගැනීමට අපට හැකියාව තිබුණා.
 
නමුත් අවාසනාවකට දැන් නැවතත් අපේ ආදායමෙන්, රාජ්‍ය ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අපට අහිමිවෙලා තිබෙන බව ප්‍රකාශ කරන්න ඕන. 
 
ඒ අතරේ අපේ වියදම් පාර්ශවය සුපුරුදු පරිදි ඉතාම බිහිසුණු විදියට ඉහළ නැගල තියෙනවා. මේ 2021 වර්ෂයේ අපේ සමස්ථ වියදම ට්‍රිලියන 05 ක්. බිලියන 5,000 කට ආසන්න වෙන බව ප්‍රකාශ කළ යුතුයි. මේ තත්ත්වය මේ රටේ අර්බුදයක් හැටියට අනාගතයේ නැග එන්න නියමිතයි.
 
ඒ වගේම රටේ මේ තත්ත්වය පිළිබඳව ගත්තොත් අපිට පේනවා කරුණු 03 ක්. 
 
එකක් මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන කාරණාවක් වෙන්නෙ රාජ්‍ය මූල්‍යය. ඒ කියන්නේ රජයේ එදිනෙදා වියදම් පියවාගන්න රුපියල්වලින් මුදල් නොමැතිවීමේ අර්බුදය. 
 
දෙක, අර කියන දැවැන්ත විදේශ ණය ප්‍රමාණය ආණ්ඩුවේ. ඒ වගේම පුද්ගලික අංශයේ. ඒවත් ගෙවන්න ඕන 
අවසාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන දැවැන්ත විදේශ ණය මුදල් කන්දරාව. 
 
ඒ වගේම තුන්වනුව, මේ රටේ පොදු ජනතාවට බලපාන බඩුමිළ ඉහළයාම, අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟය, ඒ වගේම තමන්ගේ සාක්කුවේ ධනය නොමැතිවීමෙන් ඇතිවන දරිද්‍රතාවය හා ඒ ආර්ථික උද්ධමනය නිසා මතුවන සමාජ අසහනයත්, දුප්පත්කමත්, ඒ වගේම ධනවත් පුද්ගලයින්ට පවා දුප්පත් වීමට බලකෙරෙන තත්ත්වයත්, ඒ නිසා ඇතිවන ජන අසහනය, ජනදුක තමයි තුන්වන අර්බුදය.
  
රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය එක්තරා ආකාරයකට පසුගිය කාලය පුරාම වර්ධනය කරගත් අර්බුදයක්. නමුත් විශේෂයෙන්ම මේ Stimulus පැකේජ් කියල, ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා කියල 2019 දෙසැම්බර් 01 වන දා ගෙනාපු බදු ප්‍රතිපත්තිය ප්‍රධාන හේතුවක් වුණා රාජ්‍ය ආදායම් මේ ආකාරයට බිඳ වැටීමට. 
 
එහි ප්‍රතිඵලයක් හැටියට අද රාජ්‍ය ආයතන කිසිවකට බෝනස් එකවත් ගෙවාගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා විතරක් නෙමෙයි, රාජ්‍ය ආයතන බහුතරයක්, රාජ්‍ය ආයතන තියෙනවා 1,000 කට වැඩි ප්‍රමාණයක්. 
 
සංස්ථා, අධිකාරී තියෙනවා 400 කට අධික ප්‍රමාණයක්. මේ බොහොමයක්ම අද ඉතාම බරපතල විදියට කඩා වැටිල පාඩු ලබන තත්ත්වයට ඇද වැටිල තියෙන බවත් ප්‍රකාශ කරන්න ඕන. ඒ රාජ්‍ය ආයතනවල ණය බරත් ඉතා අධිකව ඉහළ ගිහින් තියෙන විත්තිය ප්‍රකාශ කරන්න ඕන.
 
බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ ණය මනින්නෙ දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව කියල. ඔව් ඒක එක්තරා මිනුමක් තමයි. ගිය වසරේ ගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම දැනට නිකුත්වෙලා තියෙනවා 
 
කාර්තු තුනක වර්ධන වේගයන්. ඒ වර්ධන වේගයන් සමස්ථයක් හැටියට ගත්තහම පළවන මාස 09 තුළ -5.3 ක වර්ධනයක් තමයි තියෙන්නෙ. නිදහසෙන් පස්සෙ ආර්ථිකය සෘණ වෙච්ච අවස්ථා දෙකයි තියෙන්නෙ, එකක් 2001. අනික මේ වසර. 
 
2001 තිබුණ‍ෙ -1.7 යි. දැන් -5.3 ක වර්ධනයක් තියෙන්නෙ. මේක ධන වර්ධනයක් බව පෙන්වන්න ඇතැම් අය උත්සහ කළත් මෙය එසේ වෙන්නෙ නෑ, අපට ඉදිරි කාලයේදී මෙහි නියම නිල සංඛ්‍යා ලේඛනය ලැබෙයි. 
 
මේ තත්ත්වය තුළ ආසන්නයෙන් 95-100% මට්ටමට දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව අපේ ණය බර ඉහළයාම සිද්ධවෙනවා.
 ඇමුණුම 02
 
වැදගත් වෙන්නෙ මේ දළ දේශීය නිෂ්පාදනයට ණය බර ඉහළයාම නෙමෙයි, ආණ්ඩුවේ ආදායමට සාපේක්ෂව මේ ණය ගෙවන්න වැය කරන මුදල. විශේෂයෙන්ම පොලිය. ආණ්ඩුව කියල තියෙන සංඛ්‍ය ලේඛනවලට අනුව පළමුවන මාස නවය තුළ පොලිය ගැන කල්පනා කරල බැලුවම ආණ්ඩුව කියන සංඛ්‍යා ලේඛන අපි පිළිගන්න බෑ. 
 
අනිවාර්යෙන්ම මේ 2020 වර්ෂයේ දී අඩු තරමින් පොලිය ගෙවන්න රුපියල් බිලියන 1,040 ක්වත් වැයවන බව පේනවා. 
 
ආසන්නයෙන් අපේ ආණ්ඩුවේ බදු ආදායමට සමානයි. ආණ්ඩුවේ බදු ආදායමට සමාන ප්‍රමාණයක් ණයේ පොලිය ගෙවන්න වැය කරන රටක් ඇත්ත වශයෙන්ම අතිශය බංකොලොත් තත්ත්වයේ රටක් බව ඉතාම පැහැදිළියි. 
 
ඒ නිසා ඔය පාරවල් ලක්ෂය හා අනෙකුත් සංවර්ධන යෝජනා ක්‍රම ගැන මොනතරම් උත්කර්ෂවත් ලෙස කතා කළත් ආණ්ඩුව මතක තබාගත යුතුයි, අපේ ජනතාව මතක තබාගත යුතුයි. 
 
2019 අපේ ආණ්ඩුව යටතේ ප්‍රාග්ධන වියදම් තිබුණ බිලියන 900 කට අධික ප්‍රමාණයක්. 
 
මේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ වැඩබිමේ තිබුණෙ රුපියල් බිලියන 400 ක වැඩ පමණයි. අඩකටත් අඩු ප්‍රමාණයක් තමයි ප්‍රාග්ධන වියදම් කරල තිබුණෙ. මේ අනුව ඉදිරියට සෞභාග්‍යයේ වැඩබිම ඉදිකිරීම නම් පහසු වෙන්නෙ නෑ.
 
මේ බදු ආදායම්වලට මරු පහරවල් ටිකක් එල්ල කළා තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කරගැනීම සඳහා. 
 
විල්මා සමාගම විසින් සිදු කරපු සීනි වංචාව. සෑම සීනි කිලෝවකින්ම රුපියල් 50 කට අධික ප්‍රමාණයක් එක සමාගමකට වංචා කරන්න ඉඩදීලා ආසන්නයෙන් රුපියල් මිලියන 10,000 කට අධික ප්‍රමාණයක් රටට අහිමි කිරීම. 
 
