තරුණ තරුණියන්ට කොවිඩ් පිට දමා මේ වසරේදී වැලන්ටයින් එකෙන් ගොඩ යා හැකි මගක් ප්‍රකට ව්‍යාපාරික මගපෙන්වන්නෙක් වන දිලිත් ජයවීර යෝජනා කරයි.
'' මේ අවුරුද්දෙත් මම හිතනවා මේ වැලන්ටයින් එකෙන් බේරෙන්න පුළුවන් කොල්ලෝ කෙල්ලන්ට කොරෝනා එක පිටින් දාලා ... එතකොට ඔය මල් ගන්න සල්ලි වියදම් වෙන්නේ නැහැ. මුදු ගන්න සල්ලි වියදම් වෙන්නේ නැහැ. කොවිඩ් පිහිටෙන් මේ පාරත් බේරෙන්න පුළුවන් කියල තමයි මට තරුණ තරුණියන්ට කියන්න තියන්නේ..
ඔහු එහෙම කියල තියන්නේ, Venin Media මාධ්‍ය ජාලයේ වීඩියෝ වැඩසටහනකට එක්වෙමින්.
'වෙනින් කණ්ඩායම' විසින් පෙබරවාරි 14 වෙනිදාට යෙදෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් එම වීඩියෝව අද (13) දිනයේ අන්තර් ජාලයට මුදාහැරලා.
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, හරින් ප්‍රනාන්දු, හිරුෂි ජයසේන, මංගල සමරවීර, චේ කැටගොඩ, දිලිත් ජයවීර, ෆීල් ටි පෙරේරා, චින්තන ධර්මදාස, රන්දුලා ද සිල්වා, දොස්තර නලින්ද ජයතිස්ස, අමා විජේසේකර සහ විමල් කැටිපේආරච්චි වැලන්ටයින් දිනය හා ආදරය ගැන මෙම වීඩියෝවට විවිධාකාරයේ අදහස් පළකර තියනවා.
වැලන්ටයින් දින ඉතිහාසය :
වැලන්ටයින් දිනය වෙනුවෙන් BBC සිංහල සේවයේ මාධ්‍යවේදී දැහැමි රණවීර විසින් පළකර ඇති වාර්තාවක මෙසේ සඳහන් වේ.
ආදරය ගැන එකිනෙකාට ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් අදහස්ය.
'ආදරය' ලොව වැඩිම නිර්වචන ප්‍රමාණයක් ලබා දී ඇති වචනයක් වුවත් එයට අදටත් නිශ්චිත නිර්වචනයක් නොමැත. උපතේ සිට මරණය දක්වා පවතින මානුෂීය බැඳීම්, අධ්‍යාපනය, කලාව, රැකියාව ඇතුළු සෑම අංගයකටම ආදරය යන හැඟීම හෝ වචනය විවිධාකාරයෙන් සම්බන්ධ වේ.
තාක්ෂණය ඔස්සේ සිය හැඟීම් මුදාහරින ලෝකයක ගූගල් සෙවීම් තුළ 'ආදරය' යන වචනය මිලියන පහකට වැඩි වතාවක් දක්නට හැකි අතර, ඉංග්‍රීසියෙන් 'Love', බිලියන පහළොවකට ආසන්න වාර ගණනක් සොයා ඇත.
ආදරය ගැන එකිනෙකාට ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් අදහස්ය. පෞද්ගලික අත්දැකීම්, පරිසරය, පසුබිම පමණක් නොව දේශය, කාලය වැනි නොයෙක් කාරණා ද මෙම අදහස්වලට බලපායි.
ආදරයට කෙසේවෙතත්, ආදරවන්තයන්ට දිනයක් වෙන් වී තිබේ. මේ දිනයට ඇත්තේ වානිජමය වටිනාකමක් පමණක් යැයි සමහරු තර්ක කළත්, එයට සම්බන්ධ ඉතිහාස කතාවක් ද ඇත.
ආදරය යනු කුමක්ද?
එකම පැනය ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකුගෙන් ඇසූ විට, ඔවුන්ගෙන් ලැබුණේ එකිනෙකට වෙනස් පිළිතුරුය. 'වෛරය, දුක, මත්වීම වෙනුවට.......'
කළමනාකාරියක (Country Manager) ලෙස සේවය කරන හිමානි නවින්දිකා ඉහත පැනයට පිළිතුරු දෙමින් බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම් බෙදා ගත්තාය.
