අද වනවිට අලින් හා සාමාන්‍ය ජනතාව අතර සිදුවන ගැටුම් හේතුවෙන්
ලෝකයේ වැඩිම අලින් සංඛ්‍යාවක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවත්, අලි මිනිස් ගැටුමට මැදිවී ලෝකයේ දෙවැනි තැනට මිනිසුන් මිය යන රට බවට පත්ව ඇත්තේ ලංකාව බවත් 'සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති, කරු ජයසුරිය පවසයි.
හිටපු කතානායක කරු ජයසුරිය එබව සඳහන් කර සිටියේ, අද (21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
''අලි මිනිස් ගැටුම ගැන අද වනවිට බොහෝ තොරතුරු දෛනිකව වාර්තා වෙනවා.
නමුත් එහි විපාක දෙස බලන විට පෙනෙන්නේ රටක් ලෙස අප මේ ගැන මීට වඩා දැඩි අවධානයකින් හා වගකීමකින් යුතුව කටයුතු කළ යුතුව ඇති බවයි.
මෙම විෂයට අදාලව කටයුතු කරන කීර්තිමත් විද්වතුන් වන ආචාර්ය සුමිත් පිලපිටිය හා වෛද්‍ය ප්රිතීවිරාජ් ප්‍රනාන්දු යන අය ඉදිරිපත් කර ඇති වටිනා පත්‍රිකා හා නිර්දේශ අප අධ්‍යයනය කළා. ඒවා මඟින් ඉදිරිපත් කරන අදහස් හා යෝජනා බලධාරීන්ගේ ඇස නොගැටීම බලවත් ප්‍රශ්නයක්.
අද වනවිට අලින් හා සාමාන්‍ය ජනතාව අතර සිදුවන ගැටුම් හේතුවෙන් ලෝකයේ වැඩිම අලින් සංඛ්‍යාවක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ විතරක් නොවෙයි අලි මිනිස් ගැටුමට මැදිවී ලෝකයේ දෙවැනි තැනට මිනිසුන් මිය යන රට බවට පත්ව ඇත්තේ ලංකාවයි. ''
මේ තොරතුරු පැහැදිලිවන්නේ අප රටේ කීර්තිමත් විද්වතුන් කණ්ඩායමකකට ඇතුළත් වන ආචාර්ය ඒ.ඩබ්ලිව්.විජේරත්න, ආචාර්ය ප්‍රීතිවිරාජ් ප්‍රනාන්දු හා පරිසරවේදී සුපුන් ලහිරු විසින් සිදුකර ඇති අධ්‍යයනයන් මඟිනුයි.
අපට වාර්තා වී ඇති ආකාරයට මෙම තත්වය පාර්ලිමේන්තු කමිටුවකදී ද අවධානයට ලක්වී තිබෙනවා.
එමෙන්ම අලි මිනිස් ගැටුම ගැන පසුගිය දශක කිහිපය තුළදී මේ රටේ බලයට පත්වූ විවිධ ආණ්ඩු ජනතාවට විවිධ පොරොන්දු ලබාදී තිබෙනවා.
එහෙත් පලදායි යමක් සිදුවූවේ යැයි අපට සතුටු වෙන්න බැහැ.
අප මේ ඉදිරිපත්කරන කරුණ රටට මොනතරම් බලපෑමක් කරනවාද කියන කාරණය බලධාරීන් නිවැරදිව තේරුම් ගතයුතු වෙනවා.
අද වනවිට දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක 19ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක්ම අලි මිනිස් ගැටුමට මැදිවෙලා තිබෙනවා.
ඒ වගේම වාර්ෂිකව අලි මිනිස් ගැටුම දරුණු අතට පත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවත් වාර්තාගතව වැඩිවෙමින් තිබෙනවා.
කොටින්ම කියනවා නම් දකුණින් හම්බන්තොට සිට යාපනය දිස්ත්‍රික්කයට අයත් මදුරන්කේනි හෙවත් වඩමාරච්චි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දක්වාම උතුරු දෙසට අලි මිනිස් ගැටුම පැතිරී තියෙනවා.