ඒක තමන්ගේ හිතවත් ගජ මිතුරෙකුගේ සාක්කුවට දාල කටයුතු කිරීම. ඒ වගේම මේ ගජ මිතුරා මීට කලිනුත් ශැන්ග්‍රීලා හෝටලය ඉදිකිරීම පිළිබඳ කාරණයේදී අති විශාල කප්පම් මුදල් ගෙවපු පුද්ගලයෙක්. 
 
ඒ වගේම පොල්තෙල් වංචාව. ඒ වගේම රාජ්‍ය බැංකු හරහා සිදුකරපු ලංකා බැංකුව හරහා කරපු සිගරට් වංචාව. මෙවැනි කාරණා එක්ක අපිට පේනවා ආර්ථිකය පිළිබඳව මෙවැනි දෑ සිදුවෙනකොට එහි විශ්වසනීයත්වය, බදුගෙවන්න ඒ ව්‍යාපාරිකයන්ට හා අනෙක් අයට තියෙන විශ්වාසනීයත්වයත් බිඳ වැටෙනවා මෙවැනි ක්‍රියාදාමවලින් තවදුරටත්.
 
අපි බොහොම පැහැදිළිව කියන්න ඕන පසුගිය 2020 වසරේ ආණ්ඩුවේ ණය පියවීම සඳහා මහ බැංකුව සහ අනෙකුත් බැංකු මඟින් ලබාගෙන තියෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,593 ක්. 
 counterfeit cash edited 850x460 acf cropped
මහ බැංකුව විසින් අච්චුගසන ලද මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 659 ක්
 
මහ බැංකුව විසින් අච්චුගසන ලද මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 659 ක්. ඇතැම්විට මේවා කෙනෙකුට තේරෙන්න පුළුවන් මේවා මොනවද සංඛ්‍යා ලේඛන කියල. 
 
නමුත් ඔය කියන ඊනියා යහපාලනය ආර්ථිකය කෑවයි කියන කාලෙ 2019 රුපියල් බිලියන 04 ක විතරයි අතිරේක සල්ලි අච්චු ගහල තියෙන්නෙ. 
 
නමුත් රුපියල් බිලියන 659 ක් කියන්නෙ, රාජ්‍ය ආදායම 1,300 ක් වෙනකොට ඒකෙන් අඩක්ම වගේ  අච්චු ගහපු සල්ලි. 
 
අන්න ඒ නිසා තමයි අද පොල්ගෙඩිය 120 ට ගිහිල්ල, හාල් සේරුව 150 ට ගිහිල්ල තියෙන්නෙ. ජනතාවට සල්ලිවල අගය ඉස්සරහට කිසිසේත්ම වටිනාකමක් නැති තත්ත්වයකට පත්වෙයි මේ ආකාරයට ආණ්ඩුව සල්ලි අච්චුගහමින් ගියොත්.
 
ඒ වගේම රටේ ප්‍රධාන බැංකු, ලංකා බැංකුව හා මහජන බැංකුව බරපතල සූරාකෑමකට ලක්වෙලා තියෙනවා. ලංකා බැංකුවේ ණය අයිරාව, ඒ කියන්නෙ ආණ්ඩුවේ පඩි නඩි ගෙවන්න ලංකා බැංකුව විසින් ගෙවන මුදල රුපියල් බිලියන 300 ඉක්මවල තියෙනවා. 
 
ඒ වගේම තවත් බිලියන 285 ක් පාරවල් හදන්න, වතුර ආදී ව්‍යාපෘතිවලට ලංකා බැංකුවෙන් අරගෙන තියෙනවා අනාර්ථික දේවල්වලට. 
 
ඒවගෙන් කිසිම ආදායමක් ඉපදවෙන්නෙ නෑ. ඒවා පොදුවේ කරන සංවර්ධනය. දැනටමත් ලංකා බැංකුවේ මුළු සංචිත ප්‍රමාණයෙන් අඩකට අධික ප්‍රමාණයක් ආණ්ඩුව විසින් සූරාකාල තියෙනවා.  
 
