මේ දිනවල යළි සිංහරාජ රක්ෂිත කලාපයට කණකොකා හඬන්නට පටන්ගෙන තිබේ.
ඒ වෙන කිසිවක් නිසා නොව ජාතික පරිසර පනත උල්ලංඝනය කරමින් සිංහරාජ මෝර්නින් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන්ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට වන අලින් ගමන් ගන්නා මාණික්කවත්ත බෝවිටියතැන්න අලි මංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් සිංහරාජය මායිමේ කැලෑ ප්‍රදේශ එළි පෙහෙළි කරමින් හෝටල් දෙකක් ඉදිකරමින් පැවතීමය.
 
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දොලේකන්ද ග්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප්‍රදේශයක් එළි කර කහවත්ත, ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ බෑණා කෙනෙකු විසින් එක් හෝටලයක් ඉදි කරමින් පවතින බවත්, හෝටලයේ ඉදිකිරීම සඳහා කලවාන ප්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් අනුමැතිය ලබාදී ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර පවසයි.
 
මේවනවිට බැකෝ යන්ත්‍ර පවා යොදාගෙන අදාළ ඉදිකිරීම සිදු කෙරන අයුරු නිරීක්ෂණය කළ හැකිය.
 
අනෙක් හෝටලය ඉදි කරමින් තිබෙන්නේ බෝවිටියතැන්න අලි මංකඩේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ අක්කර අටක පමණ වනාන්තර භූමියක් එළි කරමිනි. එය ඉදි කරනු ලබන්නේ ගොඩකවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසිනි.
 
මෙලෙස සිංහරාජ පරිසර පද්ධතිය එළි පෙහෙළි කිරීම නිසා ගැටලු රැසක් පැනනගින බව පරිසරවේදී සජීව චාමිකර අවධාරණය කර සිටියි.
 
“සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප්‍රධාන අලි මංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම නිසා රඹුක, තණවෙළ” ඇල්ලගම” හන්දියෙ කඩේ ගම්මානය” කජුගස්වත්ත” පොතුපිටිය” කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මාන වලට එම අලින් කඩාවැදීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජනවලට මෙන්ම වගා බිම් හා දේපොළ හානි කිරීම්වලට මුහුණ දීමට සිදුවෙනවා” යැයිද පරිසරවේදී සජීව චාමිකර පවසයි.
 
 
දේශපාලනඥයන්ගේ සහයෝගය ඇතිව ?
 
සිංහරාජ රක්ෂිත කලාපයට මෙම විනාශය සිදුකරනු ලබන්නේ දේශපාලනඥයන්ගේ සහයෝගය ඇතිව බවද අනාවරණය වේ.
 
සිංහරාජය ජාතික උරුමයක් බවට පත්කරනු ලැබුවේ 1988 අංක 3 දරන ජාතික උරුම වන භූමි පනතේ 2 වන වගන්තියට අනුව 1988 ඔක්තෝබර් 21 වන දින අංක 528/14 දරන ගැසට් නිවේදනය මගිනි. 
 
හෙක්ටයාර 11,187 ක වනාන්තර ප්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරන ගැසට් නිවේදනය මගින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇතැයිද පරිසරවේදී සජීව චාමිකර කියයි.
 
මෙවැනි අවිධිමත් සංවර්ධන කටයුතු සිදුකිරීම ජාතික පාරිසරික පනතට අනුව එම පනත උල්ලංඝනය කිරීමකි. අනෙක් කාරණය නම් මෙම හෝටල් ඉදිකෙරෙන්නේ නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශයකය.
 
“සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 වන වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතුයි. 
 
නමුත් වනාන්තර අක්කර 7 ක් හා 8 ක් එළි කර සිදු කරන මෙම හෝටල් ඉදි කිරීම්වල දී කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැති බව අනාවරණය වෙනවා. 
 
එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශිත ප්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතුයි. 
 
මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කළ යම් ප්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කරන්න ඕනෑ. 
 
ඒ අනුව මෙම සියලු වනාන්තර එළි කිරීම් හා හෝටල් ඉදි කිරීම් සිදුකරන්නේ නීතිවිරෝධී අයුරින් බව තහවුරු වෙනවා.”යැයි පරිසරවේදී සජීව චාමිකර කියන්නේය.
 
Rainforests in Sri Lanka
පරිසර අනුමැතීන්ගෙන් තොරව සිදුවන මෙවැනි ඉදිකිරීම් නිසා සිංහරාජ පරිසර පද්ධතියේ තිබෙන සුවිශේෂී ශාක පද්ධතියටද බලපෑම් එල්ල වීමේ අවදානම් තත්ත්වයක් පවතී. මේ ඔස්සේ ශාක මංකොල්ලය සිදුනොවේයැයි කිව හැක්කේ කාහටද?
 
 
පට්ටපල් බොරුවක් - පරිසර අධිකාරියේ සභාපති
 
මෙම හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහගෙන් අප විමසීමක් කළෙමු.
 
“මේක පට්ටපල් බොරුවක්. මම මේ ස්ථානයට ගිහින් බැලුවා. මම මේ සම්බන්ධව වාර්තාවක් මාධ්‍යවලට ලබා දීමට කටයුතු කරනවා.
 
මේ ඉදිකිරීම් සිදු කෙරෙන්නේ සිංහරාජයෙන් එහා තියෙන වෙනත් කලාපයක. ප්‍රාදේශීය සභාවෙන් අවසරය ලබාදීලා තියෙනවා ඒ මනුස්සයාට ගෙයක් හදාගන්න ඔහුගේ ඉඩමේ. පුද්ගලික ඉඩමක නීත්‍යනුකූලව ගෙයක් හදනවා නම් ඒක කොහොමද නතර කරන්නේ. නීති විරෝධී කටයුතු කරපු ඒවාට මීට පෙර අවස්ථා දෙකකදී අපි අධිකරණයට ගිහින් තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය නිදාගෙන නෑ.
 
ඔය පින්තූරවල තියෙන ඩෝසරේ දැන් අවුරුදු හතරකට වැඩි කාලයක් තිස්සේ ඔතන නතර කරලා තියෙන්නේ. මම යෝජනා කරලා තියෙනවා මේ කලාපය පුළුවන් නම් සිංහරාජයට සම්බන්ධ කරන්න කියලා. පරිසර සංවිධාන පවා ඒ ගැන යෝජනා කරලා තියෙනවා.” යැයි සභාපතිවරයා පැවසුවේය.
 
මේ සම්බන්ධව පරිසර ඇමැති මහින්ද අමරවීරගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව නොදන්නා බවත්, ඒ පිළිබඳව වහා සොයා බැලීමට කටයුතු කරන බවත්ය.
 
(අරුණ - සාලිය කුමාර ගුණසේකර)

 

 

 


 

 
ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

 
 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්