තමන් බලයට පත්වුවහොත් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන බව ගෝඨාභය රාජපක්ෂ දුන් ප්‍රධානම ප්‍රතිඥා දෙකකි.
බලයට පත්ව වසරකුත් මාස දෙකක් ඉක්ම යාමෙන් අනතුරුව පෙබරවාරි 04 වෙනි දින නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවය.
 
මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.
 
"රටේ ජනතාවගේ විශේෂ අවධානයට ලක්වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය, මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා," ඔහු පැවසීය.
 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට සහ වගකිව යුතු අයට නීතිය ක්‍රියාත්මක කරන හැටි ගෝඨාභය කියයි.
 
 
 
ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයේ 'මහ මොළකරු හෝ මහ මොළකරුවන්' කවුද? එයට අනුබල දුන්නේ කවුද?
 
 
 
 
'ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන්නේ නෑ'
 
 
ජීවිත 267 ක් බිලිගනිමින් සහ තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර, අඩුම තරමින් එක් සැකකාරියක් ඉන්දියාවට පලා ගොස් තිබේ.
 
ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහමඩ් සහරාන් හෂීම් ප්‍රහාරයේ "මහ මොලකරු" හෝ නායකයා ලෙසින් බොහෝ දෙනා හඳුන්වන නමුත් ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයා ඔහු නොවන බව විමර්ශන පැවැත්වූ රහස් පරීක්ෂකයන්ගේ මතය වී තිබේ.
 
 
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කළ ජනාධිපති කොමිසම හමුවේ අවසාන දින කිහිපයේ දී සාක්ෂි දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක මෙහෙයවීමක් ඇතැයි තමන් ද සැක කරන බවය.
 
 
 
ඔහු ඒ බව කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කොමිසම හමුවේ කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව විමසූ අවස්ථාවේදී ය.
 
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ඒ සම්බන්ධයෙන් මුලින්ම පොලිස් විමර්ශන භාරව සිටි නිලධාරියාය.
 
 
 Ravi senavirathana
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න
 
 
 
සහරාන් හෂීම් ප්‍රහාර සියල්ල සංවිධානය කළ පුද්ගලයා විය නොහැකි බව ඊට පෙරාතුව ජනාධිපති කොමිසම හමුවේ කියා සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, එය මෙහෙය වූ පුද්ගලයා සොයාගත යුතු බවත්, එම තැනැත්තා හෝ කණ්ඩායම සොයාගන්නා තුරු ඒ පිළිබඳ විමර්ශන "අසම්පූර්ණ" බවත් අවධාරණය කළේය.
 
ඒ පිළිබඳ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සඳහන් කළේ, "ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්," යනුවෙන් විස්තර කළේය.
 
"අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයාම. ඒක නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුනාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශවයක් සහරාන්වත් මෙහෙයෙව්වාද කියන එක මටත් ප්‍රශ්නයක්."
 
 
 

Nalinda jayatissa"මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව" -වෛද්‍ය නලින්ද ජයතිස්ස 

 
 
 
ජනාධිපති කොමිෂන් සභාවට පෙරාතුව විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් ද ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් සිදු කරනු ලැබිණ.
 
එම කාරක සභාවේ සාමාජිකයෙකු වූ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, "මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව," යනුවෙනි.
 
වෛද්‍ය නලින්ද ජයතිස්ස විස්තර කරන පරිදි, ඔහු එම නිගමනයට එළඹ තිබෙන්නේ පහත දැක්වෙන කරුණු ඇතුළු විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය:
 
 
# හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 04 වෙනි දිනය.
 
# කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද එක් ඉලක්කයක් බව එම බුද්ධි තොරතුරුවල කියැවිණ
 
# ඒ අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වැඩි ආරක්ෂාවක් දෙන මෙන් ඉන්දියාව ඉල්ලීමක් කළේ ද, නොඑසේනම් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ දැයි පාර්ලිමේන්තු කමිටුව කළ විමසීමට ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ 'නැත' යන්නය.
 
# 2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත විය.
එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබිණ.
 
# කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, 'සාරා' හෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් තිබේ. ඇය ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ද ප්‍රහේලිකාවකි.
 
# ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනේ.
 
# පොලිසිය මෙතෙක් 'සාරා' ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීය.
 
 
# ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නැමැත්තා කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇනහිටීම ද සැකයට තුඩු දෙන්නකි.
 
# එම "ඝාතන ප්‍රයත්නයට" සම්බන්ධ බව පැවසුනු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක් ලෙස පවසමින් මුදා හැර තිබේ.
 
