ජාත්‍යන්තරය ජය ගනිමින් රට ආරක්ෂා කරගැනීම තමන්ට නොහැකි බව රාජපක්ෂ ආණ්ඩුව
දිනෙන් දින ඔප්පු කරමින් සිටින බව පෙන්වා දෙන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, මේ අර්බුදයෙන් ජයගැනීමට නම්, රටට විද්‍යාත්මක රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් හා රට ඉදිරියට ගෙනයාමේ විධිමත් ප්‍රතිපත්තියක්, උපාය මාර්ගයක් අවශ්‍ය බවද පෙන්වා දෙයි.
 
ජිනීවා පරාජය හා ජිනීවා අර්බුදය ඇතිවීමේ හේතු සාධක පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා අද (24) එබව සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමිනි.
 
ජිනීවා පරාජය මුග්ධ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
 
හමුදාවේ පිරිස් ප්‍රධාන තනතුරුවලට පත්කර අද මේ රටේ ප්‍රධාන ස්ථාන ඉතාම මුග්ධ ආකාරයට මෙහෙයවන බව පැවසු හිටපු ඇමතිවරයා, රණවිරුවන් සහ නාවික හමුදාව සහමුලින්ම ජාවාරම්කාරයෙකුට පාවාදුන් අයකු විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, 87 - 89 භීෂණ සමයේ ප්‍රතිත්‍රස්ත කල්ලි මෙහෙයවීම පිළිබඳව පැහැදිළි චෝදනා තියෙන, ‘ගෝඨාගේ යුද්ධය’ නැමති කෘතිය ලියූ පුද්ගලයා ජිනීවා වල නිත්‍ය නියෝජිතයා ලෙසත් පත්කර ඇතැයි  ද කියා සිටියේය.
 
මුග්ධ සටන්පාඨ වලින්, අවඥා සහගත ක්‍රියාවලින්, නුසුදුස්සන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට යොමුකිරීම මඟින් ජීනීවා අර්බුදයෙන් ජයගත නොහැකි බවත්, මෙවර ජිනීවා පරාජයෙන් එය මනාව ඔප්පු වූ බවත් ඔහු පවසා සිටියේය.
 
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙසේද සඳහන් කළේය.
 
 
'රටක් හැටියට ලබාගත් බරපතල රාජ්‍ය ත්‍රාන්ත්‍රික පරාජයක්'
 
 
''ජිනීවා මානව හිමිකම් යෝජනාවලියෙන් ශ්‍රී ලංකාවට පරාජයක් අත්ව තිබේ. මේක ආණ්ඩුවේ පරාජයක් පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව රටක් හැටියට ලබාගත් බරපතල රාජ්‍ය ත්‍රාන්ත්‍රික පරාජයක්.
 
මෙහි ප්‍රතිඵල ආණ්ඩුවට පමණක් නෙවෙයි අපේ රටේ සියළුම ජන කණ්ඩායම්වල ජනතාවට අනාගතයේදී ලැබෙන්න නියමිතයි.
 
අපේ විදේශ ඇමතිතුමා මේක විස්තර කරනවා, ජිනීවා මානව හිමිකම් කොමිසමේ බහුතර ඡන්දය ලබාගන්න බැරිවීම නිසා බහුතරය ලංකාව එක්ක හිටියාය කියල. ඒ වගේ මෝඩ කතා වලින් තව දුරටත් ශ්‍රී ලාංකිකයො රවටන්න උත්සහ කරනවා. 
 
මේක දිනේෂ් ගුණවර්ධන මහත්තය වගේ අත්දැකීම් බහුල පිලිප් රොබට් ගුණවර්ධන වැනි සටන්කාමී උරුමයක් සහිත නායකයෙක්ගෙ පුත්‍රයෙක් හැටියට ලැජ්ජා විය යුතු තත්ත්වයක්. ඔහු ඉතාම අසාර්ථක විදේශ ඇමති කෙනෙක් බව ඉතාමත්ම පැහැදිළියි. 
 
 Dinesh Gunawardena
''විදේශ අමාත්‍යවරයා අසාර්ථකයි. ලැජ්ජා විය යුතුයි.''
 
 
 
ඔහු කළ කිසිම සක්‍රිය දායකත්වයක් මේ මානව හිමිකම් යෝජනාවලිය සම්බන්ධයෙනුත්, ඒ වගේම පසුගිය කාලයේ කොරෝනාවලින් අපේ ජනතාව දස දහස් ගණනින් අනාත වෙච්ච අවස්ථාවෙදිත් අපිට පෙණුනෙ නෑ. 
 