හිමානි නවින්දිකා
"එයා මාව දාලා ගියාට පස්සෙ මට දැනුනෙ පුදුම හිස්කමක්. ඒක නැතිකරගන්න මොනවද කරන්න ඕනෙ කියන එක ගැන මට අදහසක් තිබුණේ නෑ.
මම ඇඬුව, මුළු ලෝකයත් එක්කම තරහ වුණා, එයාට වෛර කලා, වෙනත් කෙනෙක් තුළ එයාව හොයාගන්න උත්සාහ කළා. ඒත් කාලය ගත වීමත් එක්ක මට දැනුණා එයා නිසා මම මේ ලෝකේ මාර ලස්සන දේවල් ටිකක් අත්විඳල තියනව කියලා. අපි වෙන් වුණත් ඒ දේවල් නොවෙනස්ව තියනවා කියලා තේරුණා.
එයා වෙනුවට ජීවිතයට කවුරු ආවත් ඒ ලස්සන දේවල් ඒ විදියටම තියෙනවා. අපි බෙදාගත්ත ලස්සන සිංදු, අපි හුවමාරු කරගෙන බලපු ලස්සන චිත්‍රපට. එයා නිසා මම ඉගෙනගත්ත පුංචි වැඩ. එයාට කෑම ජාති හදල දෙන්න මම ඉගෙනගත්ත වට්ටෝරු සහ තව බොහෝ දේවල්.
එයා ගියා වුණත් මම ඇතුළේ ඒ දේවල් තියනව, ආදරේ ඇතුළේ මම මා තුළ සොයාගත්ත දේවල්!
එතනින් එහාට වෙන්වීම, වෛරය, දුක වගේ දේවල් වෙනුවට, ඒ ගෙවපු කාලයේ තිබුණු සුන්දර දේවල් මට යමක් පැහැදිලි කරමින් සිටියා.
ඒ තමයි කෙනෙක් වෙන් වුණාම, අහිමි උනාම 'ප්‍රොටෝටයිප්' (බොහෝමයක් මියුසික් විඩීයෝස්, චිත්‍රපටිවල වගේ) විදියට දුක් වෙන එක, තරහ වෙන එක, තමන්වම විනාශකර ගන්න එකට වඩා, ඒ මානුෂික සම්බන්ධය තුළ දී අදාළ පුද්ගලයා ඉතිරි කර ගිය බලපෑම ආදරණීය විදිහට බාරගන්න එක.
බොහෝ වෙලාවට අපි ආදරේ කරන කෙනා දාලා ගියාට පස්සෙ උත්සාහ කරනව අපි ඒ කෙනා වෙනුවෙන් තිබුණ ආදරය මිණුම් ලකුණක් කරගන්න. සමහර විටක අපි ඒ ගිය කෙනාට වෛර කරනව, නැත්නම් ඒ දුකට අඬනවා, මත්වෙනවා.
සමහර විටෙක අපි ඒ ගිය කෙනා වෙනුවට තවත් කෙනෙක් ළං කරගන්නව. ඒත් මම හිතන්නෙ ඕනෑම ආදර කතාවක් අපි තුළ යම් බලපෑමක් ඇති කරනවා. එක්කො අලුත් සංගීත රසයක්, නැත්නම් අලුත් කලා රසයක්, අලුත් පුරුද්දක්, හැකියාවක් නැත්නම් ජීවිතයට වටිනා පාඩමක්.
නමුත් අපි වෛරයෙන්, දුකෙන්, මත් බවෙන් අපි ඒ සියල්ල අහිමි කරගන්නවා. ඔව්, ආදරේ කියන්නෙ එක තැනකින් පටන් අරන් වෙන තැනකින් ඉවර වෙන දෙයක් නෙමෙයි. එය අහිමීවීම්, වෙන්වීම්, හැරයාම්වලට පසුවත් අපි තුළම පවතින දෙයක්," ඇය තවදුරටත් පැවසුවාය.
නහි වේරේන වේරානි:
මාධ්‍යවේදී ෆර්හාන් නිසම්ඩීන්ට ආදරය ගැන ඇත්තේ මෙවන් අදහසකි;
"ආදරය යනු ප්‍රධාන මානව හැඟීම්වලින් එකක්. ආදරය කියන්නේ උපත ලැබූ දා සිට මියෙන තෙක්ම අප කාගෙත් හදවතට දැනෙන හැඟීමක් වගේම අපි කවුරුත් නොදැනුවත්වම හදවතට තුරුලු කරගන්න අපූර්වතම හැඟීමක්, ඒ වගේම විශ්ව භාෂාවක්.