මේ ගැන කරුණු අධ්‍යයනය කර වටිනා නිගමන හා නිර්දේශ රටට ලබාදෙන ලෝකය පිළිගත් විද්වතුන් ගණනාවක්ම අප රටේ සිටිනවා.
ඔවුන්ගේ නිගමන හා නිර්දේශ පිලිබඳව ජාත්‍යන්තරයේ පවා විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා.
ඒ ගැන අධ්‍යයනය කිරීමට විදේශ රටවල නියෝජිත කණ්ඩායම් පවා ලංකාවට පැමිණි බව වාර්තා වෙනවා.
නමුත් ඔවුන්ගේ අදහස්වලට ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණක්.
මෙහිදී අප ඉතාමත් ඕනෑකමින් යුක්තව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සිදුවෙමින් පවතින විනාශය අවම කර ගැනීම සඳහා නොපමාවම අවධානය යොමුකරවන ලෙසය.
එහිදී මෙම ක්ෂේත්රය පිළිබඳව පර්යේෂණ හා අධ්‍යයනයන් සිදුකරන ලද ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසය.
එහිදී අතීත පැරණි ක්‍රමවේද සමඟ නවීන තාක්ෂණය ද උපයෝගී කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා.
එමෙන්ම එහිදී අප රටක් ලෙස මුහුණ දී ඇති යථාර්තයද තේරුම් ගතයුතු වෙනවා. එනම් අද වනවිට අලින්ගේ වාසභූමිවලින් 70% ක්ම පිහිටා ඇත්තේ මිනිස් ජනාවාස සහිත ප්රදේශවලයි.
අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට නොහැකි වී ඇත්තේ මේ නිසයි.
එම නිසා ඉතාමත් සැලසුම්ගත ක්‍රමවේදයක් උපයෝගීකර නොගෙන මේ ප්‍රශ්ණයට මුහුණදීම අසීරු වෙනවා.
එමෙන්ම ඒ අතර තුර අලි ඇතුන්ගෙන් ජනාවාසවලට හා වගාබිම්වලට සිදුවන හානිවීම් වැලැක්වීම සඳහා ස්ථිර විදුලි වැටවල් මෙන්ම කුඹුරු වටා ඉදිකරන තාවකාලික විදුලි වැටවල් ද එක් කිරීම ඉතා වැදගත්ය. ඊට අමතරව එම කටයුතු ප්‍රජාමූල සහභාගිත්ව ව්‍යාපෘතීන් හරහා සිදුකිරීමද වැදගත්ය.
ප්‍රජාවගේ මූලිකත්වයෙන් වැටවල් ඉදිකිරීමට නොහැකි වන අවස්ථාවල දී පමණක් එම ඉදිකිරීම් සඳහා රජය මැදිහත්විය යුතුය.
එමෙන්ම ජනතාවට සිදුවන ශාරිරික හා දේපල හානි සඳහා වන්දි ගෙවීම අඛණ්ඩවම සිදුකළ යුතුවෙනවා.
අපට වාර්තා වන ආකාරයට බෝග වගා හානි සඳහා වන්දි ගෙවීමක් මෙතෙක් සිදු වී නැත. ඒ නිසා සිදුවන වගාහානි සඳහා ද රජය මඟින් සුදුසු වන්දියක් ගෙවිය යුතු වෙනවා.
ඒ වගේම මේ ප්රශ්ණයෙන් රට මුදාගන්නට නම් ජාතික මට්ටමෙන් ක්‍රියාන්විතයක් සැලසුම් කළයුතු වෙනවා.
එහිදී වනජීවී දෙපාර්තමේන්තුව මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිළධාරී, කෘෂිකර්ම නිළධාරී වැනි හැම ක්ෂේත්රයකටම අයත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු එම කටයුත්තට සම්බන්ධ කරගත යුතු වෙනවා.