විශේෂයෙන්ම ඔහුගේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ රාජ්‍ය තාන්ත්‍රික මුග්ධ ක්‍රියාවලිය නතර කිරීමට ඔහුට ලැජ්ජාවක් නොතිබුණු බවත් ප්‍රකාශ කරන්න ඕන.
 
 
 
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ???
 
ඒ වගේම මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් හැටියට පෙන්වන්න උත්සහ කරන අයත් ඉන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අපට පසුව පලස්තීනය සම්බන්ධයෙන් වූ යෝජනාව පලස්තීනය ජය ගත්තා.
 
 කියුබාව වැනි රටකට එරෙහිව මෙවැනි යෝජනවාක් කිසිම අවස්ථාවක සම්මත කරන්න නොහැකි බව අපි දන්නවා. 
 
ඒ මොකද ඒ අය කිසියම් අකාරයකට සදාචාරාත්මක අතින් ලෝකය විවිධ රටවල බටහිර රටවල්, පෙරදිග රටවල්, අප්‍රිකානු රටවල්, ලතින් ඇමෙරිකානු රටවල් අතර පිළිගැනීමකට ලක්වෙලා තිබෙන නිසා. 
 
අපිට ඒ පිළිගැනීම නොමැතිවීම තමයි ප්‍රධාන ප්‍රශ්නය. 
 
අඩු තරමින් බටහිරට ගැති නොවිච්ච යුක්‍රේනය, මෙක්සිකෝව වැනි රටවල ඡන්ද අපට ලබාගන්න අපට නොහැකිවුණා පමණක් නොවෙයි, නේපාලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල්වල ඡන්දය අපට ලබාගැනීමට නොහැකිවීම දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික පරාජයක් හැටියටයි අපිට නම් දැනෙන්නේ. 
 
මෙහි කිසිම අධිරාජ්‍යවාදයක් නැහැයි කියල අපි ප්‍රකාශ කරන්නෙ නෑ. බටහිර රටවල් කවදත් මෙවැනි දෑට දක්ෂයි, 
 
නමුත් එය පරාජය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට තිබියදීත් ආණ්ඩුවේ නොහැකියාව, ඒ වගේම විදේශ අමාත්‍යාංශයේ නොහැකියාව, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිවල නොහැකියාව විසින් මෙය සිදුවූ බවයි ප්‍රකාශ කරන්න වෙන්නෙ.
 
 Ranil Mangala
'' මේ දෙන්නා කිසිම සාකච්ඡාවක් ආණ්ඩුවේ නායකයින් එක්කවත් කැබිනට් මණ්ඩලය එක්කවත් කළේ නෑ. ''
 
 
සමහරු මේක පැරණි යහපාලනයට ගැටගහල තියෙනවා. 
 
යහපාලනයට මෙහි සම්බන්ධය තමයි 2016 දි මේ යෝජනා ගෙනාවිට යහපාලනය, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාත්, මංගල සමරවීර මහතාත්  ඒ යෝජනාවල සම අනුග්‍රාහකයෙක් බවට පත්වුණා. 
 
ඒ සඳහා ඔවුන් කිසිම සාකච්ඡාවක් ආණ්ඩුවේ නායකයින් එක්කවත් කැබිනට් මණ්ඩලය එක්කවත් කළේ නෑ.  
 
හිතුමතේට ගත්ත දෙයක්. 
 
ඒ මඟින් ඔවුන් ලබාගත්ත විශේෂ වාසියකුත් නෑ. ජාත්‍යන්තරයේ හිත දිනාගැනීමට කියල ගිහිල්ල ජාතිකමය වශයෙන් ආණ්ඩුවට තිබුණු ප්‍රතිරූපය දැවැන්ත විදියට බිඳ වැටිල රණවිරුවන් පාවා දෙනවාය කියන මුද්‍රාව අපේ ආණ්ඩුවට තබල ඒ ආණ්ඩුව බිඳ වැට්ටවීමට පළමු වෙඩි මුරය තබපු එක තමයි ඒකෙන් සිද්ධ වුණේ. 
 
 
 
''ඔවුන් කරපු දේකුත් අගය කරන්න ඕන''
 
කෙසේ නමුත් ඔවුන් කරපු දේකුත් අගය කරන්න ඕන. ඒ තමයි ශ්‍රී ලංකාව වට කරල තිබුණෙ, විදේශ බලවේග 2014 වන විට. ඒ බලවේගවලට ඉඩ නොදී ඇමෙරිකා එක්සත් ජනපදයේ GSP සහනය, යුරෝපා සංගමයේ GSP + සහනය යනාදිය දිනා ගන්නත් අවුරුදු 05 ක් මේ ප්‍රශ්නය කාපට් එක යට හංගල තියන්නත් ඔවුන් සමත් වෙච්ච බව රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෞරවයට හේතුවන බව පමණක් ප්‍රකාශ කරන්න ඕන. 
 