ෆර්හාන් නිසම්ඩීන්
ඒ වගේම ආදරය අවසන් වන තැන ක්ෂණයකින් වෛරය හටගන්නවා. ලොව පුරා ආදරයට වඩා වෛරය විසිරී ඇති බවට වර්තමානය හොඳම උදාහරණයක්.
නහි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්මන්ති
ඒස ධම්මෝ සනත්තනෝ
(වෛරයෙන් වෛරය නොසන්සිදේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ - එය නොවෙනස්වන ලෝක ධර්මතාවයකි)
ප්‍රධාන වශයෙන්ම සමාජ ජාලවල සැරිසැරීමේදී අපේ රටේ ප්‍රජාව අතර වාර්ගික බෙදීමක් ඇතිවන අකාරයේ අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.
ආදරය කියන හැඟීම ඇයි අපිට ජාතීන් අතර සුහදතාව වර්ධනය කරගන්න යොදාගන්න බැරි? ජාතීන් අතර එකමුතුව ඇති කරන්න පුළුවන් බලවත් යාන්ත්‍රණයක් තමයි 'ආදරය'!
සහෝදරත්වයෙන් එකිනෙකා අතර ආදරය වර්ධනය වෙනකොට සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කතෝලික ද බර්ගර් ද අදාළ නැහැ. ශ්‍රි ලාංකික ජාතියක් ලෙස නව නිර්මාණශීලී අදහස්, ආකල්ප ඇතිවෙනවා. ජාතින් අතර අන්‍ය අවබෝධයක් ඇතිවෙනවා.
අද රටේ පළමුව විය යුත්තේ හෞතික දියුණුව නෙවෙයි ආකල්ප දියුණුවයි. ආකල්ප දියුණු කරන්න පුළුවන් බලවත්ම දේවල් තමයි "ආදරය,කරුණාව,මෛත්‍රිය", ඔහු පැවසීය.
වැලන්ටයින් දිනයේ ඉතිහාසය කුමක්ද?
සෑම වසරකම පෙබරවාරි 14 වෙනි දින වැලන්ටයින් දිනය හෙවත් ශාන්ත වැලන්ටයින් දිනය ලොව පුරා සමරනු ලැබේ.
ආදරණීය පණිවුඩ සහිත කාඩ්පත්, මල් හෝ චොකලට් යවා වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයින් කෙරෙහි සෙනෙහස පෙන්වීමට බොහෝ දෙනෙක් මෙදින ක්‍රියා කරති.
එදවසට නම ලැබුණේ ප්‍රසිද්ධ සාන්තුවරයෙකුගෙනි, නමුත් ඔහු කවුරුද යන්න පිළිබඳ කථා කීපයක් තිබේ.
අයර්ලන්තයේ පල්ලියක තිබෙන වැලන්ටයින් සාන්තුවරයාගේ පිළිමය (GETTY IMAGES)
ශාන්ත වැලන්ටයින් පිළිබඳ ජනප්‍රිය විශ්වාසය නම් ඔහු ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයෙකු යන්නය.
දෙවෙනි ක්ලෝඩියස් අධිරාජ්‍යයා විවාහ වීම තහනම් කර තිබුණේ විවාහක පුරුෂයන් නුසුදුසු සොල්දාදුවන් යැයි සිතූ බැවිනි. මෙම තීරණය අසාධාරණ යැයි වැලන්ටයින්ට හැඟුණු නිසා ඔහු නීති කඩ කර රහසිගතව විවාහයන් සංවිධානය කළේය.
මෙය දැනගත් ක්ලෝඩියස් අධිරාජ්‍යයා, වැලන්ටයින් සිරගෙට දමා මරණ දඬුවම නියම කළේය.
එහිදී ඔහු සිරගෙදර ජේලර්වරයාගේ දියණිය සමඟ ආදරයෙන් බැඳීණි. පෙබරවාරි 14 වෙනි දින ඔහු ඝාතනය කිරීමට රැගෙන යාමට පෙර "ඔබේ වැලන්ටයින් වෙතින්" යැයි අත්සන් කළ පෙම් හසුනක් ඇයට යවා තිබිණි.
රාගයම නොව....
නාට්‍ය හා රංග කලා ගුරුවරියක වන සුභාශිණී හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය නැඟූ පැනයට මෙසේ පිළිතුරු ලබා දුන්නාය.
