මේ වසරේ ගෙවීගිය පළමු මාස දෙක තුලදී පමණක් දකුණුදිග පළාත් කිහිපයක පොලිස් වධහිංසන

සම්බන්ධ පැමිණිලි දහතුනක් සිය සංවිධානය වෙත ලැබී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව පවසයි.

වසර ආරම්භ වී ඉතා කෙටි කාලයක් තුලදී වධහිංසාවෙන් තොර රටක් බිහිකිරීමේ රජයේ වගකීම නැවතත් අවධාරණය කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බවයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකලාපය ජිනීවා සමුළුවේ සාකච්ඡා කෙරෙන අවස්ථාවක තොරතුරු එළිදක්වන එම එකමුතුව පවසන්නේ.
 
Migara
පොලිස් පහරදීමෙන් තුවාල ලැබූ නීති ශිෂ්‍ය  මිගාර ගුණරත්න
 
පොදු සමාජය කම්පනය කරවීමේ පොලිස් වධහිංසනයක් ලෙස මෑතකදී වාර්තා වූයේ නීති ශිෂ්‍ය  මිගාර ගුණරත්නට සිදු කළ පොලිස් පහර දීම වූවත්, එවැනි පහරදීම් මෙන්ම ඊටත් වඩා දරුණු මරණයෙන් පවා කෙළවර වන පොලිස් පහරදීම් පවා මීට පෙරද වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව රජයට සහ පුරවැසියන්ට මතක් කර දෙයි.
 
එම එකමුතුව චෝදනා කරන්නේ පසුගිය වසරේ අගභාගයේදී මහර බන්ධනාගාරයේ රැඳවියන්ට සිදු වූ මිලේච්ඡ ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමට රජය අවංකව කැප නොවන බවක් නිරීක්ෂණය වන අතර වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රහාරය ඇතුළු බන්ධනාගාර තුළ සිදු වූ ප්‍රහාර වලට තවමත් යුක්තිය ඉටු නොවු බවයි.
 
එකොලොස් දෙනකු ඝාතනය කළ මහර වෙඩිතැබීමේ ඇසින් දුටු සාක්ෂි කරුවන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බරපතල වධබන්ධන පැමිණවූ බව සිරකරු අයිතිවාසිකම් කමිටුව මීට ඉහතදී හෙළි කර තිබුණි.
 
පොලිසියේ වධහිංසා නිසා ශ්‍රී ලංකාව අවමානයට ලක්වීම පිළිබඳව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව කණගාටුව පළකර තිබේ.
 
"මෙම සියළු සිදුවීම් තුළින් ගෝලීය මානව හිමිකම් දර්ශකය තුළ ශ්‍රී ලංකාව තව තවත් පහළට ඇද වැටෙන අතර ශිෂ්ඨ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ගෞරවයට සහ කීර්ති නාමයට බරපතල කැළලක් ඇති කරනු ලබයි."
 
වධහිංසාවෙන් වැළකී සිටීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතියක් පමණක් නොව 1994 අංක 22 දරණ පනත අනුව පුද්ගලයකු වධහිංසාවට ලක් කිරීම තරාතිරම නොබලා අපරාධ වගකීමකට යටත් කළ හැකි වරදක් බවත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව රජයට අවධාරණය කර සිටී.
 
"පුරවැසියන්ගේ මූලික අයිතිය සුරැකීමත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත් වගකිවයුතු රජයක අත්හළ නොහැකි වගකීමක් බව රජයට අපි නැවත නැවතත් අවධාරණය කර සිටිමු."
 
ගාල්ල දිස්ත්‍රික්කයේ  පිටිගල පොලීසිය, මාතර දිස්ත්‍රික්කයේ  හක්මන පොලීසිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ  වලස්මුල්ල හා තංගල්ල පොලීසිය, කුරුණැගල දිස්ත්‍රික්කයේ පොතුහැර හා වැල්ලව පොලීසිය, කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, කොස්ගොඩ හා පයාගල පොලීසිය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගන්විල ආදී පොලිස්ථාන වල සිද්ධීන් එක බැගින්ද ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලීස්ථානය  තුලදී සිදුවු පොලිස් වධ හිංසන තුනක්ද  වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවට වාර්තා වී තිබේ.
 
වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් දිවයින පුරා විසිරී සිටින සිවිල් සංවිධාන 27ක් සහ සිවිල් පුරවැසියන්ගෙන් සමන්විත එකමුතුවක් බව ඔවුන් පවසයි.

 

 

 


 

 

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

 

සීනි මාෆියාවේ හතර මායිම ඉරාන් හෙළිකරයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්