කෙසේ නමුත් ඒ සඳහා වූ එක්සත් ජාතික පක්ෂයේත්, යහපාලන ආණ්ඩුවේත්, යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවගේත් ප්‍රාර්ථනාවන් බිඳ දමන්නට දේශීය වශයෙන් කටයුතු කළා කියන එක අමතක නොකළ යුතුයි.
 
 
''රාජපක්ෂ රජය යුද්ධය ජයගත්තාට, ජාත්‍යන්තරය ජය ගැනීමට ප්‍රතිපත්තියක් හෝ උපාය මාර්ගයක් තිබුණේ නෑ.''
 
 
දැන් මේකට හේතු සාධක මොනවාද ? 
 
# මේකට ප්‍රධාන පළමු හේතුව ආණ්ඩුවට යුද්ධය ජය ගත්තාට රාජපක්ෂවරුන්ට ඒ යුද්ධය දේශපාලන ජයග්‍රහණයක් බවට ශ්‍රී ලංකාව තුළ හෝ විදේශ රටවල සමස්ථයක් ලෙස ලබාගන්නට ප්‍රතිපත්තියක් නොමැති වීමත්, උපාය මාර්ගයක් නොමැතිවීමත්ය. 
 
 
# විටින් විට හම්බන්තොට පැරණි දේශපාලනය, විතාරන්දෙණියේ උක්කුවා, ජූලම්පිටියේ අමරේ සමඟ කළා වාගේ දේශපාලනයක් ජාත්‍යන්තර ප්‍රජාවත් එක්කත් කරන්න පුළුවන් බව සිතීම. 
 
 
# ඒ වගේම යුද්ධය කාලයේ පෙන්වපු ආක්‍රමණශීලී අවේගශීලී ක්‍රියාදාමය මේ සාමය ඇති වෙච්ච කාලවකවානු වල ජාත්‍යන්තරවත් කරන්න පුළුවන් කියල සිතපු සිතුවිල්ල. 
 
 
# ඒ වගේම ජාත්‍යන්තර ක්‍රියාවලිය විසින් ජාතික දේශපාලනයේ තමන් ජාතිය රකිනා පිරිසක් බවට ඉහළට ගමන් කර මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා මෙය යොදාගත හැකියි කියන එකට ලබාගත්ත කෙටිකාලීන මග. 
 
 
මෙන්න මේ මුග්ධත්වය සහ විධිමත් උපාය මාර්ගයක් උපක්‍රමයක් නොවීම, ප්‍රතිපත්තියක් නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් රාජපක්ෂවරුන්ගේ.  
 
මට මතක් වෙනවා මේ විදේශ ක්‍රියාවලියේ සිදුවෙච්ච පුංචි පුංචි වැරදි මහා බරපතල බවට පත්වෙන්න ගිය ඒවා පිළිබඳ උදාහරණ කිහිපයක්. 
 
 
එකක් තමයි ඉන්දියාවේ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවකදි 2009 මැයි මාසෙ ඉන්දියාව අපිට යෝජනා කළා යුධ මුක්ත කලාපයක් පිළිබඳ යෝජනාවක්. ඒ යෝජනවා ඒ කාලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන් දෙනෙක් පත්කරල තිබුණා. ලලිත් වීරතුංග මහත්මය, ගෝඨාභය රාජපක්ෂ මහත්මය, බැසිල් රාජපක්ෂ මහත්මයගෙ මූලිකත්වයෙන්. ඔවුන් තමයි මේ යෝජනවා ලංකාවට ගෙනාවෙ. ඒ යුධ මුක්ත කලාපයේ ඒ තිබුණු ඛණ්ඩාංක ස්ථාවර දේවල් හැටියට තමයි එකඟවෙලා ආවෙ. ඇත්තටම අපි ඒ අවස්ථාවෙදි එහි තිබිච්ච වැරැද්ද පෙන්වලදීම විසින් ලලිත් වීරතුංග මහත්මය ඒක නිවැරදි කරන්න ක්‍රියාකළා. නැත්නම් ඒ යුධ මුක්ත කලාපයට වෙලා අද වෙනතෙක් ප්‍රභාකරන් ජීවත්වෙනවා.
 
මේ වගේ ඉතාම මූලික කාරණාවල පවා දැනුවත්භාවයක් රාජපක්ෂවරුන්ට නොතිබිච්ච බව පමණක් ප්‍රකාශ කරන්න ඕන. 
 
