කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ජැටිය) විකිණීමට හෝ වෙනත් රටවල් වලට බදු දීමට
කටයුතු නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටියි.
වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවේ සහ ජපානයේ සමාගම් දෙකකට ලබාදීමට යන බවට වෘත්තිය සමිති හා රට පුරා පවතින ආන්දෝලනය පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසේ සිට අද මෙසේ ප්‍රතිචාර දැක්විය.
" ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නෙ දෙනවද කියලා අපි කිසි විටකෙ ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.
මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ. ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපල විකුණන මතයෙ නැහැ. දේපල විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව කියනවා" යැයි අගමැතිවරයා එහිදී සඳහන් කළේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මතය පිළිබඳ ඉකුත් සිකුරාදා 'නෙත් නිවුස්' කණින් කොනින් ඇසෙන කතා විශේෂාංගයෙන්ද අනාවරණ කළේය.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුව සමයේ ගත් තීරණ පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙසේ අදහස් පළ කළේය.
මේ අතර වරායේ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා ඊයේ රාත්‍රීයේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළද වරාය වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකවේ.
වෘත්තීය සමිති පවසන්නේ නැගෙනහිර පර්යන්තයේ ගැටලුවට ස්ථීර විසදුමක් ලැබෙන තෙක් තම සටන අත්නොහරින බවයි.
(නෙත් නිව්ස්)