සුභාශිණී හෙට්ටිආරච්චි
"ආදරය යනු එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා අවංක ලෙන්ගතුකමයි. එය රාගයට වඩා ඉදිරියෙන් සිටින්නක්. වැලන්ටයින් දිනය සැමරිය යුත්තේ ආදරයේ අති පූජනීයත්වයට ගරු කිරීම සඳහා මිස භෞතික දේ හෝ රාගය මුල්කොට නොවේ.
මනු සතා උපදින්නේම මව්පියන්ගේ ආදරය තුළින්. ජීවිතය ජීවත් කරන්නේද එතුළින්. එහෙම ආදරය වෙනුවෙන් දවසක් වෙන් කිරීම එය ලඝුකොට දැක්වීමක්දැයි හිතෙනව සමහර විටෙක.
නමුත් තම තමන්ගේ හදවතට ඇතුළතින්ම අවංකව විවෘත විය හැකි හොඳම දවසත් එයයි," ඇය පැවසුවාය.
'විඳින්න, විඳවන්න එපා!'
දෘශ්ඨි පරීක්ශකවරියක් වන නදීකා අමරසිංහ හෙට්ටිආරච්චි මෙසේ අදහස් දැක්වීය;
"ආදරය මට දැනෙන විදිහට ලොව ඇති සංකීර්ණම හා ප්‍රබලම සංවේදනයයි.
ආදරේ කියන්නේ එක වෙලාවකට පිස්සුවක්, වෙලාවකට භාවනාවක්, තවත් කෙනෙක්ට දුකක් නැත්නම් සතුටක්.ඒ වගේම තවත් කෙනෙක්ට මහමෙරක් වගේ බරක්, වගකීමක්, අතහරින්න බැරි බැඳීමක්, ඇබ්බැහිවීමක්, කායික සුවයක්, මානසික සුවයක් නැත්නම් පරිත්‍යාගයක්.
අපි කොයිවිදිහට අර්ථකතනය කළත්, ආදරය කරන, විඳින සහ බලාපොරොත්තු වෙන විදිහ එකිනෙකාට වෙනස්. හැබැයි අපි ඒක මොනවිදිහට වින්ඳත් ඒක හරි රහයි!
නදීකා අමරසිංහ හෙට්ටිආරච්චි
ඒ රස අපේ ඇට,මස්,ලේ,නහර විදගෙන හැම සෛලයකටම කිඳා බහිනවා.එදා ඉඳන් අපේ මොලයේ ක්‍රියාකාරීත්වය මදක් අඩපණ වෙලා, හදවතේ ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා. ඒ නිසා තමයි අපි සමහර වෙලාවට හැඟීම්වලට වහල් වෙලා, ආදරය කියලා අපිම නිර්වචනය කරගත්තු දෙයක් වෙනුවෙන් මෝඩ තීරණ ගන්නේ.
අපි ආදරයෙදි මොලයට ඉඩක් නොදුන්නොත්, ආදරය කියන්නේ මොකද්ද කියලා හරියටම දැනෙනකොට සමහරවිට මකාගන්න බැරි පැල්ලම් ජීවිතයට එකතුවෙලා ඉවරයි. ආදරය විඳින්න. විඳවන්න එපා," නදීකා තවදුරටත් පැවසුවාය.
වැලන්ටයින් දිනය සැමරීම සිදු වූයේ කෙසේද?
පළමු වැලන්ටයින් දිනය සැමරුවේ වර්ෂ 496 දීය!
විශේෂිත වැලන්ටයින් දිනයක් තිබීම ඉතා පැරණි සම්ප්රදායක් වන අතර එය රෝමානු උත්සවයකින් ආරම්භ වූවක් යැයි සැලකේ.
පෙබරවාරි මැද භාගයේදී රෝමවරු ලුපර්කාලියා (Lupercalia) නමින් උත්සවයක් පවත්වති. එය නිල වශයෙන් ඔවුන්ගේ වසන්ත කාලය ආරම්භය සනිටුහන් කිරීමකි.
ඉංග්‍රීසියෙන් ලියා ඇති පැරණිතම වැලන්ටයින් දින පණිවිඩයයි. එය ලියා ඇත්තේ 1477 දීය. (PA MEDIA)
සැමරුමේ කොටසක් ලෙස තරුණියන්ගේ නම් ලියා දමා තිබූ පෙට්ටියකින් තරුණයන් අහඹු ලෙස නම් තෝරා ගැනීමක් සිදු කළ බව විශ්වාස කෙරේ. උත්සවය අතරතුර අදාළ යුවල පෙම්වතා සහ පෙම්වතිය වන අතර සමහර විට ඔවුන් විවාහ වනු ඇත.