තව කාරණයක් තමයි ඒ අවස්ථාවේදී විශාල රාජ්‍යතාන්ත්‍රික පීඩනයක් ප්‍රභාකරන් ගලවාගැනීම සඳහා කළා. ඒ පීඩනය විදේශවල ඉඳන් මෙහෙයවුවේ කුමාරන් පද්මනාදන්. ඇමෙරිකානු මැරීන් හමුදාව මෙරටට ගොඩබැස්සාය කියන ආරංචියකුත් පැතිරී ගියා, ඒක සත්‍යයක්. ඇමෙරිකන් තානාපතිවරයා සහ එවකට එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ලේකම්වරයා බැන්කී මූන් ලංකාවට පැමිණියා. මහින්ද රාජපක්ෂ මහත්මය පොඩි උපක්‍රමයක් කරල රටින් ගියා. නමුත් ඔහු ආපසු පැමිණි පසු ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුමේ මේ වගවීම කියන ක්‍රියාදාමයට මහින්ද රාජපක්ෂ මහත්මය යුධ ජයග්‍රහණයෙන් පස්සෙ 2009 මැයි මාසෙදිම එකඟ වුණා. 
  Rajapaksa 1200x550
''වගවීම යන්නෙහි තේරුමවත් නොදැන රාජපක්ෂ ආණ්ඩුව අත්සන් ගිවිසුම නිසා තමයි මෙම ප්‍රශ්නය ඇදි ඇදී යන්නෙ''
 
 
 
අද දක්වාම මේ ප්‍රශ්නය පැන නැගිල තියෙන්නේ මෙන්න මේ වගවීම කියන වචනයේ තේරුම හරියට නොදැන මේකට අත්සන් කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ආණ්ඩුවයි. ඒක තමයි අද දක්වාම ගලාගෙන එන්නෙ.
 
අපේ රටේ ජනතාවට, හරක් මරණ එක නවත්වනවා අපි, ළමයි පන්සල් යැවීම අනිවාර්ය කරනවා අපි, ආදාහනය පමණයි කරන්නෙ අපි, වගේ දේශපාලන විජ්ජාවන් පෙන්වල ඡන්දෙ ලබාගත්තට විදේශ රටවල් සම්බන්ධයෙන් එවැනි තුට්ටුදෙකේ දේශපාලනය වලංගු වෙන්නේ නෑ. 
 
 
 
 
පොලිස් සහ ඉඩම් බලතල සහිත 13+ 
 
ඒ වගේම එම අවස්ථාවේ ජිනීවාල වල ආපු එම යෝජනාව පරාජය කිරීම සඳහා ලංකාවට හැකියාව ලැබුණේ ඉන්දියාවේ සහයත් ලැබුණු නිසයි.
 
 එතැනදි ඉන්දියාවට පොරොන්දු වුණා 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන බවත්, පොලිස් සහ ඉඩම් බලතල සහිතව 13+ දෙන බවත්. 
 
දැන් මේ 13+  කතාව අපි මහින්ද රාජපක්ෂ මහත්මයගෙන් ඇහුවට පස්සෙ එතුමා ඒ කාලෙ කිව්වෙ මම සෙනෙට් මන්ත්‍රණ සභාවක් ඇති කරන්න යනවයි කියල. 
 
නමුත් මේ 13+ කියන එකෙන් අදහස් වෙන්නෙ 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය එනම් පෙඩරල් වර්ගයේ විසඳුමකට සූදානම් වෙන බව තමයි ඉංග්‍රීසි තේරුම අනුව ඕන කෙනෙකුට තේරෙන්නෙ. 
 
‘13 සහ’ කියන විදියට ආවනම් තමයි අර සෙනෙට් මන්ත්‍රණ සභාව යෝජනා විය යුත්තේ. එහෙමනම් ඒක පාර්ලිමන්ට් + වෙනව මිසක් 13+ විය හැකි නැහැ.
 
 
''ඉතිං මෙන්න මේ වගේ සමහර වදන් පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව රටේ රාජ්‍ය නායකයා කරපු ප්‍රකාශ අපට බරපතල විදියට බලපෑවා.සියළුම බලතල සහිතව පළාත් සභා පිහිටුවන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වෙලා තමයි ඡන්ද 29 ක් අරගෙන අපි එදා ජයග්‍රහණය කළේ. මේව ඉටු කළේ නෑ. ඒත කමයි ප්‍රශ්නය. ''
  
වගවීම පිළිබඳ කාරණා ඉටු කළෙත් නෑ, ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දීපු 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවාය කියන එක කළෙත් නෑ. මොකද ලංකාවට ඇවිල්ල කිව්ව පළාත් සභා ක්‍රමය අහෝසි කරල රටේ ඒකීය භාවය ආරක්ෂා කරනව කියල තමයි සිංහල ජනතාවට ප්‍රකාශ කළේ.
 