# නාමල් කුමාර නමැත්තාගේ ඉහත කී ප්‍රකාශය යොදා ගනිමින් සහ්රාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම.
 
 
බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස, "මේ වගේ දරුණු ප්‍රහාරයක් පිටිපස්සේ යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, හොඳ බුද්ධි තොරතුරු ජාලයක් වගේම හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් ඉන්න ඕන. ඒත් සහ්රාන්ලට එහෙම ජාලයක් තිබුණ බවට කිසිම සාක්ෂියක් නෑ," යනුවෙන් පැවසීය.
 
"ඒ වගේම සහ්රාන්ලට ආයුධ ගබඩාවක් තිබිල හොයාගත්ත කියල කිසිම තොරතුරකුත් නෑ."
 
 
මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය:
 
 
 

sarath Weerasekara                                            අමාත්‍ය සරත් වීරසේකර

 
 ජනාධිපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශයෙන් අනතුරුව, මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් "පොලිසිය විසින් සියලුම විමර්ශන කටයුතු අවසන් කරලා" මේ වනවිට සැකකරුවන් 32 කුට එරෙහිව නඩු පැවරීමට සාක්ෂි ගොනු කොට තිබෙන බවය.
 
තවත් සැකකරුවන් 241 රැඳවුම් සහ රිමාන්ඩ් භාරයේ සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
 
ඉන්දියාවේ ඔත්තු සේවය ද සමඟ සම්බන්ධ වී ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සහ "අන්තර්ජාතික ජාලයක් ඇති කොට" තිබෙන බවක් සඳහන් කළ නමුත් 'සාරා' ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ ද යන්න ගැන අමාත්‍ය සරත් වීරසේකර සෘජු පිළිතුරක් නොදුන්නේය.
 
 
 
'ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය සම්බන්ධ නෑ':
 
 
 
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට 'ඉස්ලාමීය රාජ්‍යය' (අයි එස්) සංවිධානයේ සෘජු සම්බන්ධයක් නැතැයි විමර්ශන වලදි අනාවරණය වූ බව ද, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබුණි.
 
වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ ද අයි එස් සංවිධානය ප්‍රහාරයට සම්බන්ධ බවක් සිය විමර්ශනවලදී අනාවරණය නොවූ බවය.
 
ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් කිසිවෙකුත් සෞදි අරාබිය, ලෙබනනය හෝ වෙනත් කිසිදු රටක සංචාරය කළ බවක් පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අනාවරණය නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.
 
"ගියා නම් කවුරු හරි ගිහින් තිබුණේ ඉන්දියාවට විතරයි," වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
 
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ද ඒ බව තහවුරු කළේය.
 
"ප්‍රහාරයෙන් පසු ට්‍රොපිකල් ඉන් ලැගුම්හල හැරුණු විට අනිත් ස්ථාන 06 සහ සෛයින්දමර්දු පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කළේ මම. නමුත් ඒ කිසිදු විමර්ශනයකින් මෙම ප්‍රහාරය පිටුපස සෘජුව අයි එස් සංවිධානය ඉන්න බවක් අනාවරණය වුණේ නැහැ," ඔහු පැවසීය.
 
 
 
 116829599 705f59a6 660b 4b12 a022 65778472cbe0
පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසුව අනුස්මරණ දේව මෙහෙයකට එක්ව සිටි බැතිමතුන් (AFP)
 
 
පරීක්ෂණ තුනක්:
 
 
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමසා බැලීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මුලින්ම විශේෂ විමර්ශන කමිටුවක් පත්කරන ලද අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව ද ඒ පිළිබඳව විමසා බැලීම පිණිස විශේෂ කාරක සභාවක් පත් කළේය.
 
එම මූලික විමර්ශනවල වාර්තා දැනටමත් නිකුත් වී තිබේ.
 
ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොතිබුණ බව දිගින් දිගටම අවධාරණය කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කළේය.
 
මුල සිටම ඔහු දැරූ ස්ථාවරය වූයේ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එහි වගකීම භාරගත යුතු බවය.
 
මූලික විමර්ශනවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති කොමිසමක් පත්කරන ලද අතර, එම කොමිසම පසුගිය ජනවාරි 31 වෙනි දින සිය විභාගය අවසන් කළේය.
 
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා," නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
 
එවක අගමැති පදවිය හෙබැවූ රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ජනාධිපතිවරයා තමන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගි කර නොගත් නමුත් ඒ පිළිබඳ සාමූහික වගකීම භාරගැනීමට තමන් සූදානම් බවය.
 
 

Ranil 08.02.2021

 
ජනපති මෛත්‍රී 'නොදැන සිටියේ යයි විශ්වාස කරන්න බෑ':
 
 
 
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් කිරීම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොදැන සිටින්නට ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොමිසම හමුවේ පැවසීය.
 