පසුකාලීනව පල්ලියට මෙම උත්සවය ක්‍රිස්තියානි සැමරුමක් බවට පත්කිරීමට අවශ්‍ය වූ අතර ශාන්ත වැලන්ටයින් සිහිපත් කිරීම සඳහා ද එය යොදා ගැනීමට තීරණය කළේය.
ක්‍රමානුකූලව, ශාන්ත වැලන්ටයින්ගේ නම මිනිසුන් තමන් ආදරය කළ අයට ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිත කිරීමට පටන් ගත්තේය.
'ජීවිතයට අත්‍යවශ්‍යයි'
කළමනාකරණ සේවා නිලධාරී සචී ඉඹුලානගේ අදහස;
සචී ඉඹුලාන
"සොබාදහම තුළ කුමන හෝ ආකාරයක ජීවයක් බිහිවූයේ ද ආදරය බිහි වන්නට ඇත්තේ ද ඒ මොහොතේමයි. යමක පැවැත්මට අදාළ මූලිකම අවශ්‍යතාවය ආදරයයි.
ජීවයක පැවැත්මට අවශ්‍ය වන්නේ ආදරය නොව ආහාර ජලය වැනි භෞතික ද්‍රව්‍ය යැයි යමෙකුට තර්ක කළ හැකිය. නමුත් මේ අවශ්‍යතා පවා අප සපුරාගන්නේ තමා තමාට ඇති ආදරය සහ ඇලීම නිසා නොවේද?
'සැහැල්ලු වෙන්න'
පරිඝනක ඉංජිනේරුවෙකු වන රංගන කරුණාරත්න ආදරය ගැන දැක්වූයේ මෙවන් අදහසකි;
"ආදරය කියන දේට නිර්වචනයක් දෙන්න බැහැ. එය ක්‍රියාවෙන් සිදු කළ යුතු දෙයක්. එකිනෙකා විශ්වාස කිරීම, ගෞරව කිරීමෙයි ආදරය රැඳිලා තියෙන්නේ.
කෙනෙක්ට ආදරය කරන්නේ ඒ පුද්ගලයාව වෙනස් කරන්න හිතාගෙන, නැත්නම් වෙනත් වාසි බලාගෙන නම් එතන ඇති ආදරයක් නැහැ. යම් පුද්ගලයෙක් ඉන්නා විඳිහටම ඔහු හෝ ඇයට ආදරය කරන්න පුළුවන් නම් ජීවිතයේ සෑහෙන ප්‍රශ්න අඩුවෙයි.
සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, ඒ ලැබෙන මානසික සුවයත් එක්ක නිකම්ම ආදරය දැනෙන්න ගනියි," ඔහු පැවසුවේය.
'කාලයක්,වයසක්, දවසක් නැහැ'
නාට්‍ය අධ්යක්ෂකවරියක, පිටපත් රචකයෙකු සහ ගුරුවරියක වන ගීත්මා අතාවුද මෙසේ පැවසීය;
ආදරය යනු ලෝකයේ කිසිම පුද්ගලයකුට මෙතෙක් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකි වූ අකුරු හතරක්. ආදරය හුදෙක් වචනයක්ම නොව එය හැඟීමක්, ක්‍රියාවක් නැත්නම් කැපකිරීමක්.
ගීත්මා අතාවුද
ආදරය ජීවිතයේ හැම පරිඡේදයකම විවිධ ස්වරූපයන්ගෙන් අපිව මුණ ගැහෙන්නට එනවා. ආදරයට නිශ්චිත කාලයක්,වයසක්, දවසක් නැහැ.
සමහරවිට අපි ආදරය හඳුනා ගන්නවා. සමහරවිටක මඟ හැරෙනවා නැත්නම් මඟහරිනවා. කෙසේ හෝ වේවා, ප්රත්යක්ෂ වශයෙන්ම පුද්ගල චිත්ත සන්තානයේ තවත් අයෙකු වෙනුවෙන් උපදින්නට හැකි උත්තරීතරම හැඟීම ආදරයයි.
