ආරක්ෂක අමාත්‍යාංශය සමග “බොහෝම එකතු වෙලා වැඩ කරන” හිමි නමක්
වනාන්තර විනාශ කරමින් සිටින බවට ආරක්ෂක ලේකම්වරයා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරියට හා පොලිස් ප්‍රධානියාට පැමිණිලි කොට තිබේ.
 
ජෙනරාල් කමල් ගුණරත්න එම අනාවරණය කළේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසු රටේ සිදුවන පරිසර හානිය දියුණු තියුණු වී ඇති බවට හෙළිවන තොරතුරු “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ” ලෙසින් ජනාධිපතිවරයා විසින් බැහැර කර තිබියදීය.
 
 "මේ කාලේ ස්වභාවික සම්පත් විනාශය උපරිමයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ වන විශේෂයෙන්ම, වන විනාශය සහ පරිසර විනාශය සිද්ධ වෙනවා."
 
 ආරක්ෂක ලේකම් මෙන්ම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ද වන ජෙනරාල් කමල් ගුණරත්න ඒ බව හෙළි කළේ දිස්ත්‍රික් ලේකම්වරුන් හා දිසාපතිවරුන් සමග පෙබරවාරි 17 බදාදා පැවැති සාකච්ඡාවකදීය.
 
 
ජෙනරාල්වරයා එහිදී අවධාරණය කළේ ආණ්ඩුවට හිතවත් නැගෙනහිර පළාතේ බෞද්ධ භික්ෂුවක්ද වන විනාශයට සම්බන්ධ බවයි.
 
 
"ඔය ත්‍රිකුණාමලය පැත්තේ ස්වාමීන්වහන්සේ කෙනෙක්. අපිත් එක්කත් බොහෝම එකතු වෙලා වැඩ කරන ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ගිහිල්ලා කැලැ එළිකරනවා."
 
 එම භික්ෂුව සිදු කරන පරිසර විනාශය පාලනය කිරීම සදහා කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරියට දැනුම් දුන් බව පැවසු කමල් ගුණරත්න එහිදී තවදුරටත් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර  නියෝජ්‍ය පොලිස්පතිවරයාත් දැනුවත් කළ බවයි.
 
 "එක එක්කෙනා රජයට සම්බන්ධවෙලා ඒක කවර් එකට අරගෙන වැරදි වැඩ කරන්න යනවා. ඒ වගේ කිසිම වැරදි වැඩක්  කරන්න ඉඩ දෙන්න එපා." ආරක්ෂක ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා දිසාපතිවරුන් උපදෙස් ලබා දී තිබුනි.
 
 පොලීසිය සහ හමුදාවට අමතරව ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කරමින් පරිසර විනාශයන් සිදු වන ස්ථාන සොයා ගැනීමට උත්සාහ දරන බව පැවසු ආරක්ෂක ලේකම්වරයා එහිදී අවධාරණය කළේ රජයේ ඇතැම් නිලධාරීන්ද  අක්‍රමිකතාවන්ට සම්බන්ධ වන අවස්ථා දැක තිබෙන බවයි.
 
මහා ගන කැලෑ හෙළි කරමින් පරිසර විනාශයන් සිදු කරන පිරිස් ඒ සදහා බලපත්‍ර ලබා ගත් ආකාරය සිතා ගැනීමට අපහසු බව පවසන ආරක්ෂක ලේකම් එහිදී පෙන්වා දුන්නේ බලපත්‍ර නිකුත් කිරීමේ වැරදි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි.
 
ඔහු එහිදී තව දුරටත් අවධාරණය කර තිබුනේ ඇතැම් ප්‍රදේශිය ලේකම්වරුන් අනවශ්‍ය පුද්ගලයන් වෙත බලපත්‍ර නිකුත් කර තිබෙන බවයි. ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ එවැනි සිද්ධින් වැඩි වශයෙන් වාර්තා වන බව ඔහු සඳහන් කර තිබුනි.
 
 වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු සිදුකෙරෙන පරිසර හානිය පිලිබඳව මාධ්‍ය විසින් කරන හෙළිදරව් ජනාධිපති වරයා විසින් පසුගිය වසරේ අග භාගයේදී  ප්‍රතික්ෂේප කර තිබුනේ “අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක්” ලෙස හුවා දක්වමිනි.
 

 

 


 

 

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

කිංබානට්තුමා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහින් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්