 
 
පට්ටපල් මිත්‍යාවක් 
 
ඒ විතරක් නොවෙයි ගත්ත සමහර ප්‍රායෝගික පියවර. උදාහරණයක් විදියට කොටි සංවිධානයේ සාමාජිකයන් 12,000 කට අධික ප්‍රමාණයක් නිදහස් කිරීම, ඉතාම කෙටි කාලීන බලාපොරොත්තු සහිතව ගෝඨාභය රාජපක්ෂ මහත්මය කරපු දෙයක්. 
 
ඔවුන් බහුතරයකට හමුදා බුද්ධි අංශය හරහා පඩි ගෙව්වා. ඔවුන් බලාපොරොත්තු වුණා දෙමළ දේශපාලනය මේක හරහා පාලනය කරන්න පුළුවන් කියල. ඒක පට්ටපල් මිත්‍යාවක් බව පසුව පෙණුනා. 
 
මේකත් හරියට තවුහිද් ජමාත් ව්‍යාපාරයේ සහරාන් ඇතුළු පිරිසට පඩි ගෙවල මුස්ලිම් දේශපාලනය පාලනය කරන්න පුළුවන් කියල ගෝඨාභය රජපක්ෂ මහත්මයා සහ අපේ බුද්ධි අංශ නායකයෝ විශ්වාස කළා වගේම තවත් මුග්ධ ක්‍රියාවලියක්. 
 
ඒ වෙනුවට විධිමත් උපාය මාර්ගයක් සහිතව ජාත්‍යන්තර ප්‍රජාවටත් එන්න කියල එය පවත්වගෙන ගිය පරණගම කොමිසම, එහෙමත් නැත්නම් සත්‍ය සෙයාගැනීමේ LLRC කොමිසම, ඩෙස්මන්ඩ් සිල්වාගේ වාර්තාව, මේ යනාදී සියල්ල එකට කැටි කරල සියළු ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ දෙපැත්තටම සමාව දීල, කොටි සංවිධානයේ සාමාජිකයන් සියළු දෙනා නිදහස් කරල, ආරක්ෂක අංශවල සියලුදෙනාමත් නිදහස් කරල රටේ යම් දේශපාලන තුලනයක් විධිමත්ව, ජාත්‍යන්තරව ඇතිකරගත්ත නම්, රාජපක්ෂ රජයට එවැනි උපාය මාර්ගයක් තිබුණ නම් මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. 
 
මේක උපාය මාර්ගයක් උපක්‍රමයක් නැතිව විටින් විට ප්‍රශ්න ඇතිකරගැනීම තමයි වෙන්නෙ. 
 
Imran Gotabaya
මේ මෑත කාලීනම උදාහරණය තමයි ඉම්රාන් ඛාන් මහත්මයා එනකම් මිනී පෙට්ටි පුච්ච පුච්ච, දේහයන් වලල වලල රටට කරපු බොරුවත්, ජාත්‍යන්තරයට කරපු බොරුවත්. මේවා අතේ පත්තු වුණාම දේශපාලන වශයෙන් නන්නත්තාර වීම සිද්ධ වෙනවා.
  
දෙවනුව මේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය පරාජය කළාට පස්සෙ අනුගමනය කළ ක්‍රියාදාමය. මොකක්ද කළේ ? දේශපාලනමය වශයෙන් මිනිස්සු මර්ධනය කළා. දේශපාලනමය වශයෙන් හිටපු ඇතැම් පිරිස් ඝාතනය කළා. ඇතැම් මාධ්‍ය මධ්‍යස්ථාන ගිනි තිබ්බා. (සියත, සිරස) විවිධාකාරයේ මර්ධනකාරී පාලනයක් ගෙනිච්චා. 
 
ඒ මර්ධනකාරී පාලනයේ දිගුවක් මේ 2019 නොවැම්බර් 16 න් පස්සෙත් දියත් කළා. ඇත්ත වශයෙන්ම හමුදාවේ විවිධ පිරිස් පත් කරල මේ රටේ ප්‍රධාන ආරක්ෂක ස්ථාන සහ අනෙකුත් ස්ථාන වලට ඉතාම මුග්ධ ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවත් පොලීසියත් මෙහෙයවගෙන යනවා.
 
අද මේ රටේ CID ය අර හිට්ලර්ගේ ගෙස්ටාපෝව වගේ දේශපාලන පළිගැනීම් මධ්‍යස්ථානයක් බවට පත්කරල තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය, යුක්තිය පසිඳලීමේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවාවල ස්වාධීනත්වය, මැතිවරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය 20 වන සංශෝධනය මඟින් සහමුලින්ම උදුරගෙන තිබෙනවා. 
  