මහජන බැංකුවේ තත්ත්වයත් ඒකයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවට වෙලා තියෙන්නෙත් ඒකයි. මේ දැවැන්ත මූල්‍ය ආයතන තුන අපි නිවැරදිව පාලනය නොකරනවා කියන්නෙ අනිවාර්යෙන්ම අපේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයකට මේ ආයතන කඩා වැටෙන්න ගියොත් එහෙම අර සෙලාන් බැංකුව ඇද වැටුණා වගේ ඉතාම බරපතල ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා. 
 
මොකද මහජන විශ්වාසය දිනෙන් දිනම මේ රාජ්‍ය මූල්‍ය කෙරේ බිඳ වැටෙන්න ගියාම මේ අර්බුද අනාගතයේ බොහොම තීරණාත්මකව මතුවෙන්න නියමිතයි.
 
මේ රාජ්‍ය ණය අර්බුදයේ පදනම වෙන මොකක්වත් නෙමෙයි, 2005 දි 5% කට වගේ සීමාවෙලා තිබිච්ච වානීජ ණය ප්‍රමාණය අපේ, විශේෂයෙන්ම විදේශවල ඒව 55% දක්වා ඉහළ ගෙනයාම. 
 
ඒ වගේම අවුරුදු 10 ක් 9 ක් වගේ තිබුණු මේ ණය ගෙවීමේ කාලය, කල් ඉකුත්වීමේ කාලය අද වෙනකොට අවුරුදු 5 ක 6 ක සීමාවකට පැමිණීම. ඒ කියන්නේ පාලන තන්ත්‍රයක් ඇතුලෙ ණය මුළුමනින්ම ගෙවන්න සිදුවෙලා තියෙන අර්බුදය. ඒක තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කැබිනට් පත්‍රිකාවේ යථාර්ථය.
 
විදේශ ණය. මේක තමයි අපිට තියෙන බරපතලම ප්‍රශ්නය. ශ්‍රේණිගත කිරීමේ ගමාගම් දැනටම අපිව පහළට අවශ්‍රේණිගත කිරීමකට ගෙනිහිල්ල තියෙනවා CCC මට්ටමට.
 
 අපත් එක්ක ඉන්නෙ ඉරාකය, ඇන්ගෝලාව, ගැබොන් වැනි රාජ්‍යයන් කිහිපයක්. ඒ රාජ්‍යන් අතරත් අපි ඉන්නෙ ඉතාම පහළින්. මේ සමාගම් පහුගිය කාලෙ කරපු ප්‍රකාශ දිහා බැලුවහම පේනවා මේ සමාගම් බොහොම පැහැදිළිව කියනවා, මේ රටේ මේ ප්‍රශ්නය කෝවිඩ් නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි, වැරදි ආර්ථික කළමණාකරනය නිසා, විශේෂයෙන්ම නාස්තික මෝඩ බදු ප්‍රතිපත්තිය නිසා ඇති වෙච්ච දෙයක් කියල.
 
ඇමුණුම 03
 
ඒක ඒ අයගේ ප්‍රකාශවලින් ඒ වගේම City Group, JP Morgan වැනි දැවැන්ත මූල්‍ය ආයතන වලින් කරපු ප්‍රකාශ මඟින් පෙනී යනවා.  විදේශවල තියෙන මේ විශ්වසනීයත්වය බිඳවැටෙනකොට ඒක අද ලංකා බැංකුවටත් බලපාල තියෙනවා.
 
 රක්ෂණ සමාගම්වලටත් බලපාල තියෙනවා. 
 
ඒ නිසා ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රශ්නවලට මුහුණ දීල තියෙනවා ලංකා බැංකුවත් අනෙකුත් අයත්. 
 
