දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාව බලය යුතු ලෙස යොදාගෙන ඇති බව පෙන්වා දෙන නීතිඥ මණ්ඩලයක් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා
ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවෙන් ඉල්ලා තිබේ.
 
මාර්තු 9 අගහරුවාදා එම කොමිසමේ සභාපති වෙත ලිපියක් යොමු කරමින් නීතිඥයන් දස දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැනුම් දී ඇත්තේ එම කොමිසම සිය බලය අභිබවා කටයුතු කිරීම නිසා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් අව භාවිත වී ඇති බවයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 වසරේ ජනවාරි මස 09 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ලබාදුන් බලතල අනුව 2015 ජනවාරි 08 දින සිට 2019.11.16 දින දක්වා කාල සීමාව තුළ සිදුවු  දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවන ලදි.
 
 
එම  ගැසට් පත්‍රයේ පළමු පිටුවේ දැක්වෙන ආකාරයට දේශපාලන කොමිෂන් සභාවට බලය ලබා දී ඇත්තේ එහි සදහන් කාල සීමාව තුළ දේශපාලන පලිගැනීම්වලට ලක් වු රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා වල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්, ශ්‍රී ලංකා පොලීසියෙහි සාමාජිකයන් යන කාණ්ඩවලට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් සොයා බැලීමට බව නීතිඥ කණ්ඩායම පෙන්වා දෙයි.
 
 
කරුණු එසේ තිබියදීත් ගැසට් පත්‍රයේ ඇතුලත් නොවු කාණ්ඩවලට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද කොමිසම පරීක්ෂණ පවත්වා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත යොමු කළ ලිපිය මගින් නීතිඥයන් කණ්ඩායම පෙන්වා දී තිබේ.
 
එමගින් රජයේ මුදල් අවභාවිත වී ඇති බව නීතිඥ කණ්ඩායමේ තර්කය වී ඇත.
 
"එසේ තමන්ට ලැබුණු බලය අභිබවා එසේම බලය අයුතු ලෙස යොදා ගනිමින් ඉහත සදහන් කළ කාණ්ඩ වලින් බැහැර පුද්ගලයන් සම්බන්ධයෙන්ද, විමර්ශනය සිදුකිරීම නිසා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති වී ඇතිවා මෙන්ම අවභාවිතය වී ඇති බවද නිරීක්ෂණය වේ. "
 
 
දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත් කළ කොමිසම බලය අභිබවමින් කටයුතු කළ බව තහවුරු කිරීම සදහා නිදර්ශන විසි දෙකක්ද නීතිඥ මණ්ඩලය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් වෙත ඉදිරිපත් කර තිබේ.
 
 
 
දේශපාලන පලිගැනීම් පිළිබද කොමිෂන් සභාව අවුරුද්දකට ආසන්න කාලයක් ක්‍රියාත්මකව තිබී ඇති අතර, එය නඩත්තු කිරීමටත්, එහි අනෙකුත් කාර්යන් කරගෙන යාම සදහාත් අතිවිශාල වියදමක් රජය විසින් දරා තිබෙන බවත් නීතිඥ කණ්ඩායම අවධාරණය කරයි.
 
"මෙකී මුදල් ජනතාවගේ මුදල් බැවින් එම ගැසට් නිවේදනය පවරා ඇති බලය අතික්‍රමණය කරමින් කටයුතු කිරීම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමටත් සහ නාස්තියක් වේ."
 
දේශපාලන පලිගැනීම් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කර තිබුනේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි බේරත්න (සභාපති), විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර දයා චන්ද්‍රසිරි ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දුය.
 
 
 
ඔවුන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු දුෂණ නැමැති වරද සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අවධානය යොමුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයන් දහ දෙනා ඉල්ලා තිබේ.
 
 
එම ඉල්ලීම කර ඇත්තේ සේනක පෙරේරා, සයිනුල් ලුතුෆි, මංජුල ශ්‍රී චන්ද්‍රසේන, අචලා සෙනෙවිරත්න, තම්බයියා ජෙයරත්නරාජා, හේමන්ත වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, උපාලි රත්නායක, අශෝක විජේවර්ධන හා චුලා අධිකාරී යන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයන් දස දෙනා විසිනි.
 
 
##############
 
 
 
 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

සුරතාන්තයට පත්වීම කාන්තාවගේ අයිතියක්! තහනම් sex ගැන චින්තනගේ කියවීම 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්