මෑතකදී ටෙස්ට් වරම් හිමිකර ගත් ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා පිලට මෑතකදී එක් කෙරුණු වෛද්‍යවරියක අතර විනය විරෝධී ක්‍රියාවක් සිදුව ඇතැයි මාධ්‍යවලට 'නිව්ස් ප්ලාන්ට්' කර ඇත්තේ
ඇතුලෙම කිහිපදෙනෙකු විසින් බවට මේවනවිට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
 
 එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳී සිටී ගාල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ මෙම විනය විරෝධි ක්‍රියාව සිදුව ඇති බවට එසේ මාධ්‍යවලට තොරතුරු ලබාදී ඇත්තේ, එම වෛද්‍යවරිය සමග පෞද්ගලික කෝන්තරයක් ඇතිකර ගත් කිහිප දෙනෙකු විසිනි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම සිදුවන පරාජයන්ට සෘජුව චෝදනා එල්ල වුණේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්ටය. ඔහුව ඉන් ඉවත් කරන ලෙස නැගී ආ විරෝධය වෛද්‍යවරියට එරෙහි මඩ මෙහෙයුමෙන් යම් තරමකට යටපත්විය.
 
 
මෙම වෛද්‍යවරිය කණ්ඩායමේ සිටීම දිරවා ගැනීමට නොහැකි වූ මෙල් මෙම පුවත නිර්මාණය කළ පිරිසට සහය ලබා දී ඇතැයි citizenlanka හි පලවී ඇති වාර්තාවකින් ඉඟිකර තිබේ.
 
කුලරත්නයත් හවුල් ?
 
 
සම්බන්ධීකරණ  නිලධාරියා ලෙස කටයුතු කරන කුලරත්නයක් ද මෙම 'නිව්ස් ප්ලාන්ට්' කිරීමට සම්බන්ධ බවට හඳුනාගෙන ඇත.
 
''ඔහුට රිසිසේ හැසිරීමට හා රස්තියාදුවේ යාමට දකුණු අප්‍රිකා සංචාරයේ සිට වෛද්‍යවරිය ඉඩ ලබා දී නැහැ. ආතල් එකක් ගන්න බැරුව ඇතිවූ වෛරය පිරිමසා ගැනීමට අවස්ථාව කරගෙන මෙම ලිංගික කතාව ගෙතීමේ ප්‍රධාන විත්තිකරුවන් අතරට ඔහුත් එක්ව තිබෙනවා.'' යයි ද citizenlanka අනාවරණයේ සඳහන් වේ.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි වෛද්‍යවරිය එලෙස තහංචි පනවා ඇත්තේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලු වීම වැළැක්වීමටයි.
 
 
 
 
ශරීර යෝග්‍යතා පුහුණුකරු ?
 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු සම්බන්ධයෙන් ද ගැටළු තිබෙන බව පසුගිය කාලයේ මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ. 
 
ඔහුගේ සම්බාහන වැරදි නිවැරැදි කිරීම්ද අදාල වෛද්‍යවරිය මැදිහත්ව තිබේ. 
 
එම තත්වය තුල ඇයට එරෙහි මඩ මෙහෙයුම සමාජගත කිරීමට ඔහුද දායකවී ඇතැයි පැවසේ.
 
ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ඇතැම් වෛද්‍යවරුත් මෙම වෛද්‍යවරියට එරෙහි මඩ මෙහෙයුම වෙනුවෙන් තිරය පිටුපස සිට විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙන බව සඳහන් වේ.
 
 
 
 
මාධ්‍ය ඔස්තාර් ??
 
 
citizenlanka වාර්තාවේ මෙසේද සඳහන් වේ.
 
