වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්‍රියාවෙන්ම පෙන්වා ඇති බවත්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක අවධාරණය කර සිටියි.
එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බවද ඔහු අවධාරණය කරයි.
ඔහු මේබව කියා සිටියේ, 'සිරස' රූපවාහිනිය සමග පැවති වැඩසටහනකට එක්වෙමිනි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය ආයෝජකයකු සම්බන්ධකර ගැනීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, ලොව ප්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයන් විසින් පාලනය නොකරන බවද පෙන්වා දෙයි.
ඉන්දියාව මෙතරම් උනන්දු ඇයි?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සියයට 49ක් ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයට ලබා දීමට රජය මේ වනවිට යෝජනා කර තිබේ.
වරාය අධිකාරිය සතුව ඇති මේ ජාතික සම්පතට විදේශීය ආයෝකයෙකු හවුල් කර ගැනීමේ සූදානම පිළිබඳව මේ වනවිට ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි.
ඉන්දියන් සාගරයේ නැගෙනහිර, බටහිර යා කෙරෙන මුහුදු මාර්ගයේ ප්‍රධාන උපායමාර්ගික වරායක් ලෙස කොළඹ වරායට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.
කොළඹ වරාය තුළ මෙහෙයුම් සිදු කරන ප්‍රධාන පර්යන්ත 5ක් පිහිටා තිබේ.
1- ජයබහාලු පර්යන්තය,
2- සමගි බහාලු පර්යන්තය,
3- සවුත් ඒෂීයා ගේටවේ ටර්මිනල් හෙවත් SAGT,
4- කලම්බු ඉන්ටර් නැෂනල් කන්ටේනර් ටර්මිනල් හෙවත් CICT සහ
5- නැගෙනහිර පර්යන්තය හෙවත් ECT එම බහලුම් පර්යන්තයි.
SAGT දැනටමත් බහුජාතික සමාගම්වලට වැඩි අයිතියක් හිමි වී ඇති අතර CICT වැඩි අයිතිය චීනය සතුයි.
වරාය අධිකාරිය සතුව ජයබහාලු පර්යනත්තය ක්‍රියාත්මක වන අතර පෞද්ගලික අංශය හා තරග කිරීමට ඔවුන් සතු පහසුකම් ප්‍රමාණවත් නොමැත.
නැගෙනහිර පර්යන්තය වෘත්තීය සමිති අරගලය හේතුවෙන් දැනට වරාය අධිකාරියේ පාලනය යටතේ ක්‍රියාත්මක වේ.
නැගෙනහිර පර්යන්තයේ වැදගත්කම කුමක්ද?
මීටර් 18 ක පමණ ගැඹුරක් ඇති මේ පර්යන්තයට ලොව මේ වනවිට ඇති විශාලතම නෞකා ඉතා පහසුවෙන් ඇතුල් කර නැංගුරම් දැමිය හැකියි.
මේ වරායට ඉන්දියාව උනන්දු වන්නේ ඇයි?
ප්‍රධාන වරායන් 13 ක් ඇතුළු වරාය 200ක් දැනටමත් ඉන්දියාව සතුයි.
ඉන් ප්‍රධාන වරායන් වන්නේ, ගුජරාට් හි ඩීන් දයාල් වරාය, ඔඩිසා ප්‍රාන්තයේ රදීප් වරයා, මාහාරාෂ්ඨ ප්‍රාන්තයේ ජවහල්ලාල් නේරු වරාය, ආන්ද්‍රා ප්‍රදේශ් හි විශාකාපට්නම් වරාය සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ මුම්බායටි වරයා ඊට ඇතූළත් වේ.
ප්‍රධාන වරාය 13 කට හිමිකම් කියන ඉන්දියාව ඒමගින්, 2019 මූල්‍ය වසර සඳහා වරාය සේවා තුළින් ඉන්දියානු රුපියල් බිලියන 154 ක් උපයා ගනී.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත ඇස යොමු කරන්නේ ඉන්දියාව එලෙස ලාභ උපයමින් තිබෙන පසුබිමකදීය.
වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ බහාලුම් ප්‍රති නැව්ගත කිරීමේදී ශ්‍රී ලංකාවේ වරාය පහසුකම් ඉතා අඩු තරගකාරී මිලකට සපයන බවයි.
මේ නිසා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන වැඩි නැව් සංඛ්‍යාවක් තම සේවාවන් ලබාගැනීමට කොළඹ වරාය වෙත ආකර්ශනය වන බව ඔවුන් පෙන්වා දෙයි.
ඉන්දියාවේ වරාය වෙත සමීප වීමට වඩා අඩු වියදමකින් කොළඹට ළඟාවිය හැකිව ඇත්තේ එය ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයට වඩාත් සමීපව පිහිටා තිබීම නිසයි.
නැගනෙහිර පර්යනත්තයේ ආයෝජනය කිරීමට සූදානම්වන අදානි සමාගම දැනටමත් ඉන්දියාවේ වසින්ජාම් වරාය විශාල ආයෝජනයක් කරමින් සංවර්ධනය කරමින් සිටී.
ඔවුන් අපේ රටේ ආයෝජනය කරන බව කියැවෙන්නේ එම පසුබිම තුළදීය.
කොළඹ වරායේ කොටසක් චීනයට, හම්බන්තොට වරාය අවුරුදු 99 කට චීනයට, කන්කසන්තුරේ සහ ත්‍රීකුණාමලය වරායන් වෙතත් දැන් අවධානය යොමු වී තිබේ.
රටවටා ඇති උපාය මාර්ගික මර්මස්ථාන විදේශිකයින් අතට පත්වීම රටකට අනතුරු දායක නොවන්නේද? ආණ්ඩුවට හිතවත් ජාතිකවාදී සංවිධාන මෙන්ම, විපක්ෂයත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා සිටිති.
චීනයට පසුගිය රජට හම්බන්තොට ලබාදුන් නිසා ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය ලබාදිය යුතු බවට මත පලවීමෙන් කියාපාන්නේ ඉදිරියේදී ත්‍රිකුණාමලය නැත්නම් කන්කසන්තුරේ එහෙමත් නැත්නම් ගාල්ල වැනි වරායන් තවත් රටකට දිය යුතු බව ද? වරාය වෘතිය සමිති වැඩිදුරටත් ප්‍රශ්න කරති.
වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් පක්ෂ භේදයකින් තොරව සිටින්නේ දැඩි ස්ථාවරයකයි.
වෘත්තීය සමිතිවල යෝජනා භාර ගැනීම ඇරඹේ :
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක පැවසුවේ ලබන සිකුරාදා දක්වා වරාය වෘත්තීය සමිති නියෝජිතයින්ට සිය යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිතිවල යෝජනා ඊයේ (16) සිට භාර ගැනීම අරඹා ඇතැයි ඒ සඳහා කරුණු සොයා බැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල කමිටුව පවසයි.
එහි ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් U.D.C. ජයලාල් සඳහන් කළේ, අදාල යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට ලබදීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි.
නැගෙනහිර පර්යන්තය සමබන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කොට සම්මුතියකට එළැඹීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලය 07 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත් කළේය.
U.D.C. ජයලාල් ප්‍රකාශ කළේ, එහි වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ලබා දීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ කැබිනට් අනු කමිටුවේ නියෝජීතයින් අතර සාකච්ඡාවක් ඊයේ උදෑසන පැවැත්වුණේය.
(උපුටා ගැනීම් -News 1st)
මුළු රටේම ආර්ථිකය බංකොළොත් - මුදල් ඇමති අනතුරු අඟවලා
බැසිල් විමල් ගැටුම මහරගමින් පොලා පනී