අපි ජීවත්වෙන්නෙ හුදෙකලා රටක නෙවෙයි. මේ ත්‍රස්තවාදය පරාජය කළාට පස්සෙ රාජපක්ෂවරුන්ගේ හැසිරීම විසිනුත් කිසිම ආකාරයක සහජීවනයක්, සාමකාමී ස්වරූපයක්, මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකිරීමක් දකින්න ලැබෙන්නෙ නෑ. මෙන්න මේක ඉතාමත් බරපතල තවත් දෙවැනි හේතුවක්.
 
3 1
විදේශ අමාත්‍යාංශයේ ලේකම්
 
 
තුන්වනුව පත්කරන ලද පුද්ගලයින්. විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඔහු අද ඇමතිට ඉහළින් ඉන්න පුද්ගලයෙක්. ඔහු එක්තරා කාලෙක මේ රටේ නාවික හමුදාවේ තිබුණු වැදගත් ව්‍යාපාරයක් උදුරගෙන නාවුක හමුදාවේ ප්‍රතිපත්ති පුද්ගලික අංශයේ ජාවාරම්කාරයෙකුට විකුණල ඔහුගෙන් පඩි ලබපු කෙනෙක්. 
 
ඒ වගේම ඒ ජාවාරම්කාරයටම දහස් ගණන් අපේ අහිංසක ශ්‍රමිකයන් නිරෝධායනය හරහා හම්බු කරන්න දීපු ජාවාරම්කාර හවුල්කරුවෙක්. ඔහුට රණවිරු පදක්කම නෙවෙයි ලැබිය යුත්තේ. ඇත්තටම ඔහු ඒ රණවිරුවන් විශේෂයෙන්ම නාවික රණවිරුවන් සහ නාවික හමුදාව සහමුලින්ම ජාවාරම්කාරයෙකුට පාවාදීපු කෙනෙක්. 
 
ඔහු වැනි කෙනෙක් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පත්වෙලා, ඒ විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ඇමෙරිකා එක්සත් ජනපදයට අභියෝග කරනවා, ඒ වගේම කිසිම ආකාරයක රාජ්‍යතාන්ත්‍රික නොවන ක්‍රියාදාම මඟින් ගිහිල්ල රාජ්‍ය තාන්ත්‍රික නිල දරුවන් හමුවෙනවා, නොදන්නා දේවල ප්‍රකාශ කරනවා. මෙවැනි දෑ මඟින් රට බරපතල හෑල්ලුවකට ලක්කළා.
 
20144140gossiplanka
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රප්‍රේම 
 
 
ඒ විතරක් නෙවෙයි ජිනීවා වල ඉන්න අපේ නියෝජිතයා. ජිනීවා වල ඉන්න අපේ නියෝජිතයට 87 – 89 භීෂණ කාලයේ ප්‍රති ත්‍රස්ත කල්ලි මෙහෙයවීම පිළිබඳව පැහැදිළි චෝදනා තියෙන පුද්ගලයෙක්. ඔහු ඒව ප්‍රතික්ෂේප කරල නෑ, ඔහු කිසිම ආකාරයකට මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියකට සුදුස පුද්ගලයෙක් නෙවෙයි. 
 
ඔහු ලිව්වා කෘතියක් ‘ගෝඨාගේ යුද්ධය’  එහෙමත් නැත්නම් ‘Gota’s War’ කියල. ඒ කෘතියේ ඔහු සඳහන් කරල තියෙනවා ඉතාම කෙටි වර්ග කීලෝමීටර් කිහිපයක අවකාශයකට ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මෝටාර් හා කාලතුවක්කු ප්‍රහාර එල්ල වුණාය පුදුමාතලන් ප්‍රදේශයේ කියල. 
 
මේක බලන ඕන කෙනෙකුට තේරෙනවා අහිංසක මිනිස්සු ලක්ෂ තුනක් හිටපු තැනකට මෙවැනි ප්‍රහාරයක් එල්ල කළහම සිදුවෙන්න පුළුවන් මානව හිමිකම්වල විශාල කඩවීම්. 
 
 
දහස් ගණන් මරාදැමුවාය කියන චෝදනාව සත්‍යාපනය කරන කෘතියක් තමයි ‘Gota’s War’ නමින් සී.ඒ චන්ද්‍රපේම මහත්තය ඉදිරිපත් කළේ.
  
ඉතිං මේ වගේ අයද මේ වගකීම් විරහිත විදියට සාමාන්‍ය රටේ ජනතාව චූන් කරන්න පොත් ලියල, ප්‍රතිත්‍රස්ත කල්ලි එක්ක එකතුවෙලා රටේ මානව හිමිකම් දරුණුවටම කඩකරපු පිරිස් තමයි ජිනීවා වල ගිහින් ඉන්නෙ. 
 