 
''කණ්ඩායමේ වගකිවයුතු ක්‍රීඩකයෙක් සිය තැන රැක ගැනීම සදහා මාධ්‍ය සහය ලබා ගැනීමට මාධ්‍ය ඔස්තාර් ලෙස සිතා සිටින මාධ්‍යවේදියෙක්ට මෙම මුසාව පවසා තිබෙනවා. කියන විට අසා ලිවීමට උපන් හපන් මෙම මාධ්‍යවේදියාද ක්‍රිකට් ආයතනය සමග තිබෙන වෛරය නිසා කිසිදු සොයා බැලීමක් නැතුව මෙය සමාජ ගත කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. ඔහු එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමත් සමග එය වසංගතක් ලෙස පැතිරී ගියා.''
 
  
''ක්‍රීඩා වෛද්‍ය ආයතනය සිය වෛද්‍යවරිය වෙනුවෙන් ඉදිරිපත් නොවී මුනිවත රකියි. ඒ එහි ලොක්කා වී සිටින දොස්තර හොද හිතට දැන් විදෙස් සංචාර නැති වුනත් එක දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් මෙම වෛද්‍යවරිය සිටීමේ ඉරිසියාවට විය හැකියි. ''
 
 
මෙම වෛද්‍යවරිය 'ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියේ සිට දකුණු අප්‍රිකා හා එංගලන්ත සංචාර වලදී  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් කටයුතු කරයි. එහෙත් එම ආයතනයේ කිසිදු වෛද්‍යවරයෙක් පසුගිය වසරේ සිට මේ දක්වා තරගාවලි සඳහා මෙලෙස එක්ව නොමැත.
 
'' එම ආයතන වත්මන් සභාපති දොස්තර හොද හිත පමණයි පසුගිය කාලයේ මෙලෙස විදෙස් සංචාර සිදු කළේ. ඔහු නෙට්බෝල් ක්‍රීඩාව බදාගෙන සිටියත් එංගලන්තයේ පැවති නෙට්බෝල් ලෝක ශූරතාවයට එක්වූයේත් මෙම වෛද්‍යවරියයි. 
 
එතැන් සිට වෘත්තීය ඉරිසියාව නිසා මෙම මඩට සහය වී වෛද්‍යවරිය විනාස කර යලි කණ්ඩායම් සමග නොයාමට වැඩ සකස් කිරීම ඔහුගේ යටි අරමුණ විය හැකියි.'' '' citizenlanka අනාවරණයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 
 
වෛද්‍යවරිය ක්‍රීඩකයාගේ මවගේ වයසේ පසුවන්නියකි
 
'' මෙම මඩ ප්‍රහාරය නිසා වෛද්‍යවරියට හා ඇයගේ පවුලටත්, යොවුන් ක්‍රීඩකයා හා ඔහුගේ පවුලටත් වන හානිය කිසිවෙකුත් තක්සේරු කර නැතිවීම කණගාටුවට කරුණකි. මෙම කතාව පැතිරූවන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ ක්‍රීඩකයා හා වෛද්‍යවරියට මඩ ගසා ඔවුන්ගේ අනාගතය අනාථ කිරීම බව පැහැදිලිය.''
 
 
 
මඩ කතාවට පාදකවූ  ඇත්ත කතාව මෙන්න 
 
 
 
 
මෙම මඩ කතාවට පදනම් වූ කාරණය lankasportsnews.com' වාර්තා කර තිබුනේ මෙසේය.
 
 
''ශ්‍රී ලංකා හා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු තරගයේදී අදාල යොවුන් ක්‍රීඩකයාගේ මූණේ තුවාලයක් ඇතිවුණා. ඒ පාවහනක් මුහුණේ වැදීමෙන් එහි ඇණයකටයි. ඊට මැහුම් යෙදූ මෙම වෛද්‍යවරිය මැහුම් වැසෙන ලෙස ප්ලාස්ටරයක් දැමිය යුතු බව පවසා තිබෙනවා. ඊට රැවුල කපා දැමිය යුතුයි. 
 
ඒ බව දැනුම් දුන් විට මෙම ක්‍රීඩකයා පවසා ඇත්තේ රැවුල කැපීමට නොහැකි බවත් ප්ලාස්ටරයක් අවශ්‍ය නැති බවයි. එවිට මැහුම් පෑරී ලේ වහනය විය හැකි බව වෛද්‍යවරිය පවසා තිබෙනවා.
 
