ත්‍රස්තවාදය වැලැක්වීම සදහා බව පවසමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නිකුත් කර තිබෙන

නවතම නියෝගයක් සම්බන්ධයෙන් නීතිවේදීන්ගෙන් සැදුම්ලත් ඉහළම ජාත්‍යන්තර සංවිධානයක්  දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

 
ජිනීවා නුවර මධ්‍යස්ථානය කොට ගත්, හිටපු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්, ප්‍රවීන නීතිවේදීන්, නීති ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත්, ජාත්‍යන්තර නීතිවේදී කොමිසම (ICJ) දැඩි අප්‍රසාදය පළ කර ඇත්තේ, ලංකාණ්ඩුවේ අති විශේෂ ගැසට්ටුවක් මගින් නිකුත් කර ඇති, 2021 අංක 01 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග  සම්බන්ධයෙනි.
 
 මෙම නව නියෝග මඟින් නඩු විභාගයකින් තොරව, හිතූමතේට පුද්ගලයෙක්  වසර දෙකක් දක්වා රඳවා තබා ගැනීමට අවසර ලබා දේ.
 
“මේ නියෝග මගින් සුළුතර ආගමික හා ජාතික ප්‍රජාවන් අයුතු ලෙසින් ඉලක්ක කළ හැකිය” යි ජාත්‍යන්තර නීතිවේදී කොමිසම (ICJ) අනතුරු අඟවා තිබේ.
  
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම නව නියෝග මාර්තු 12 වන දින පෙරකී ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබිනි.
 
 ඔහු එම නියෝග නිකුත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුව මග හැර ජනාධිපති සතු විධායක බලතල පාවිච්චි කරමිනි.
 
මෙම මතභේදාත්මක නියෝග මඟින්, විවිධ ජන කණ්ඩායම් අතර “ආගමික, වර්ගීය නැතහොත් ජාතිවාදී අසංගතිය නැතහොත් දුර්චේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇතිවීමට” හේතුවන වචන නැතිනම් සංඥාවක් භාවිතා කරන බවට සැක කරන පුද්ගලයන් “පුනරුත්ථාපන ක්‍රියාවලියක්” සදහා නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා වූ කාලයකට  “ඒකාබද්ධතා මධ්‍යස්ථාන” වෙත යැවීමට රාජ්‍ය බලය ප්‍රදානය කෙරේ.
ජාත්‍යන්තර නීතිවේදී කොමිසමේ  නීති හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සයිඩර්මන් පෙන්වා දෙන්නේ විධායක ආඥාවක් මගින් පනවන ලද මෙම නියෝග, නඩු විභාගයකින් තොරව රටවැසියන්ව වලංගු සිරගත කිරීමකට ඉඩ සලසන්නක් ලෙසිනි.
 
 එමෙන්ම එමගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීතිමය බැඳීම් මෙන්ම, ශ්‍රී ලංකාව තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ දෙනු ලැබ ඇති ව්‍යවස්ථාමය සහතිකයන්ද අමු අමුවේම උල්ලංඝනය කිරීමක් සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි. 
 
 නව නියෝග විවේචනයට ලක් කරන්නන් පවසන්නේ මෙය පසුගිය යුද සමයේ වූ ඇග කිලිපොලා යන සිදුවීම් යලි මතකයට නංවන්නක් බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රටවැසි දෙමළ ජනතාව අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් මුළුල්ලේ කිසිදු නඩු විභාගයකින් තොරව රඳවා තබන ලදී.
 
ICJ සහ වෙනත් බොහෝ මානව හිමිකම් සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ වාර්තාවන් ද මීට පෙර පවසා තිබුනේ  යුද්ධය අවසානයේ දී හිටපු  දෙමළ කැරලිකරුවන්ව සිටි අය සඳහා ලංකාණ්ඩුව ක්‍රියාත්මක කළ පුනරුත්ථාපන වැඩසටහන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමපාත නොවූ බැවින්, ඔවුන්ව වධහිංසාවලට ලක්වීමේ අනතුරක් පවතින බවයි.
 
