''මේ ජඩ දේශපාලනය නැවැත්විය යුතුයි. නැවැත්වීමට කටයුතු කල යුතුයි.
අපගේ මාතෘ භූමිය අද දවසේ ඔබගෙන් ඉල්ලා සිටින්නේ එයයි.'' හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය එබව කියා සිටියේ ඊයේ (11) පැවති "පරිසරයේ හෙට දවස" පුරවැසි සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි.
 
පරිසරයේ ඇති වැදගත්කම හා තීරණාත්මකභාවය පිළිබඳව සිදුකරන මෙම සාකච්ජාව අප ජීවත්වන වර්තමානය පිලිබදව පමණක් නොව ඊළඟ පරපුරේ අනාගතයද තීරණය කරන්නක් බව එහිදී පැවසු කරු ජයසුරිය, මෙවැනි කාර්යයකට දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අතිශයින්ම සතුටුවන බව ද කියා සිටියේය. 
 
ඊයේ (11) පැවති එම සම්මන්ත්‍රණයේදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු කතානායකවරයා, පරිසරයට සිදුවන බරපතල විනාශය වත්මන් පාලකයන් පවා එය තේරුම් නොගෙන සිටීම ඛේදවාචකයක් බව අවධාරණය කළේය.
 

Karu Cemina 1

Karu Cemina 2

Karu Cemina 3

Karu Cemina 4

Karu Cemina 5

 
''අද ශ්‍රී ලාංකිකයන් ලෙස අප ජීවත්වන්නේ වසර 2500කටත් අධික අපගේ දැනුවත් ඉතිහාසය තුළ විශාලතම හා බිහිසුණුම පාරිසරික විනාශයක් සිදු කරමින් සිටින මොහොතකයි. පරිසරය රැක ගැනීමේ ඇති වැදගත්කම බොහෝ ශ්‍රී ලාංකිකයන් තේරුම් ගෙන ඇති ආකාරයක් දකින්නට නැහැ. එම තත්වය යම් පමණකට තේරුම්ගත හැකියි. '' යයි පැවසු හිටපු කතානායකවරයා,  නමුත් අද අපේ පාලකයන් පවා එය තේරුම් නොගෙන සිටීම මොනතරම් ඛේදවාචකයක් දැයි විමසා සිටියේය.
 
''ජනතාව යම් කරුණක් උදෙසා යොමු කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති මඟිනුයි. දේවානම්පියතිස්ස මහා රජතුමාට පෙර සිටි රජවරුන් පරිසරය පිළිබඳව අනුගමනය කල ප්‍රතිපත්ති හා ඉන් පසුව අපේ රජවරු පරිසරය පිළිබඳව අනුගමනය කල ප්‍රතිපත්ති හා ජනතාව ඊට අනුගත වූ ආකාරය අනුව එය තේරුම්ගත හැකියි.''
 
අද අපේ රටේ ඇතමුන් තුළ පරිසරය පිළිබඳ සංවේදීතාවයක් නැතිකම හා රාජ්‍යයක් ලෙස ඊට අදාලව අද අප අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තිය බොහෝ සෙයින් එක හා සමාන බව කරු ජයසුරිය පවසයි.
 
''වර්තමාන ලෝකයේ අන් සියලුම රටවලට වඩා භූතාන් රටේ ජනතාව පරිසරය ආරක්ෂා කිරීමට කැපවි සිටින්නේ ඇයි? එය ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියේම ප්‍රධානතම අංගයක් වන නිසයි. අද අපේ රටේ සිදුවන දැවැන්ත පාරිසරික විනාශයද අප තේරුම් ගත යුත්තේ ඒ අනුවයි. '' කරු ජයසුරිය එහිදී පෙන්වා දුන්නේය.
 
මෙම දුර්දාන්ත ක්‍රියාවලිය තුළ ගහකොළ, ඇලදොළ, සතා සිවුපාවා ආරක්ෂා නොවීම යනු අපගේ අනාගත දූදරුවන්ගේ හුස්ම පොද ආරක්ෂා නොකිරීම බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැතැයි ද ඔහු කියා සිටියේය.
 
පරිසරය ගැන කතා කිරීමේදී මිහිදු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා වෙත දුන් උපදේශය තේරුම් ගැනීම ඉතා වැදගත් බවත්, එය එදාටත් වඩා වැදගත් වන්නේ අදට බවත් හිටපු කතානායකවරයා අවධාරණය කළේය.
 
 d7fa6a061b746282325f550ec3daed15 XL
''මිහිදු මහරහතන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ රජතුමා යනු මේ පරිසරයේ ඒකාධිකාරයා නොවන බවයි. බාරකරුවෙකු පමණක්ම වන බවයි. ''
 
 ''උන්වහන්සේ එසේ පෙන්වා දී ඇත්තේ සකලවිධ සත්වයාගේ ජීවත්වීමේ නිදහස පාලකයන් විසින් ආරක්ෂා කරදීමේ ඇති වැදගත්කම අවධාරණය කිරීමටයි. 
 
