සන්නද්ධ කණ්ඩායමක් විසින් වධහිංසාවට ලක් කළ මාධ්‍යවේදී සුජීව ගමගේ රෝහලෙන් රැගෙන ගොස් රඳවා තබා ගන්නා ලෙස
නියෝග කරන ලද්දේ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයෙන් බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් පවසා තිබේ.
 
''මේ වැඩෙන් ජනාධිපතිතුමයි, ආණ්ඩුවයි අපහසුතාවයට පත් වුණා. දැන් මේක කොහොමත් නතර කරන්න අපිට බෑ. සූජීව ව ඉස්පිරිතාලෙන් අරන් ගිහින් තියාගෙන ජනාධිපතිතුමාව අපහසුතාවයට පත් කිරීම ගැන හොයලා බලන්න කියලා ජනාධිපති කාර්යාලයෙන් අපිට නියෝග කරලයි තියෙන්නේ,'' යි කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා විසින් සුජීව ගමගේ ගේ ඥාතීන්ට දන්වන ලද බව මාධ්‍යවේදියාගේ බිරිඳ කියා සිටියාය.
 
''ඒඑස්පී නෙවිල් ද සිල්වා මට කතා කරලා දොස් කිවුවා. 'සූජීව කරන්නේ බොරුවක්. ඒකෙන් ජනාධිපතිතුමාට අපහාසයක් වුණා. ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයෙන් අපිට දෙන නියෝග අනුවයි අපි වැඩ කරන්නේ ' කියලා ඔහු මට කිවුවා,'' යි නයනි ගමගේ ජේඩීඑස් හා ප්‍රකාශ කළාය.
 
Nevi de silvaසහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, මාධ්‍යවේදි සූජීව ගමගේ ගේ බිරිඳට මෙන්ම ඔහුගේ සහෝදරයකුට ද දුරකතනය ඔස්සේ කිහිප විටක්ම කතා කර තිබුණි. සිදු වූ හිංසනය ජනමාධ්‍ය සහ නීතිඥයන්ට දැනුම් දීම පොලිස් නිලධාරියාගේ කෝපයට හේතුවී තිබේ.
 
''මොකටද මේක මීඩියාවලට ලීක් කළේ? ඇයි ලෝයර්ලා ගෙනාවේ? පාඩුවේ හිටියනම් මේක ගොඩින් බේර ගන්න තිබුණා''යි සහකාර පොලිස් අධිකාරිවරයා කියා තිබේ.
 
සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, සුජීවගේ බිරිඳට දුරකතනයෙන් කතා කරලා දොස් පැවරුවේ යැයි තමන්ටද සැළ වූ බව නීතිඥ නාමල් රාජපක්ෂ ද ජේඩීඑස් වෙත තහවුරු කර සිටියේය.
 
"සූජීව කරන්නේ බොරුවක් - ඒකෙන් ජනාධිපතියි, ආණ්ඩුවයි අපහසුතාවයට පත්වුණා, ඒ නිසා ඒ ගැන ජනාධිපති විමර්ශන ඒකකයේ නියමයන්ට අනුව සුජීව ව රඳවා ගන්න බවටත් නෙවිල් ද සිල්වා කියලා තියෙනවා,'' යැයි නීතිඥ නාමල් රාජපක්ෂ ද ප්‍රකාශ කළේය.
 
''ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයෙන් ලැබෙන නියෝගයකට යටත්ව පරීක්ෂණ කරනවා කියන්නේම මේ පරීක්ෂණ සිදුවෙන්නේ ජනාධිපති කාර්යාලයේ අධික්ෂණයට යටත්ව කියන ඒක නේද?'' යි නීතිඥ රාජපක්ෂ විමසීය.
  
සන්නද්ධ පිරිසකගේ අඩස්සියේදී දරුණු වධහිංසාවන්ට පාත්‍රවීමෙන් අනතුරුව සත් දිනක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සූජීව ගමගේ, නීවසට යෑමට සුදානම් වන විට රෝහලට පැමිණ ඇති කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් දෙදෙනෙක්, ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග කැටුව ගොස් තිබුණේ ' නෙවිල් සර් අරන් එන්න කිවුවා' යැයි පවසමිනි. සවස 5.30ට පමණ අපරාධ කොට්ඨාශයට රැගෙන ගිය සුජීව පළමුවෙන් භාරදී ඇත්තේ පොලිස් පරීක්ෂක ලසන්ත නම් අයකුට ය.
 