 
එසේ වී නමුත්  මතභේදයන්ට තුඩුදුන් මෙකී වැඩ සටහන 'ලෝක පූජිත ත්‍රස්ත පුනරුත්ථාපන වැඩසටහනක්' ලෙස ශ්‍රී ලංකාව විසින් වර්ණනා කර තිබුණි.
 
 මේ වන විටත් සිය ගණනක් දෙමළ සහ මුස්ලිම් රැඳවියන් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජන පවතින බුස්ස, මැගසින්, මහර සහ අනුරාධපුර ඇතුළු කුප්‍රකට රැඳවුම් මධ්‍යස්ථානවල තබාගෙන සිටී.
 
මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙම නව “දැඩි අන්තවාදී” නියෝග දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරණ අතර වාරයේ, බෞද්ධ දේශපාලකයන්ට සහ භික්ෂුන්ට “විෂ වැමෑරීමට සහ අඛණ්ඩව ආගමික වෛරය පතුරුවා හරින්නටත්, ප්‍රජාවන් අතර එදිරිවාදී හැඟීම් ඇති කරමින් නිදැල්ලේ සංචරණය වීමටත් ඉඩ දෙනු ලැබ ඇති” බවයි.
 
ශ්‍රී ලංකාව ද පාර්ශවකරුවෙක් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 9 වැනි වගන්තිය, තමන්ගේ නිදහස අහිමිකරනු ලැබූ ඕනෑම පුද්ගලයෙකුට කාර්ය පටිපාටීමය සහතික ගණනාවක් සපයයි. නමුත් ඒවායින් බොහොමයක් නියෝගයට ඇතුළත් නොවන්නේ යයි ICJ ය පෙන්වා දෙයි .
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව යලි යලිත් තහවුරු කර ඇත්තේ, “මෙවන් රෙගුලාසි යටතේ යෝජනා කෙරෙන පරිපාලනමය රඳවා තබා ගැනීමට අවසර නැති,” බවයි.
 
 මෙම නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට පෙර පවා ICJ ය පෙන්වා දී ඇත්තේ බලධාරීන් සුළුතර ප්‍රජාවන්ට හිංසා පීඩා කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
 
OLD LTTE බාරවූ එල්ටීටීඊ සාමාජිකයින් සඳහා පවත්වා ගෙන ගිය ගුවන් හමුදා පුනරුත්ථාපන කඳවුරක්. (2011) -[ඡායාරූපය: srilankabrief.org]
 
සුළු ජාතීන්ට එරෙහිව වෛරය හෝ ප්‍රචණ්ඩත්වය අවුස්සන අයට එරෙහිව මෙතක් අදාල බලධාරීන් විසින් සුළු හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
 
 ජාත්‍යන්තර නීතිවේදී කොමිසමේ , නීති හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සයිඩර්මන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, මෙම නව නියෝග රජය විසින් කේවල් කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇති බවයි.
 
 එහිදී රැඳවියෙකුට තෝරා ගැනීම් දෙකක් ඇතැයි ඔහු පෙන්වා දෙයි.
 
 එහිදී  වසරක් හෝ දෙකක් අතර කාලයක් ‘පුනරුත්ථාපනය’වීම හෝ රැඳවුම් භාරයේ සිටීම තෝරාගත හැකි අතර , නැතිනම් නීත්‍යානුකූල චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වෙනුවට කෙරෙන අනියත - ඉමක් නොදකින කාල පරිච්ඡේදයක් සදහා වූ නඩු විභාගයක් තෝරාගත හැකි බව ඉයන් සයිඩර්මන්   පෙන්වා දෙයි.
 
 
 
සබැඳි පුවත් :
 
 

 

 

 


 

 

The Leader TV

සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?

 

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ ආණ්ඩුවේ සැබෑ අරමුණ - රොහාන් සමරජීව

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්