ඒ වගේම පසුගිය කාලයේ රටේ විවිධ ආපදා තත්වයන්හිදී සාර්ථක ලෙස ක්‍රියාකළ යුධ හමුදාවේ ද ක්රියාකාරීත්වයන් හරහා මේ ප්‍රශ්ණයට සාර්ථක විසදුමක් ලබාගත හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.
ජනාධිපති කාර්ය සාධක බලකායක්
එපමණක් නොවෙයි එවැනි විධිමත් සැලැස්මක් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් හා මාර්ගෝපදේශ ලබාදෙන හා එම කටයුතු අධීක්ෂණය කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් ද නිර්මාණය කළයුතු වෙනවා.
එවැනි ඒකාබද්ධ ක්‍රියාවලියකින් පමණයි මේ උවදුරෙන් රටේ ජනතාව මෙන්ම අලි සම්පත ද ගලවාගත හැකි වන්නේ.
ඒ ගැන රජයේ අවධානය යොමු වේවායි අප ප්‍රාර්ථනා කරනවා.'
මහා පරිමාණ වංචාවන් :
මේ වනවිට මේ රට තුළ මහා දවාලේ කිසිදු හිරිකිතයක් බියක් නැතිව සිදුකරන මහා පරිමාණ වංචාවන් කිහිපයක් ගැන අසන්නට ලැබෙන බවද කරු ජයසුරිය මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.
ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ කරුණු ගෙනහැර දැක්විය.
''මෙවැනි සිදුවීම් ගැන කතා කරන්නට සිදුවීම එක්තරා අතකට කණගාටුවට හේතුවක්, පිරිසිදු රාජ්‍ය පාලනයක්, පිරිසිදු මූල්‍ය පාලනයක් ගැන නිතර දෙවෙලේ ජනතාවට පොරොන්දු ලබාදුන් දේශපාලඥයන්ගෙන් සමන්විත රජයකින් මෙවැනි දේ ජනතාව හීනෙකින්වත් බලාපොරොත්තු වූයේ නැත.
ඒ අතින් අද මේ රටේ බහුතර ජනතාවක් ද ලැජ්ජාවට පත්වෙලා.
''මේවා රටක නොවිය යුතු දේවල්, ඉදිරියේ දී කිසිසේත්ම සිදුවීමට ඉඩ නොදිය යුතු දේවල්, ඒ නිසා එම මහා පරිමාණ වංචාකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදිය යුතුමයි.''
එවැනි මහා පරිමාණ දැවන්ත වංචාවකට හවුල් වූ එහෙමත් නැත්නම් අනුබල දුන් බවට තොරතුරු ඇති එක් සභාපතිවරයෙක් පදවියෙන් ඉවත්ව ගියා. නමුත් ඊට පසුව ද අද ඔහු ජනාධිපතිතුමන් යටතේ ඇති වෙනත් ආයතනයක සභාපති තනතුරක් දරමින් සිටිනවා.
ඔහුගේ ද සම්බන්ධයක් ඇතුව මේ රටේ සිදුවූ බිලියන 10 ක් තරම් වූ ඒ මහා වංචාව ගැන රජයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කරන්නේ නැත.
මෙය ඉතාමත් පැහැදිලිවම ජනාධිපතිතුමා කෙරෙහි මේ රටේ ජනතාව ඇතිකරගෙන තිබූ විශ්වාසයට බලවත් හානියක්, එතුමාගේ කීර්ති නාමයට සිදුවන කැලලක්.
එතුමා ඒ බව තේරුම් ගතයුතුයි.
වෙළඳ ක්ෂේත්රයේ ස්වභාවය ගැන අවබෝධයක් ඇති අයට මෙය තේරුම් ගැනීම ඉතාමත් පහසුයි.
ඒ සඳහා එක උදාහරණයක් මා පෙන්වා දෙන්නම්.
''සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතී වෙලා හිටියේ මම''
1980 දශකයේ දී දේශීය සීනි නිෂ්පාදකයා වෙත සාධාරණ මිලක් ලබාදීමේ වැඩසටහනක් සකස් කළා.
එහිදී සීනි නිෂ්පාදකයන් මෙන්ම සීනි ආනයනකරුවන්ද මහා භාණ්ඩාගාරයද ඒකාබද්ධව කටයුතු කළා.
