ශ්‍රී ලංකාවේ නිකාබ් තහනම හේතුවෙන් ශ්‍රී ලාංකික සාමාන්‍ය මුස්ලිම්වරුන්ගේ සහ
ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ගේ හැඟීම්වලට ඍණාත්මක බලපෑමක් වන බව ශ්‍රී ලංකාවේ පකිස්තාන තානාපති සාද් ඛට්ටක් කියා සිටියි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපතිවරයා පවසන්නේ COVID-19 වසංගතය හේතුවෙන් මෙරට මුහුණ දී ඇති ආර්ථික අපහසුතා සහ අනෙකුත් අභියෝගතා හමුවේ ආරක්ෂාවේ නාමයෙන් මෙවැනි බෙදීමේ පියවරයන් හරහා රටේ සුළු ජාතීන්ගේ මූලික මානව හිමිකම් අහිමිවීමේ භීතිය තවදුරටත් වැඩි වීම පමණක් සිදුවනු ඇති බවයි.
කෙසේවෙතත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර අද (15) කියා සිටියේ බුර්කාව තහනම් කිරීමට අමතරව, ඇස් හැරුණු විට එය පැළඳ සිටින අයගේ මුහුණ ආවරණය වන නිකාබයද තහනම් කිරීමද කැබිනට් යෝජනාවට ඇතුළත් වන බවයි.
බුර්කාව “ජාතික ආරක්ෂාවට සෘජු බලපෑමක්” බව කියාපාමින් එය මෙන්ම මද්රාසා යනුවෙන් හැඳිවෙන ඉස්ලාමීය පාසල් දහසක් වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර තිබුණි.
මෙසේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමක් තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ආගමික නිදහසට කෙරෙන
බාධාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.
“ආගම හෝ විශ්වාසය ප්‍රකාශයට පත් කිරීමේ සහ ප්රකාශනයේ අයිතිය සහතික කෙරෙන ජාත්‍යන්තර නීතියට බුර්කා තහනම අනුකූල නොවේ,” යි ආගම සහ විශ්වාසයේ නිදහස පිලිබඳ විශේෂ නියෝජිත ආචාර්ය අහමඩ් ෂහීඩ් ට්විටර් මගින් ප්‍රකාශ කර ඇත.
ජිනීවාහි මානව හිමිකම් කොමිසම් සැසිවාරය පැවැත්වෙන මෙවැනි මොහොතක ශ්‍රී ලංකා රජය විසින් මෙසේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමක් තහංචියක් හිටි හැටියේ පැනවීම එතරම් යහපත් නොවනබවත්, මෙමගින් මානව හිමිකම් කොමිසමේ දී පකිස්ථානයේ සහය අහිමිවී යාමේ බරපතල අවදානමක් පවතින බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.
සබැඳි පුවත් :
ලංකාවේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නෑ - රෝහාන් සමරජීව
සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.