බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන පිරිස්
ඇතැයි පවසන සංඝයා වහන්සේගේ ඉල්ලීමක් සම්බන්ධයෙන් සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබේ.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ බෞද්ධ උපදේශක සභාව මාර්තු 19 සිකුරාදා පස්වරුවේ නම වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එම  කමිටුව කඩිනමින් ස්ථාපනය  කළ බවයි.
 
පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේනාධිපති  බලංගොඩ සෝභිත, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී  මැදගම ධම්මානන්ද, රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී  නැදගමුවේ විජයමෛත්‍රී, රජ රට විශ්ව විද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිකාරී  ඊතලවැටුණුවැවේ ඥානතිලක, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, ආචාර්ය  කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේලා  එහි සාමාජිකයන් ලෙස පත් කර තිබේ.
 
බෞද්ධ උපදේශක සභාවේදී භික්ෂුන් වහන්සේලා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානය වන අතර බෞද්ධ ප්‍රතිරූපකයෝ සහ වංචනික භික්ෂු ප්‍රතිරූපකයෝ බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි.
  
පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම්සහගත කුමන්ත්‍රණය වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය බවත් දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මහා සංඝරත්නය අවධාරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
 
එම භික්ෂුන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ සම්බුද්ධ ශාසනය සහ ත්‍රිපිටකය රැක ගැනීමේ මෙහෙවරේ නිරත භික්ෂුන් වහන්සේට මෙම දුර්මතධාරීහු සංවිධානාත්මකව නින්දා අපහාස එල්ල කරමින් සිටින බවයි.
 
ඒ පිළිබඳව කණගාටුව පළ කළ මහා සංඝරත්නය සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන එම වැඩපිළි‍වෙළ කෙරෙහි ද කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබේ.
 
ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද  එහිදී සාකච්ඡා වු බව රජයේ වැඩි දුරටත් නිවේදනය කර ඇත.
 
"පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට කටයුතු කෙරුණු අතර එහි ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණ."
 
බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, විදුර වික්‍රමනායක, විජිත බේරුගොඩ යන රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්විමට එක්ව තිබේ.
 
 
 
 

 

 

The Leader TV

සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?

 

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image