එම යුගයේ සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතීත්වය දරණ ලද්දේ මා විසිනුයි.
එදා සීනි නිෂ්පාදකයන් නියෝජනය කළේ සීනි සංයුක්ත මණ්ඩලයේ සභාපතිවරයාව සිටි එමෙන්ම පසුකලක නියෝජ්‍ය කතානායක ධුරය ද දැරූ ආනන්ද කුමාරසිරි මහතා ය.
''එදා එක සීනි කිලෝවකින් ආනයනකරුවෙක් ලබාගත්තේ සත 05 ක හෝ 10 ක ලාභයක් පමණයි. එහෙත් පසුගියදා මහා වංචාවකට හේතු වූ කූට ගණුදෙනුවේදී ආනයනකරුවන්ට එක සීනි කිලෝවකින් රුපියල් 50 ට වඩා අයුතු ලාභයක් ලබාගන්නට පහසුකම් ලබාදී තිබෙනවා.''
ඒ නිසා මේ වෙළඳාම ගැන දන්නා අපට මේ වගේ සිදුවීම් දකින විට ඇතිවන්නේ හිරිකිතක්, ඒ වගේම ලැජ්ජාවක්.
එමෙන්ම ලංකා බැංකුවේ එක්තරා බැංකු ශාඛාවක් යොදාගෙන රුපියල් බිලියන 03 ක ණය ලබාදීම පසුපස ඇති ඛේදනීය තත්වය ගැන අද වනවිට රට තුළ දැඩි කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
මෙවැනි ගණුදෙනු සිදුවිය හැක්කේ දේශපාලන බලපෑමකින් පමණයි. මේ ණය ගණුදෙනුව සිදු වී ඇති ආකාරය විශ්වාස කළ නොහැකියි.
පිරිසිදු රජයකින් මෙවැනි දේ සිදුවිය හැකි ද?
ඒ නිසා අද එක රටක් එක නීතියක් ගැන කතාකරන එක විහිලුවක්.'' කරු ජයසුරිය කියා සිටියේය.
මැදපෙරදිග කොටුවී සිටින විදේශගත ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් ..
මැදපෙරදිග රටවල ද ඇතුළු රටවල් ගණනාවක කොටුවී සිටින විදේශගත ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී ද අදහස් දැක්වූ හිටපු කතානායකවරයා, මේ සතිය වනවිට ලංකාවට රැගෙන එන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය වැඩිවී ඇති බවට වාර්තා වී ඇති බවත්, එය සතුටුදායක පුවතක් බවත් කියා සිටියේය.
මැදපෙරදිග රටවල ද ඇතුළු රටවල් ගණනාවක කොටුවී සිටින විදේශගත ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් ගැන පසුගිය සතියේදී අප පෙන්වා දුන්න. කිසිදු හවුහරණක් නොමැතිව ඔවුන් මුහුණ දෙමින් සිටින ඛේදවාචකය ගැන.
එහිදී අප යෝජනා කළේ එම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත තම මව් රටටගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේම මුදල්වලින් ගොඩනඟා ඇති අරමුදල යොදාගන්නා ලෙසයි.
එම අරමුදල්වල ඇති මුදල ප්‍රමාණය රුපියල් බිලියන 14ක් පමණ වන බවද අප පෙන්වා දුන්නා.
එමෙන්ම එම ශ්‍රී ලාංකිකයන් තම මව් රටට පැමිණීමේදී ඔවුන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය නොකර ඔවුන්ගේ මුදලින්ම ගොඩනඟා ඇති අරමුදල්වලින් එම පහසුකම් සැලසුවා නම් එය ඉතාමත්ම වටිනා මානුෂික ක්‍රියාවක් වෙනවා.''
සීෂෙල්ස් මහකොමසාරිස් ධුරයට පවුලේ ඥාතියෙක් ?
කොන්ෆියුසියස් මධ්‍යස්ථාන ප්ලේ කරන ස්මාර්ට් ගේම් එක