මේක අනාගතයේදී ලංකාවේ පුද්ගලික බැංකුවලටත් බලපාන්න පුළුවන් දැනට ප්‍රශ්නයක් මතු නොවුණත්. මේ දැවැන්ත මුදල ගෙවීමට කතාකරන විට අපි මතක තබාගත යුතුයි
 
2010 දි අපේ සම්පූර්ණ විදේශ ණය ගෙවන්න අපිට තිබුණේ ඩොලර් බිලියන 1.5 ක් පමණයි. 2013 වෙනකොට මේක ඩොලර් බිලියන 2 ක් වුණා.
 
ඇමුණුම 04
 
දැන් මේ කියන විදියට ආණ්ඩුව විතරක් ගෙවන්න ඕන ඩොලර් බිලියන 6.9 කට ආසන්න ප්‍රමාණයක්. පුද්ගලික අංශයේ අයත් එක්ක එකතු කළහම මේ ඩොලර් බිලියන 8 ක් ඉක්මවා යන්න ඉඩ තියෙන බවට තමයි විචාරකයො කියන්නේ. 
 
ඒ අනුව 2023 වනවිට මේ දැන් ගන්න ණය, දැනටත් ඉන්දියාවෙන් හා චීනෙන් අතිරේක වශයෙන් Currency swap එකක් හරහා ඩොලර් බිලියන 2.5 ක් ගන්න තියෙනවා. ඒක කෙටිකාලීන ණය. 
 
ඒවත් එකතු වුණහම 2023 වනවිට මේ ආපසු ගෙවීමේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10 සීමාවට ගමන් කරන්න පුළුවන්. ඒවා අපේ සම්පූර්ණ අපනයනයට සමාන මුදලක්. 
 
මේ සියල්ලෙන් පෙන්වන්නේ මොකක්ද ? මෙය කිසිසේත්ම අපිට ළඟාකරගන්න බැරිදෙයක් බවයි. අවුරුදු 10 ක් ඇතුළත අපේ විදේශ ණය ප්‍රමාණය පස් ගුණයකින් වැඩිවෙලා තියෙන බවයි. 
 
ඒ අවුරුදු 10 ඇතුළත විදේශ මුදල්වලින් ගත්තහම අපේ දළ දේශීය නිෂ්පාදනය වැඩිවෙලා තියෙන්නේ 20% ක පමණ ප්‍රමාණයකින් විතරයි. නමුත් ණය ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා 500% කින් ආපසු ගෙවීම.
 
මේ ප්‍රශ්නයට උත්තර දෙන්න බෑ, අපි තවත් සුරංගනා කතා කියමින්. විදේශ ණය අර්බුදය විසින් මේ රට මේ වසරේ, එහෙමත් නැත්නම් ඊළඟ වසරේ දී ඉතාමත් තර්ජනාත්මක තත්ත්වයකට පත්වෙනවා විතරක් නෙමෙයි එක දවසක් හරි අපිට මේ ණය ගෙවාගන්න බැරි වුණොත්, අපි බංකොලොත් රටක් බවට පත්වුණොත් ආණ්ඩුව පමණක් නෙමෙයි මහජනයා මේ අපි ඔක්කොම මහා විනාශයකට ලක්වෙන්නත් ඉඩ තියෙනවා.
 
ජනතාවට අද ආර්ථිකයක් නෑ. ජනතාව කෝවිඩ් එක විසිනුත්, කෝවිඩ් ගරානා කල්ලි විසිනුත් ගසා කනවා. ජනතාව ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ෆේස් මාස්ක් එකෙන් හොරකම් කළා, සැනිටයිසර් එකෙන් හොරකම් කළා, පීසීආර් කට්ටල වලින් හොරකම් කළා, ඇන්ටිජන් වලින් හොරකම් කළා, අපි දන්නව ඒව පිටිපස්සෙ ඉන්න ගජ මිතුරො කව්ද කියලා. 
 