එදා මිහිදු මහරහතන් වහන්සේ අපේ සංස්කෘතියට අන්තර්ගත කලේ උන්වහන්සේගේ ශාස්තෘවරයාණන් වහන්සේගේ දර්ශණයයි. 
 
ගසක් යට ඉපිද, ගසක් යටදී සම්බුද්ධත්වයට පත්ව, ගසක් යටදී පිරිනිවන් පෑ උන්වහන්සේ තුරුලිය ද ඇතුලත් වනපෙත, ඇලදොළ, ගංගා, මහමුහුද ආදී පාරිසරික අංග මැනවින් වටහාගත් ඒ වගේම ඒවායේ පැවැත්ම පිණිස තිබිය යුතු සුරක්ෂිතතාවයට ප්‍රායෝගිකව මඟපෙන්වූ ශාස්තෘවරයෙක් ලෙස උන්වහන්සේ අදත් අසමසම වනවා. 
 
එවැනි උතුම් ශාස්තෘවරයෙකුගේ ඉගැන්වීම් හා මඟපෙන්වීම් මත ගොඩනැගුණ සංස්කෘතියක් උරුම කරගත් ජාතියක් ලෙස අද අප අන්කවරදාකටත් වඩා පරිසරය පිළිබඳව සංවේදී වියයුතුයි. '' යයි ද කරු ජයසුරිය කියා සිටියේය.
 
 
 
පුදුමයට පත් වු පුවත :
 
එහෙත් අද තත්වය කොතරම් ඛේදජනක දැයි ප්‍රශ්න කල කරු ජයසුරිය, පසුගිය සති අන්තයේ එක් ප්‍රධාන පුවත්පතක පලවූ තොරතුරක් දැක තමා පුදුමයට පත් වු බව ද කියා සිටියේය.
 
''එහි සඳහන්ව තිබුණේ දේශපාලන හිතවතුන් 765 දෙනෙක් පමණ අලුතෙන් වැලි බලපත්‍ර ඉල්ලා ඇති බවයි. එක් ඇමතිවරයෙක් පමණක් වැලි බලපත්‍ර 28ක් ඇණවුම් කර ඇති බව එහි සඳහන් වුණා. එසේ ඉල්ලා සිටින්නේ මේ වනවිටත් දේශපාලකයන්ට හා දේශපාලන හිතවතුන්ට නිකුත් කරඇති විශාල ප්‍රමාණයක් වන වැලි බලපත්‍රවලට අමතරව බව ඉතා පැහැදිලියි. 
 
''අද වනවිට ශ්‍රි ලංකාවේ සෑම පලාතකම, සෑම දිස්ත්‍රික්කයකම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම පාහේ අති දැවන්ත පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. මේවා පිටුපස ඉන්නේ දේශපාලකයන්, නැත්නම් ඔවුන්ගේ කිට්ටුම ඥාතීන් හෝ අනුගාමිකයන්.''
 
''මේ රටේ ඉහළ රාජ්‍ය නිළධාරීන් බොහෝ දෙනෙක් අපට කියන ආකාරයට දැන් ඔවුන්ට ස්වාධිනව රාජකාරී කිරීම දුෂ්කර වී තිබෙනවා.
 
දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු බොහෝ දෙනෙක් අපට ඒ බව කියනවා. 
 
ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු පමණක් නොව දේශපාලන කැචර්ලා පවා අද ඔවුන්ට තර්ජනය කරමින් නියෝග දෙන බව පැවසෙනවා. මෙය ඉතා කණගාටුදායක ප්‍රවණතාවයක්. '' හිටපු කතානායකවරයා සඳහන් කළේය.
 
එයින් පැහැදිලි වන්නේ කුමක්ද? කියා විමසු කරු ජයසුරිය, අද වනවිට අපේ රාජ්‍යකරණ ක්‍රියාවලිය ඉතාමත්ම අවාසනාවන්ත ආකාරයට බිඳවැටී තිබෙන බවත්, රටේ ජනාධිපතිවරයාගේ අවධානය දැන්වත් මේ පිළිබඳව යොමුවිය යුතු බවත් කියා සිටියේය.
 
''එසේ නොවුණහොත් මේ රටට අත්විය හැකි විනාශය අති බරපතල වියහැකියි.'' ඔහු අනතුරු අඟවා සිටියේය. 
 

SIL p02 කුරු ණෑ ගල

''බුවනෙකබාහු රාජ මණ්ඩපය විනාශ කිරීම හා කුරුණෑගල ඉපැරණි උද්‍යානයක තිබූ අවුරුදු සිය ගණනකටත් වඩා ඉපැරණි ගස් විශාල තොගයක් කපා දැමීමට කටයුතු කිරිම මොනතරම් පාප කර්මයක් ද? ''
  
''මෙයට සම්බන්ධ පුද්ගලයා කිසිම බියක් සැකක් නැතුව නීතියට පයින් ගසමින් අදත් ඔහුගේ වැඩකටයුතු කරගෙන යමින් සිටිනවා.
 
