ශ්‍රී ලංකා සාගර කලාපයේ දී අනපේක්ෂිත ලෙස දිවි අහිමි වු අසල්වැසි රාජ්‍යයේ සහෝදර ධීවරයන් වෙනුවෙන් උතුරේ ධීවර සංවිධාන වල බලවත් කණගාටුව ප්‍රකාශ වී තිබේ.

 
 "අපි මේ ගැන ඉන්නේ ඉතාම වේදනාවෙන්. මොකද ධීවරයන් හැටියට අපි දන්නවා ධීවර පවුල් වලට මුණ දෙන්න වෙලා තියෙන දුක් කරදර. ඒ අය ඉන්දියාවේ තමිල්නාඩු ධීවරයන් උනත් අපේ සහෝදරයන්. ඒ හින්දා අපි ඒ ජීවිත විනාශයයි ඒ පවුල් වල අය මුණ දෙන අමාරුකමුයි ගැන අපිට ඉතාම කනගාටුයි."
 
මුලතිව් ධීවර සමුපකාර සමිතියේ සභාපති මරියදාස් පැට්රික් ජොන්සන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අහිමි වු ජීවිත වලට වන්දි ගෙවීමට හැකියාවක් නැතත්, සිය  දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙනුවෙන්  බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවයි.
 
 
 
ශ්‍රී ලංකා සාගර කලාපයේ දී ජනවාරි 18  සඳුදා රාත්‍රියේ ගිලුණු ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සිව් දෙනාගේම මළ සිරුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩ ගෙන තිබුනි.
 
 
තම සගයන්ගේ වියෝවෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටින තමිල්නාඩු ධීවර සංවිධාන චෝදනා කර තිබුනේ  නාවික හමුදාව විසින් මුහුද මැදදී එම යාත්‍රාව හප්පා ගිල්ලන ලද බවයි.
 
“මේක මහ මුහුද මැද ජන සංහාරයක් මිසක් වෙන මුකුත් නෙවෙයි,” යනුවෙන් ධීවර නායක බෙන්සිංලාස් ජේසුරාජා ජේඩීඑස් වෙබ් අඩවියට පවසා තිබුණි.
 
‘සින්නයියා’ නම් ට්‍රෝලර් යාත්‍රාව ඩෙල්ෆ්ට් දුපතින් එපිට මුහුදේ ජනවාරි 18 දා දියඹේ ගිලී ඇති අතර එහි සිටි යුද්ධයෙන් පලා ගිය ශ්‍රී ලාංකිකයකු ඇතුළු සිව් දෙනකු මුලින් අතුරුදහන් වී තිබුණි.
 
වේග ප්‍රහාරක නෞකාවක වම්පස බඳේ ඉහල තට්ටුව ආසන්නයේ කඩතොළු වීමක් දැක්වෙන ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා තිබුනේ  නීති විරෝධී ලෙස මාළු බෑමේ යෙදී සිටි ට්‍රෝලරයක් හමුදා යාත්‍රාවේ “ගැටීමට සලස්වා පැනයාමට” ගත් උත්සාහයේදී ගිලුණු බවයි.
 
අනතුරෙන් මිය ගිය  මෙසියා අන්තෝනිරාජ්, සෑම් නේසපෙරුමාල්, නාගරාජ් වෙල්ලෙයිසාමි සහ සෙන්දිල්කුමාර් සෙල්වම් ගේ මළ සිරුරු දින දෙකක් තුලදී නාවික හමුදාව ගොඩ ගෙන තිබුනි.
 
ඔවුන් අතරින් සෑම් නේසපෙරුමාල් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් බේරී පලාගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ ජීවත්වූවෙකි.
 
 
 
ඉදිරියේදී මසුන් මැරීමේ කටයුත්තේ යෙදෙන විට නොසැලකිල්ල නිසා හෝ අනතුරක් නිසා හෝ මෙවන්  අවාසනාවන්ත සිදුවීම් නොවන්නට මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට නොඑන ලෙස තමිල්නාඩු ධීවරයන්ගෙන් මුලතිව්  සමුපකාර ධීවර සමිතියේ සභාපති මරියදාස් පැට්රික් ජොන්සන් ඉල්ලා සිටී.
 
 
 
"අපි  තමිල්නාඩු ධීවරයන්ට විරුද්ධ නෑ. අපිට ඕනෑ කරලා තියෙන්නේ දිගටම ඒ අය එක්ක හොඳින් ඉන්නයි" ඔහු පළාත් බද මාධ්‍යවේදීන්  සමග වැඩි දුරටත් පවසා තිබේ.
 
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුල්වීම මැරුම් කෑමට අපරාධයක් නොවන බව පවසන දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා නීතිමය පියවර ගත යුතු බව පසුගියදා  අවධාරණය කර තිබුනි.
 
“ධීවරයන් මරා දැමීම කිසිසේත් අනුමත නොකරන දෙමළ ජාතික සන්ධානය, නාවික හමුදාව සම්බන්ධ මේ සිද්ධිය ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලා සිටියි,” යනුවෙන් TNA ප්‍රකාශක එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසා තිබේ.
 
“එමෙන්ම, ජීවිතය බේරාගනීම සඳහා තම මව්බිමෙන් පලාගොස් ඉන්දීය ධීවරයන් සමග ජීවිකාව පවත්වාගෙන යාමට උත්සාහ දැරූ යාපනයේ පුද්ගලයකු මේ ආකාරයෙන් මියයාම අපේ ජනතාව මුහුණපා සිටින ඉරණම මැනවින් කියාපායි.” සුමන්දිරන් මන්ත්‍රීවරයා තව දුරටත් අවධාරණය කර තිබුනි.
 
 

 
සබැඳි පුවත් :
 
 
  
################
 
සර්, රේගුවට අයථා බලපෑම් කරන දේශපාලකයන්ට මොකද කරන්නෙ?
 

 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්