ඔහුට කිසිම ආකාරයක හමුවීමක්, කිසිම රටක් ලබාදීමට කැමති වෙන්නෙ නෑ. මොකද ඔහුගේ පැටිකිරිය හොඳින් දන්න නිසා. 
 
මේ වගේ තමන්ගෙ හිතවතුන්, මාධ්‍ය හිතුවතුන්, තමන්ගේ ජාවාරම්කාර හිතවතුන් විදේශ අමාත්‍යාංශයට දාල එහෙම නැත්නම් විදේශ ප්‍රතිපත්ති ප්‍රබල ලෙස තීරණය කරන ජිනීවා වැනි තැන්වලට දාල.
 
 ඉන්දියාවට මේ වන තෙක් මාස  15 ක් අපට තානාපති කෙනෙක් නෑ. පත්කළ තානාපති තාම කොළඹ. 
 
මෙවැනි තත්ත්වයන් එක්ක කොහොමද අපි මීට වඩා දෙයක් බලාපොරාත්තු වෙන්නෙ. ආණ්ඩුවට කිසිම ප්‍රතිපත්තියක් හෝ සැලසුමක් තිබුණෙ නෑ, තිබුණෙ උද්දච්ච කමයි, අවේගයයි, මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච අතිශය ආඩම්බරකාරී ක්‍රියාදාමය සහ මේක කොහොමද හම්බන්තොට දේශපාලනය වගේ දකුණේ දේශපාලනය ජයග්‍රහණයට යොදාගන්නේ. රණවිරුවෝ විදුලි පුටුවට ගෙනයනවාය කියල ඒ ගෝෂාව මඟින්.
 
 
ඒ වගේම නැවතත් ප්‍රකාශ කරන්න ඕන ආණ්ඩුව යුධ ජයග්‍රහණයෙන් පස්සෙ කරපු හැසිරීම කිසිසේත්ම ඔවුන්ගේ අතීත ක්‍රියාදාමයෙන් ඔවුන් වෙන් වුණාය, ඔවුන් දැන් මේ රටේ සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය මිනිස් නිදහස වෙනුවෙන් කැප වෙනවාය කියන එක ඔප්පු කරන සුළු එකක් නෙවෙයි. ඒ වගේම ඔවුන් මේ සඳහා තෝරගත්ත පිරිස් අතිශය වැරදි පිරිසක් තමයි ඔවුන් මේ රට නියෝජනය කරන්න තෝරගත්තෙ. ඇත්තටම මේ ආණ්ඩුවට තිබුණෙ විපක්ෂයයි ආණ්ඩුවයි දෙකම එකට එකතුවෙලා අපි මුහුණ දෙන්න මේ අභියෝගයට. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් කලාපීය සහයෝගීතාවය ඇති කරගෙන අපි මුහුණ දෙන්න මේ අභියෝගයට. ආසියාවේ සහයෝගීතාවය දිනාගෙන, ලතින් ඇමෙරිකාවේ, අප්‍රිකාවේ සහයෝගය දිනාගෙන කටයුතු කරන්න. එවැනි කිසිම සහයෝගීතාවයක් ඇති කරගත්තෙ නෑ. ඔවුන් සිතුව මේ රටවල් දෙක තුනක් එක්ක ඔවුන්ගේ පවතින සමීප සබඳතාවය විසින් අපට පුළුවන් මේව ජයග්‍රහණය කරන්න.
 
ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන්න ඕන පාකිස්තානයට, චීනයට, රුසියාවට, අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ මොනතරම් අපි සිදුකරගත්ත අත්වැරදි මත වුණත් අප වෙනුවෙන් පෙනී සිටීම ගැන.
 
 
 
දැන් මොකක්ද අනාගතයේ වෙන්න යන්නේ ? 
 
''GSP, GSP+ සහනය අහිමිවීම, ධීවර ක්ෂේත්‍රයට හා ඇඟළුම් ක්ෂේත්‍රයට දැඩි බලපෑම් ඇතිවිය හැකියි.''
   
සැප්තැම්බර් මාසයේ නැවත වතාවක් මේ යෝජනවා එන්න ඉඩ තියෙනවා. මීට වඩා දරුණු විදියට එන්න තියෙනවා. මේ කාලය තුළ මොනවද සිදුවිය හැක්කේ ? 
 
අපි දන්නවා කළින් අවස්ථාවේ සිදුවෙච්ච දේ. ඒ තමයි අපිට යුරෝපා සංගමයට තිබුණු GSP + සහනය නැතිවීම. ඒ වගේම ඇමෙරිකා එක්සත් ජනපදයේ GSP සහනය නැතිවීම. 
 
මේ මගින් අපේ අපනයන වලට දරුණු මරු පහරක් එල්ලවෙන්න නියමිතයි. 
 