රැකගත යුතු රටේ වටිනා පුරාවස්තු මේ ආකාරයට කිසිබියක් සැකක් නැතුව විනාශ කරන්නට දේශපාලකයන්ට හා ඔවුන්ගේ හිතවතුන්ට පුළුවන්නම් මහජන මුදල් වැය කරමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යන්නේ කුමක් සඳහා ද? උසාවි, පොලීසිවලින් ඇති ඵලය කුමක් ද? 
 
අද වනවිට මේ පිරිස රටේ නීතියට, අධිකරණයට මොන තරම් සමච්චල් කරනවාද කුරුණෑගල සිදුවූ මේ විනාශයන්ට වගකිවයුතු පුද්ගලයාගේ දේශපාලන නායකයා කියන්නේ කුමක් ද? 
 
තමන්ගේ ගෝලයාගේ ඇගේ තියෙන මයිල් ගහකට හෝ අත තිබ්බොත් වෙන වැඩේ බලාගන්න පුළුවන් කියලා ඔහු කියා තිබෙනවා. 
 
''ඔහු මෙසේ අභියෝග කරන්නේ මේ රටේ අධිකරණයටයි. පොලීසියට හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. එක රටක එක නීතියක් කිව්වට එහෙම එකක් තියෙනවාද? මේ තත්වය ගැන රජය ලැජ්ජා වියයුතුයි. මේවා තවදුරටත් ඉවසාගෙන සිටින අපත් ලැජ්ජා වියයුතුයි. ''
 
 
අප රට ගමන් කරමින් සිටින දිශාව ???
 
''මාගේ මෙම කතාව අවසාන කිරීමට පෙර ඔබ හමුවේ තවත් එක් දෙයක් සඳහන් කිරීමට කැමතියි. 
 
මා මෙය සඳහන් කරන්නේ අද වනවිට අප රට ගමන් කරමින් සිටින දිශාව ඒ මඟින් හදුනාගත හැකි නිසයි. 
අද ජීවත් වන එමෙන්ම හෙට දවසේ මේ රටේ උපදින දරුවන්ට අනාගතයේ අප උරුම කරන්නට යන කල දසාව ඒ මඟින් හදුනා ගන්නට හැකියි. 
 
පසුගිය දා මා සහභාගී වූ එක්තරා සම්මන්ත්‍රණයකදී එක් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්ද ඊට සහභාගී වී සිටියා ඔහු සිදුකල පර්යේෂණයකට අදාල තොරතුරු එහිදී ඔහු අප හමුවේ තැබුවා. 
 
එයට අනුව ඔහු තෝරාගත් ප්‍රදේශ කිහිපයකට අදාලව ප්‍රාදේශී සභා මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් පිළිබඳ විග්‍රහයකද යෙදුනා. 
 
''එහිදී එම විශ්ව විද්‍යාල ආචාර්යවරයා ඉතාමත්ම වගකීමකින් යුතුව අවධාරණය කල එක් කරුණක් වන්නේ මෑත යුගයේදී මේ රට නියෝජනය කරන එක් බලකාමී දේශපාලඥයෙක් නිසා ප්‍රාදේශීය දේශපාලන තලයද වේගයෙන් කිලිටි වෙමින් පවතින බවයි. '
 
''ඔහුගේ නිරීක්ෂණයට අනුව සෑම ප්‍රාදේශී සභාවකම තෝරාගත් කිහිප දෙනෙකු වෙත දැවැන්ත වරදාන හිමිවෙමින් පවතිනවා. 
 
වැලි පර්මිට්, පස් පර්මිට්, මස් කඩ බලපත්‍ර, කොන්ත්‍රාත්, කඩ කාමර මෙන්ම අරක්කු තැබෑරුම් ද ඒ අතර තිබෙනවා. 
ඒ හරහා ඔවුන්ගේ දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටිනවා.
 
 අද ඇතමුන් තම දේශපාලන බලය පවත්වාගෙන යන්නට හා වර්ධනය කරගන්නට උත්සහ කරන්නේ ඒ ආකාරයටයි. 
තමන්ගේ පටු දේශපාලන බලය වෙනුවෙන් සමස්ත ජාතියම විනාශයට යවන්නට වුනත් ඔවුන් සූදානම්...
 
මේ ජඩ දේශපාලනය නැවැත්විය යුතුයි. නැවැත්වීමට කටයුතු කල යුතුයි. අපගේ මාතෘ භූමිය අද දවසේ ඔබගෙන් ඉල්ලා සිටින්නේ එයයි.'' කරු ජයසුරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
 
  


 

 

 

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

 

සමාජ මතවාදය තේරුම් නොගන්නා කිසිම ආණ්ඩුවකට ගමනක් නැත. - සුරේන් රාඝවන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්