ඒ, හිටපු ජනාධිපතිවරයාට බුද්ධි තොරතුරු දැනුම් නොදුන්නේ යයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ දුන් සාක්ෂිය පිළිබඳව විමසූ අවස්ථාවේදීය.
 
"මම පැහැදිලිව දන්නවා රාජ්‍ය ආරක්ෂාව, දේශපාලනය, මහජන උද්ඝෝෂණ වගේ ඕනෑම දෙයක් ගැන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ දෛනිකව ජනාධිපතිවරයාව දැනුවත් කරනවා. ලද මුල් තොරතුරමයි ජනාධිපතිට යන්නේ. රටේ සියලු තොරතුරු ජනාධිපති දැනගන්නේ රාජ්‍ය බුද්ධි සේවය හරහා. ඒ නිසා ජනාධිපතිවරයා මේ පිළිබඳ නොදැන සිටියා වෙන්නට බැහැ," ශානි අබේසේකර කොමිසම හමුවේ පැවසීය.
 
"ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂිදෙන්න එපා කියන්න ජනාධිපති අපිව ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ රැස්වීමකට කැදෙව්වා. එහිදී 'මාව දැනුවත් කළේ නැහැ' කියන එක කිව්වා, හැබැයි කිසිම අවස්ථාවක 'ඇයි මට කිව්වේ නැත්තේ' කියලා නිලන්තගෙන් ඇහුවේ නැහැ."
 
 

 116837801 ddd9d7d9 6f38 4b4b b9b6 20078ecfd502         TWITTER/ SUNANDA DESHAPRIYA

 
වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් 2019 ජනවාරි මස 16 වන දින අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු අප්‍රෙල් 10 වන දින අධිකරණය විසින් නිදහස් කරනු ලැබුවේ ඔබ සහ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නගේ වාර්තාවකට අනුව දැයි එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේය.
 
එයට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර: "ඔව් ස්වාමීනි, ආරක්ෂක ලේකම්වරයා සමග පැවති රැස්වීමකදි බස්නාහිර පළාත් අණ්ඩුකාර අසාද් සාලි මහතා ඉල්ලීමක් කළා එම සැකකරුවන් දෙදෙනා නිදහස් කරන්න කියලා. නමුත් මම පැහැදිලිව කිව්වා විමර්ශන අවසන් වෙනකං නිදහස් කරන්න බැහැ කියලා," යනුවෙන් කියා සිටියේය.
 
"ඊට පස්සේ පොලිස් පරීක්ෂක මාරසිංහ අදාළ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනය අවසන් කරලා ඔවුන් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සම්බන්ධ නැති බව වාර්තා කළ නිසා මමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් නියමිත නෛතික ක්‍රමවේදයට සැකකරුවන් නිදහස් කරන්න අවසර දුන්නා."
 
 
 
 

 පාස්කු ප්‍රහාරය ගැන කණගාටුව පළ නොකරන හේතුව හිටපු ජනපති මෛත්‍රී බීබීසීයට කියයි

 
 
'ඇමෙරිකාවේ ආශීර්වාදය':
 
 
වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, එල්ලවිය හැකි බරපතල ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබූ නමුත් සමස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සවිස්තර බුද්ධි වාර්තාවක් ශ්‍රී ලංකාවේ කිසිදු බලධාරියෙකුට ලැබී තිබුණ බවක් තේරීම් කමිටුව හමුවේ අනාවරණය නොවූ බවය.
 
2015 ජනවාරි ජනපතිවරණයේ දී ඉන්දියාව විසින් තමන් පරාජය කරන ලද බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිහිප අවස්ථාවකදීම සඳහන් කර තිබුණි.
 
බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ, මහින්ද රාජපක්ෂ පාලනය දැඩි චීනයට ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉන්දියාවේ එම ස්ථාවරයට හේතු වූ බවය.
 
 
 
එහෙත් ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිය අවශ්‍යතා ඉටුකරගත නොහැකි බව වටහාගත් ඉන්දියාව, බහුතර සිංහල, බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය නායකයෙකු බලයට පත්කර එම නායකයා මාර්ගයෙන් ඉන්දියාවේ අවශ්‍යතා ඉටුකරගැනීමට තීරණය කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ විග්‍රහය වී තිබේ.
 
 
 
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම ක්‍රියාමාර්ගයේ දී ඉන්දියාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ අනුග්‍රහය සහ ආශීර්වාදය ලැබුණ බවය.
 
 
(සරෝජ් පතිරණ- BBC සිංහල)

 

  

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්