නිරෝධායනයට මුවාවෙලා අද අපේ අහිංසක ජනතාවගෙන් දහස් ගණන් කොල්ලකන තත්ත්වයක් අද ඇතිවෙලා තියෙනවා. ඊළඟට සංචාරකයින් ගෙන්වීම පැත්තෙන් රටට රෝගය කෙලින්ම බෙදාදෙමින් කිසිම නීතියක් තකන්නේ නැතිව රටේ ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍ය භයානක අනතුරක දාල තියෙන බවත් ප්‍රකාශ කරන්න ඕන.
 
මේ සියල්ලම ජාවාරම්. මේ කොරෝනාවත් මහා ගරානාවක් බවට පත්වෙලා තියෙනවා. 
 
මේක සාහසික අපරාධයක්. ඒ අතරේ ජනතාවගේ සාක්කු හිඳිලා, ආදායම් අහිමිවෙලා, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවෙලා, රැකියාවට ගියත් අද මූලික වැටුප විතරයි ගෙවන්නෙ, රජයේ සේවකයින්ට බෝනස් ගෙවල නෑ, මේ ආදී වශයෙන් සෑම පැත්තකින්ම අපිට ඇහෙන්නෙ ජනතාවගේ දුක. ඊළඟට මේ සල්ලි අච්චුගැසීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට අති විශාල විදියට උද්ධමනය ඇතිවෙලා.
 
මුදල් රාජ්‍ය ඇමතිවරයා කියල තියෙනවා යහපාලන ආණ්ඩුව අරන් තියෙනවා ණය මාස 15 ට ට්‍රිලියන 6 කට වැඩිය කියල. 
 
ඇත්ත වශයෙන්ම ඒ ට්‍රිලියන 6 නොතිබෙන්න, මහ බැංකුවේ ඒ සංචිතය නොතිබෙන්න මේ 2020 වර්ෂයේදීම ලංකාණ්ඩුව බංකොලොත් වෙනවා. ඒ සංචිතය හැදුවෙ නැත්නම් එවකට හිටපු මහ බැංකු අධිපති කුමාරස්වාමි මහත්මයා ඒ ණය අරගෙන, 2020 දිම අපි බංකොලොත්බවට පත්වෙනවා.
 
මේ විදියට ගත්තහම අද අපේ ජනතාව ඉතාමත්ම දුෂ්කර, දුක්ඛිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. 
 
මේවට විසඳුම් නැද්ද ? මේ විදියටම තමයි පකිස්තානයේ එදා ඉම්රාන් ඛාන් මහතා ආවේ. පකිස්තානයක් මේ වගේ තත්ත්වයකට පත්වෙලා තිබුණා 2015-16 වෙනකොට. 
 
මේ විදේශ ණය ගෙවීම පිළිබඳව ලොකු අර්බුදයක් තිබුණා. ඔවුන් හිතුවා සෞදි අරාබිය වගේ මිත්‍ර රටවලින් චීනය වගේ රටවලින් අරගෙන යන්න පුලුවන්, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ජාත්‍යන්තර ආයතන අවශ්‍ය නෑ කියල. 
 
නමුත් අවුරුදු තුනක් විතර බොහොම බරපතල විදියට උත්සහ කරල ඒව බිඳ වැටුණට පස්සෙ අවසානයේ 2019 දි ඉම්රාන් ඛාන් පාලනය IMF සරණ ගියා.
 
දැන් ආණ්ඩුව තීරණය කරන්න ඕන අපි කුමන ආකාරයට ද මේව පියවන්නෙ. එදිනෙදා මේ කරන මුදල් හුවමාරුවලින් ඉන්දියාවෙන් හරි චීනෙන් හරි, මුදල් අරගෙන මේ ගණුදෙනුව පියවා ගන්නවද ? ඒ මුදල් අපිට නිකන් ලැබෙනවද ? කොන්දේසි නැද්ද ? ඒවත් එක්ක මේ රාජ්‍ය දේපොළ වෙන්දේසිය ගැටගැහිල නැද්ද ? කියන එක අප කල්පනා කරල බලන්න ඕන.
 