"දිල්කා රිශ්තා බඩා හේ ප්යාර් ආහේ"
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනී විවේකා සමරසිංහ බීබීසී සිංහල සේවයට මෙසේ අදහස් දැක්වීය;
"මේ අකුරු සතරෙන් මනුෂ්‍යාගේ ජීවිතයට බෙහෙවින් බලපාන්නේ මනසේ ඇතිවන එක්තරා සියුම් සිතුවිල්ලක්. මේ අතර, මවක් දරුවෙකුට කරන ආදරයත් යෞවන ආදරයත් අතර ලොකු වෙනසක් තිබෙනවා.
අම්මාගේ ආදර බැඳීම සදාකාලිකවම පවතින එකකි. තරුණ පරපුරේ අයගේ ආදරය බොහෝවිට තාවකාලිකව පවතින්නක්. හැබැයි නියම වයසේදී සිතේ පදියම්වන ලෙන්ගතුකමේ බෝහෝ විට විශාල බැඳීමක් පවතිනවා. ඒ බැඳීම තමයි ආදරයකට පෙරලෙන්නේ.
විවේකා සමරසිංහ
මෙයට නිදසුනක් වශයෙන් හින්දි ගීතයක පද දෙකක් සදහන් කරන්නම්: "දිල්කා රිශ්තා බඩා හේ ප්යාර් ආහේ" (හදවතේ බැඳීම බොහෝ සේ ආදරයක් වන්නේය).
අද සමාජය ආදරය ව්‍යාපාරයක් කරගෙන තිබෙනවා. බටහිර ක්‍රියාවන් අනුගමනය කරමින් අපේ රටේ ජනයාත් "වැලන්ටයින් ඩේ" වශයෙන් මෙය සමරනවා. බටහිරෙන් මොනවාද එන්නේ ඒ සියල්ල නොදියුණු රටවල අය බදා ගන්නවා.
අපට ජීවත්වීමට සහ පවුල් පසුබිමකට ආදරය අවශ්‍යයි. නමුත් මෙහි අර්ථය ගැන එතරම් හැඟීමක් නැති අය හරියට ගින්දර දැක දැක ගින්නට පනින පළඟැටියෝ වාගෙයි," ඇය පැවසුවාය.
'කොරෝනාව රැගෙන ගිය ආදරය'
කථිකාචාර්යවරියක වන සුධර්මා වීරක්කොඩි ආදරය ගැන බීබීසී සිංහල සේවයට ලියා එව්වේ නිසදැසකිනි.
සුධර්මා වීරක්කොඩි
ඕං ආවා කෝල් එකක්
ඉස්සර අනුන්ගෙ ලියුං
මගේ වගෙ ලියුවට
පරණ කොන්තරාත්තුවක්...
ලියන්නකො ලස්සන පණිවිඩයක්..
ඒ කාටද..
මොන එහෙකටද...
මුතු අකුරින්ද..
ඉංග්රීසිවලින්ද...?
ඔව් අප්පා...
අහවලාට...
අහවල් එකටද...?
වැලන්ටයිං ඩේ එකට..
මොකක්?...
කාටද?..
දුවටද?
අම්මට මදිවට දුවටත් ලියන්න ඕනැද?
නෑ අනේ මට..
අප්පේ අපේ කාලෙ ඉවරයිනේ...
ඔව් මට අරං ගිහින් තියල එන්න..
කොහේද...?
සුදා එයා යන්න ගියා...
මං දකින්නෙම නැතුව..
ගිහින් එන්න නෙවෙයි
යන්නම යන්න...
ගිය තැනක්වත් මං දන්නෙ නෑ...
ඒත් ආයෙ එන්නෙ නෑ..
අර ඔයා ලියල දුන්න මුතුකැට ලියුමයි
අද ඔයා ලියා දෙන ආදරෙයි..
එකතු කරලා එකට බැඳලා
මල් ඉත්තක දවටා ගෙන
අපි හමුවුන තැනට ගිහින්
දියවෙනකල් ,පාවෙනකල්
ඔහේ ගලාගෙන යනකල්
මගෙ කදුලුත් අරං යන්න
මහවැලියට ගිහින් එන්න
අනේ සුදා ලියා දෙන්න...
ඉතින් එයා කොහෙද ගියේ?
කා එක්කද යන්න ගියේ?
ඔයා ලියපු ලියුම එක්ක
රාමු කරපු රූපෙ තියල
එයා ගියා මගේ ළඟින්
කොරෝනා නෝනා එක්කල......
(මුලාශ්‍රය - BBC)
බැසිල් විමල්ට මුහුණ දෙන්න Voice Cut සාදුලා සොයයි
දාරලුවේ කෘඩියා සිලනිකා තෙරුන්ගේ කතාවස්තුව