පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිය පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධව තීරණයක් ගැනීමට
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂ කමිටුවක් පත්කොට තිබේ.
චම්පික රණවක මන්ත්‍රීවරයා සමග එම කමිටුව ලබන සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු පක්ෂයට බඳවා ගැනීම සම්බන්ධව අවසන් තීරණය ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.
මාධ්‍ය විසින් වාර්තා කර ඇති පරිදි, හිටපු ඇමැතිවරයා සමගි ජනබලවේගයට එක්කර ගැනීම සම්බන්ධව තීන්දුවක් ගන්නට පත්කළ කමිටුවේ සාමාජිකයන් වන්නේ පක්ෂ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ය.
ඉහත කමිටුවේ ඇතැමුන් පාඨලී චම්පික රණවක සජබට එක්වුවහොත් සජිත් ප්‍රේමදාසගේ පක්ෂ නායකත්වයට තර්ජනයක් එල්ලවනු ඇති බවටත්, මීළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට බලපෑම් කරනු ඇති බවටත් පක්ෂයේ අභ්‍යන්තරයේ අදහස් දැක්වූවන් වීම විශේෂ කාරණයකි.
පාඨලී චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමයේ පිරිසක් පසුගිය දා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වූයේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බවට සපථ කරමිනි. අනතුරුව එම පිරිස 43 සේනාංකය පිහිටුවීමත් සමග සජබ ප්‍රධානින් ඒ කෙරෙහි දැක්වුයේ සැකමුසු ස්ථාවරයකි.
එම තත්වය තුළ චම්පික රණවකට එරෙහි කඳවුරක් සමගි ජන බලවේගය තුල නිර්මාණය වී ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ පූර්ණ අනුග්‍රහයෙන් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
සජිත් අද චම්පික ඉදිරියේ හැසිරෙමින් සිටින්නේ කපන්න බැරි අත ඉඹින ආකාරයට බව සමගි ජන බලවේගය පැත්තෙන් වාර්තා වේ.
චම්පිකගේ තනතුරට සජබ විරෝධයක්
මේ අතර මෙම සති අන්තයේ ප්‍රකාශයට පත්ව ඇති 'අනිද්දා' ජාතික පුවත්පත වාර්තා කර ඇත්තේ, චම්පිකගේ තනතුරට සජබ විරෝධයක් පවතින බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකට ඉදිරි සතියේදී සමගි ජන බලවේගයේ ප්‍රධාන තනතුරක් ලබාදීම සඳහා සාකච්ජා පවත්වා ඇතත්, ඔහුට තනතුරක් ලබාදීමට සජබ ප්‍රබලයින් විරෝධයක් දක්වා ඇතිබව එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක වැනි තනතුරක් ඔහුට ලබාදීම පිළිබඳව සාකච්ජා කර ඇතත්, තමන්ට ඉහලින් විශේෂ තනතුරක් චම්පික රණවකට ලබා නොදියයුතු බව සජබ ඇතැම් නායකයින් පක්ෂ නායකත්වය වෙත අවධාරණය කර තිබේ.
'අනිද්දා' සමග අදහස් දක්වා ඇති සජබ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු පවසා ඇත්තේ, හරි හැටි පක්ෂ සාමාජිකත්වයක් ලබා නොගත් කෙනෙකුට පක්ෂයේ ඉහල තනතුරක් ලබා නොදිය යුතු බවයි. තවත් මන්ත්‍රීවරයකු පවසා ඇත්තේ චම්පිකට ජ්‍යෙෂ්ඨ උප සභාපති වැනි තනතුරක් ලබා දුන්නද, වෙනත් විශේෂ තනතුරක් ලබා නොදිය යුතු බවයි.
චම්පික රණවක පක්ෂය තුලට ගන්නවද නැද්ද තීන්දු කිරීමට සජිත් ප්‍රේමදාස විසින් පත් කර ඇති කමිටුව ගැන අදහස් දක්වමින් පක්ෂයේ ඉදිරි පෙළ සාමාජිකයකු පැවසුවේ, සජිත්ගේ කමිටුව හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් උවමනා කතාව සිහිගන්වන බවයි.