විශේෂයෙන්ම මත්ස්‍ය වෙළෙඳාම විවෘත වීම නිසා අපට මත්ස්‍ය ටොන් 20,000 ක් පමණ විදේශවලට විකුණල රුපියල් බිලියන 18 ක් පමණ උපයගන්න තිබුණු අවස්ථාව අපේ ධීවර ක්ෂේත්‍රයට, ඒ වගේම අපේ ප්‍රධානම ඇඟළුම් ක්‍රියාවලියට හානි වෙන්න පුළුවන්. 
 
මොකද ඇඟළුම් වලින් තාමන් 50% කට අධික ප්‍රමාණයක් තියෙන්නෙ යුරෝපා සංගමයෙත් එක්සත් ජනපදයෙත්. එනිසා බොරු වාගාඩම්බර, ඇමෙරිකන් විරෝධී සටන් පාඨ, ලෝස් ඇන්ජලීස් වල පදිංචි පුරවැසියන් විසින් නැගුවාට අප බරපතල අනතුරකට ඒ පැත්තෙන් යනවා.
 
 
 
බරපතල ආර්ථික අර්බුදයක් අභියස !
 
ඒ වගේම අද අපේ රට විදේශ ණය ගෙවාගන්න බැරුව දරුණු ලෙස විදේශ ණය ශ්‍රේණිගත ආයතන විසින් පහළට හෙළමින් තියෙනවා. ඒ තත්ත්වයට මේ ක්‍රියාදාමයත් දරුණු ලෙස බලපානවා. මේ වසර තුළ මේ විදේශ ණය ගෙවාගැනීමේ දරුණු කුණාටුවට, දරුණු අර්බුදයට ලක්වෙලා ඉන්න ලංකාවට මේක තවත්  එල්ලවෙච්ච මරු පහරක්.
 
ඒ වගේම අපේ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙන, දැනටමත් ඔවුන්ට වීසා බලපත්‍ර ලබාදීම ආදිය  පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. තව ප්‍රශ්න  මතුවෙන්න පුළුවන්.
 
 ඇත්තටම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා 99.9% ක් මේ යුද්ධය ව්‍යාපාරයක් කරගත්තෙ නෑ. මේ යුද්ධය හරහා මානව හිමිකම් කඩකරන්න කටයුතු කරේ නෑ. මේ යුධ ජයග්‍රහණයෙන් පස්සේ කිසිම අහිංසක දෙමළ මිනිහෙකුට හානියක් කළේ නෑ ජයග්‍රාහකයො හැටියට.  ඉතාම විශිෂ්ඨ අන්දමින් ඔවුන් ඒක කළා. 
 
සුළු පිරිසක් වැරදි කළා. ඒ පිරිසට දඬුවම්දීම සිදු කළෙත් නෑ. ඒ වගේම ත්‍රස්තවාදයේ ඉහළම නායකයින්  කුමාරන්  පද්මනාදන් වැනි අය රැකගැනීමට අප කටයුතු කළා. ඒ නිසා අපේ ප්‍රතිපත්ති ගරුක භාවයක් මේ රණවිරුවන් සම්බන්ධයෙන් තිබුණෙ නෑ. 
 
ඒ නිසා අපේ ආරක්ෂක අංශ පිළිබඳව, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම පිළිබඳව ඔවුන්ගෙ ඒකට අපේ සම්පූර්ණ දායකත්වය, තව මෙවැනි යෝජනා කොපමණ ප්‍රමාණයක් ආවත් අපි ආරක්ෂා කරගත යුතුයි.
 
හැබැයි අපි එකක් දැනගත යුතුයි. ජත්‍යන්තර දිනා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහත්මයා කළා වගේ, ඔවුන් කියනා කියනා දේ සිදුකරලා ජාත්‍යන්තරයත් දිනාගත නොහැකි බව ඔප්පු වුණා. 
 
ඒ වගේම මුග්ධ සටන් පාඨ වලින් අවඥා සහගත ක්‍රියාවලින්, නුසුදුස්සන් මේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට යොමුකිරීම මඟින් මෙය කළ නොහැකි බව දිනෙන් දින රාජපක්ෂවරු ඔප්පු කරමින් තිබෙනවා. 
 
මේ සඳහා රටට අවශ්‍යයි විද්‍යාත්මක රාජ්‍ය තාන්ත්‍රික භාවයක්. ඉදිරියට ගෙනයන ක්‍රියාවලියක්. ඒ සඳහා වෙච්ච ක්‍රියාදාමයක්. නැත්නම් මෙහි ප්‍රතිඵල අපේ මුළු රටට ම අනාගතයේ ලැබෙන්න නියමිතයි.
 

 


 

The Leader TV

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්