ඒ වගේම මහජනයාගේ පැත්තෙන් අපි කියන්නේ, මේක ගලවාගන්න පුළුවන් ප්‍රශ්නයක්. 
 
පළමු කාරණය තමයි විදේශවලටත් රටේ ජනතාවටත් ඇත්ත කියන එක. අවංක වෙන එක. ඒ වගේම අද රට ඉන්නෙ මහා දැවැන්ත පාරවල් කාපට් කරන්න පුළුවන් තත්ත්වෙක නෙමෙයි. 
 
අද රට ඉන්නෙ බංකොලොත්භාවයෙන් ගලවාගැනීමේ තත්ත්වයක. ඒ නිසා රට ගලවාගැනීමේ මෙහෙයුමක් වැදගත් පරම්පරාවක් විසින් ශක්තිමත් පරම්පරාවක් විසින් සිදුකළ යුතු අවස්ථාව ඇවිල්ල තියෙනවා. 
 
අපි අපේ රාජ්‍ය ආයතන පාලනය කරල පෙන්නල තියෙනවා. කොහොමද මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ණය වෙච්ච රාජ්‍ය ආයතන ගොඩනගන්නෙ කියල. එවැනි ආදර්ශමත් ක්‍රියාවලියකින් තොරව සහ විධිමත් මූල්‍ය කළමණාකරනයකින් තොරව ජෝගි නට නටා කොරෝනා ගරානා කර කර නම් මේ රට ගොඩගන්න බෑ.
 
අපි අත්‍යාවශ්‍යයෙන්ම විධිමත් මූල්‍ය කළමනාකරණයකට රට යොමු නොකළහොත් ඉදිරි අවුරුදු දෙක තුන මේ රටේ අනාගතය භයානක අඳුරකට ගිහිල්ල, මේ රටේ ඇති හැකි අය ටික මේ රටෙන් පලා ගිහිල්ල මේ රට මානව කාන්තාරයක් බවට පරිවර්ථනය වීමේ ඉඩකඩ තිබෙනවා.
 
 එය වළක්වාලීමට මේ රටේ දැන උගත් කාර්යක්ෂම රටට අවංක, රටට ඇත්තටම ආදරේ කරන විදේශ රටවල තමන්ගේ එක කකුලක් තියාගෙන අනෙක් කකුල මෙහේ තියාගෙන කොයිවෙලේ හරි රටින් පනින්න බලාගෙන ඉන්න අය නෙමෙයි, මේ රටට ඇත්තටම ආදරේ කරන පිරිස, අරිට්ඨකීවෙන්ඩුල නෙවෙයි, මේ රටට අද අවශ්‍ය උපදේශකයො, අපට අද අවශ්‍ය ධර්මය පිළිබඳව අවබෝධයකින් යුතුව මේ රට ඉදිරියට ගෙනියන්න මේ රට වෙනුවෙන් කැප වෙච්ච පරම්පරාවක්. 
 
අන්න ඒ පරම්පරාවට අපි ආරාධනා කරනවා අපි ඔය දේශපාලනෙන් ආතල් ගන්න එක නවත්තල අපි උත්සහ කරමු මේ රට බොහොම බැරෑරුම්ව මේ රටේ අනාගතය ගැන හිතට අරගෙන මේ රටේ ඉදිරි ආර්ථිකය ගොඩගනන්න කැපවෙන්න. ඒ සඳහා අපි ඔබ සියලුදෙනාටම ආරාධනා කරනවා.
 
අර්බුදයේ ගැඹුර වටහාගන්න, මේ අර්බුදය විසඳන්න මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ, හැබැයි මේ ආණ්ඩුව අසමත් වෙන්නෙ මේ මුළු රටමත් අගාධයකට දමමින්. ඒ නිසා අපි අපේ පරපුර සූදානම් කරමු. රටේ විවිධ ක්ෂේත්‍රවල හැකියාපූර්ණ පිරිස සූදානම් වෙමු.''
 
 
 
 
 
 

 The Leader TV  

ජනාධිපති ෆෝම් කළ ලේකම්....

'මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්