 එහෙත් ක්‍රීඩකයාට තුවාලය සුව කර ගැනීමට වඩා රැවුල ලොකුවී එය කපා දැමීමට එකග වී නැහැ. එලෙස පිටව ගිය ඔහු බිම වාඩිවී සිටියදී තුවාලය පෑරී මුහුණෙන් ලේ වහනය වී තිබෙනවා.
 
 එය දුටු සෙසු ක්‍රීඩකයෙක් වෛද්‍යවරියට මේ බව දැනුම් දීමෙන් පසු යලි ඇය පැමිණ ඔහු අසලින් දණ ගසා තුවාලයට ප්‍රතිකාර කර ඇතැයි සදහන්.
 
මෙම සිදුවීම නොදත් පිරිස මෙය ප්‍රේමාලිංගණයක් ලෙස වාර්තා කර තිබෙනවා. මේ කතාවට පසුබිම වී ඇත්තේ එයයි.''
 
 
 
''මෙම සිදුවීම නොදත් පිරිස මෙය ප්‍රේමාලිංගණයක් ලෙස වාර්තා කර තිබෙනවා. මේ කතාවට පසුබිම වී ඇත්තේ ඉහත සිද්ධියයි.''
 
 
 
තරගය පැවැත්වෙන විට ඇතැම් ක්‍රිඩකයින් හොරෙන් වැසිකිළියට රිංගා දුම්පානය  කිරීම කලක සිට සිදුවනවා. ක්‍රීඩක රජ තුන් කට්ටුවක් එකට ප්‍රසිද්ධයි.
 
වෛද්‍යවරියට මුල් දින කිහිපයේ හැර අනෙකුත් දිනවල ක්‍රීඩා පිටියේ වෙනම වැසිකිළියක් වෙන් කර දී තිබෙනවා. ඔවුන් තිදෙනාගේ නම් ඈදීමට හේතුව මේ වැසිකිලි කතාවයි. 
 
එමෙන්ම වෛද්‍යවරිය හා ක්‍රීඩකයින් හෝටලයේ කාමර තුලදී ද ලිංගිකව හැසිරෙන බව සමාජ මාධ්‍ය මඩ අතර වනවා. 
 
එය අලුයම ලූ කෙල පිඩක් ලෙස බැහැර කළ හැක්කේ හෝටලය පැය 24 ම CCTV මගින් ආවරණය වීම නිසා එවැන්නක කිසිදු සඳහනක් නැතැයි හෝටලයේ බලධාරීන් තහවුරු කිරීම හේතුවෙනුයි.''
 
(උපුටා ගැනීම අවසන්)
 
 
 
නින්දිත වාර්තාකරණයක් - මිකී ආතර්
 
 
කතාබහට ලක්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට්විටර් සටහනක් තබමින් අදහස් පළ කර තිබිණ.
 
 ඔහු සිය ට්විටර් සටහනින් සදහන් කර ඇත්තේ මෙවැනි කසල පුවතක් වාර්තා කිරීම පිළිබද ලැජ්ජා වන බවයි. 
 
ක්‍රීඩකයින් ඇතුළු කාර්ය මණ්ඩලය සිටින ආරක්ෂිත බුබුලක් තුළ මෙවැනි ක්‍රියාවක් සිදුවිය හැකිද? යන්න මිකී ආතර් සිය ට්විටර් සටහනින් දක්වා ඇත. මෙය නින්දිත වාර්තාකරණයක් ලෙසට ඔහු හදුන්වා ඇත.
 
පසුගිය තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට කොරෝනා ආසාදනය නොවීමේ ගෞරවය මෙම වෛද්‍යවරියට හිමිවියයුතු බව අප වෙත තොරතුරු ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. 
 
 
################
නීති සංගමයේ නිලවරණයේ මඩ කබායක්!

 
ඇත්තටම මේ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියේ කව්ද ?
 

####################

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්