චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව (China Pakisthan Economic Corridor - CPEC) හරහා
මධ්‍යම ආසියාව සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අඟහරුවාදා (පෙබරවාරි 23) කොළඹදී කියා සිටියේය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉම්රාන් ඛාන් මෙම අදහස් පළ කළේය.
''මෙම සංචාරය අපගේ ද්විපාර්ශවිය සම්බන්ධතා වර්ධනය කරනවා. එය අපගේ වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරනවා. පාකිස්තානය චීනයේ එක තීරයක් එක මාවතක් වැඩසටහනේ කොටස්කරුවෙක්. සී-පෙක් එහි එක් ප්‍රධාන ක්‍රියාමාර්ගයක්. සී-පෙක් හරහා ශ්‍රී ලංකාවට මධ්‍යම ආසියාවට සම්බන්ධවීමේ හැකියාව ලැබෙනවා. මධ්‍යම ආසියාවට පාකිස්තානයේ සම්බන්ධය තුළින් ශ්‍රී ලංකාවට වෙළෙඳාම ශක්තිමත් කළ හැකි අපි අපගේ අනෙකුත් අවස්ථාවන් ගැනත් කතා කළා.'' යනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
කලාපීය ස්ථාවරභාවය හා සාමය දකුණු ආසියාවේ සංවර්ධනය සහ ස්ථාවර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් අවශ්‍ය බවට ශ්‍රී ලංකාව විශ්වාස කරනු ඇතැයි එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේය.
''අපගේ සාකච්ඡාවලට කලාපීය හා ජාත්‍යන්තර වැදගත් කමකින් යුත් සිද්ධීන් මෙන්ම කොරෝනා වෛරසයේ බලපෑමත් ඇතුළත් වුණා. ශ්‍රී ලංකාව පාකිස්තානයට කෘතඥ වෙනවා පාකිස්තානයේ ඇති ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථාන ලංකාවේ බැතිමතුන් වෙනුවෙන් විවර කිරීම පිළිබඳව. අපි එළඹුණු වැදගත් තීරණය නම් ද්විපාර්ශවිය පාර්ලිමේන්තු සහයෝගොතාව පාර්ලිමේන්තු සහයෝගිතා සංගම් හරහා නැවතත් ආරම්භ කිරීමට ගත් තීරණයයි.'' යනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බදාදා (පෙබරවාරි 24)පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසුණි.
පාකිස්තාන සංචාරකයන්ට ශ්‍රී ලංකා ජනපතිගෙන් ආරාධනයක්
කොවිඩ් වසංගතය මර්දනය සමග මෙරට සංචාරය සඳහා පැමිණෙන්නැයි පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ ජනාධිපහිවරයා දෙරටේ සංචාරක ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළේය.
ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්‍රකාශ කළහ.
පාකිස්ථානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් එහිදී සඳහන් කළේය.
පාකිස්ථානය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
එම හමුවීමෙන් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා කොළඹ පැවති වෙළෙඳ හා ආයෝජන සමුළුවකට ද එක්විය.
2021 පළමු නිල සංචාරය:
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ඇතුළු දූත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 23 වැනිදා පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු ව සිටි අවධියේ පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ඉම්රාන් ඛාන් එරට 22 වැනි අග්‍රාමාත්‍යවරයා ය.
අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වේ. එමෙන් ම 2021 වසරේ ඔහුගේ පළමු නිල විදෙස් සංචාරය, මෙම ශ්‍රී ලංකා සංචාරය වීම ද විශේෂත්වයකි.
පාකිස්තානය සමග ගිවිසුම් පහක්:
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දෙදින නිල සංචාරයට සමඟාමීව දෙරට අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට පෙබරවාරි 23 වැනිදා අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි.
දෙරට අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන, විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේත්රවල සමීප සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට එම ගිවිසුම් මගින් අපේක්ෂිතය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම්
1 -සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම.
2 - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
3 - ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
4 - කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව.
5 - කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
සංචාරයේ ඇතැම් අවස්ථා ඉවතට:
මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම අවසන් මොහොතේ අවලංගු කෙරිණි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය හමුවේ කියා සිටියේ ආරක්ෂක හේතුන් මත එම රැස්වීම අවලංගු කර ඇති බවය.
අගමැතිවරයාගේ සංචාරයට අදාළ වැඩසටහන සකසනුයේ දෙරට ම ඒකාබද්ධව වන අතර පාකිස්තාන අගමැතිවරයාගේ ආරක්ෂාව වඩා ප්රමුඛ වන බව ද ඔහු කීය.
සියලු කෝවිඩ් මරණ ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳ සිය අවධානය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමුවට ගෙන යාම එසේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අපේක්ෂා කළ රැස්වීමේ අරමුණක් විණි.
ආණ්ඩුවේ ස්ථාවරය වී තිබෙන්නේ විශේෂඥ කමිටුවක ඇගයීම මත, කොරෝනාවෛරසය ආසාදිතව මරණයට පත්වූවන්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරි තීරණවලට එළඹෙන බවය.
කළින් සැලසුම් කර තිබූ, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමද අවලංගු කෙරිණි.
චීනයට හිතවත් නායකයා එම දේශනයෙදී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළහොත් එය අසල්වැසි ඉන්දියාවේ සිත් රිදීමකට හේතුවීමෙන් මතුවිය හැකි රාජ්‍යතාන්ත්‍රික අවුලක් වැළක්වීම හෝ කෝවිඩ්-19 ආසාදිතයින්ගේ දේහ භූමදානය සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීම වැළක්වීමේ අරමුණින් එම දේශනය අවලංගු කරන්නට ඇති බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයින්ගේ මෙන්ම ඇතැම් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ද අදහස විණි.
මේ අතර පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය යෙදුණේ වත්මන් ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග එළැඹ තිබූ ආයෝජන ගිවිසුම අවලංගු කරනු ලැබීම හරහා දෙපාර්ශවය අතර සබඳතාවට ගැටලු මතුවෙමින් පවතින අතරවාරයේදීය.
(BBC සිංහල සේවය)
බිලිබා ගැනීම ඇරඹේ - ජොනි අසංගව උස්සලා?