 
 
කිඹුල් කතා
 
''ආ උඹද අනෙක් කිඹුලා. දැන් ඉතින් අපි කියන විදිහට ඇත්ත කියපන් '' යනුවෙන් එම පොලිස් පරික්ෂක තමන්ට කී බව සුජීව ගමගේ ජේඩීඑස් හා කියා සිටියේය.
 
එම නිලධාරියා තර්ජනය කර ඇත්තේ පොලිසියට අවශ්‍ය ආකාරයට කටඋත්තරයක් දෙන ලෙස බල කරමිනි.
 
''උඹේ ඇත්ත නෙමෙයි බන්. අපි කියන ඇත්ත කියපන්. නෙවිල් සර් ඇවිත් ඇත්ත එළියට ගනී' කියලත් එයා මට කිවුවා,"යි ඔහු කීය.
 
සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා විසින් සුජීවගෙන් ප්‍රශ්න කොට 'තමන්ට උවමනා ඇත්ත' එළියට ගැනීම සඳහා නිලධාරින් සිවු දෙනෙකුට භාර දී තිබේ. 
 
ඒ පොලිස් පරීක්ෂක ලසන්ත, ජයනෙත්ති සහ තවත් දෙදෙනකු වෙත ය. 
 
කොළඹ අපරාධ කොට්ඨාශයේ ඉහළ මහලේ සිදුකෙරුණු එම ප්‍රශ්න කිරීම මධ්‍යම රාත්‍රියේ දි අවසන් වී තිබෙන්නේ නෙවිල් ද සිල්වාට අවශ්‍ය පාපොච්චාරණය කිරීමට සුජීව ගමගේ එකඟ වීමෙන් අනතුරුව ය. ඒ අනුව ඔහු විසින්ම බෙල්ලට සහ මුහුණට පහර දී ගනිමින්, අත් සහ පපුව ද පුළුස්සා ගත් බවත්, කිසිවකුත් තමන්ව පැහැරගෙන නොගිය බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.
 
Dujeewa Gamageඔහු එම බොරු සාක්කියට අත්සන් කිරීමට එකඟ වී ඇත්තේ සිය බිරිඳ හා දරුවාගේ ජීවිතයට අනතුරක් වීම වළක්වා ගැනීමට හැකි වනු ඇතැයි යන විශ්වාසයෙනි.
 
සාධාරණ සමාජයක් සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රකාශක සුනිල් ජයසේකර විසින් කැඳවන ලද රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී සුජීව ගමගේ පෙන්වූ වෛද්‍ය වාර්තාවල දැක්වෙන පරිදි ඔහුගේ පිළිස්සුම් තුවාල සම විනිවිද අතුළටම ගොස් ඇතිබව පෙනේ.
 
''අපරාධ කොට්ඨාශයට අරන් ගිය වෙලේ ඉඳන් දිගටම මම කිවුවේ මට ඇත්ත කියන්න ඉඩ දෙන්න, ඔය ගොල්ලෝ මට කියන්න කියලා බල කරන ඒවා නෙමෙයි ඇත්ත කියලායි. මම එහෙම කියද්දි 'අපි කියන දේ මිසක් උඹ කියන දේ ඇත්ත කියලා ලියන්න තරම් අපිට පිස්සු නෑ . ඒ හින්දා තවත් මේක දුර දිග ගෙනියන්න ඕනේ නැත්නම් උඹේ ගෑණියි, ළමයයි ගැන හිතලා උත්තර දීපන්' කියලා මට කිවුවා. අන්තිමට ඒ අය කියන දේට එකඟ වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ,'' යි ගමගේ ජේඩීඑස් හා කියා සිටියේය.
 
''කොළ පහක්, හයක් වගේ පිරෙන්නට ලියාගෙන මට කිවුවා 'දැන් හරි. ඉතුරු සෙල්ලම් පස්සේ. දැන් අත්සන් කරපන් කියලා'. මම කියවලා බලන්න ඉල්ලද්දි, ' මොකටද බන් කියවන්නේ, ඇයි උඹ නඩු යනවද? මෙතන වැඩ වෙන්නේ අපිට ඕනේ විදිහට මිසක් මෙතන්ට කුදලාගෙන අරන් එන එවුන්ට ඕනේ විදිහට නෙමෙයි' කියලා මට තර්ජනය කරා''.
 
බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබාගන්නා බවට CCDයට මෑතදී චෝදනා එල්ලවූ පළමු අවස්ථාව මෙය නොවේ.
 
මිනී මැරුම් චෝදනා යටතේ මරණීය දණ්ඩනය නියමිව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධනට පක්ෂව සාක්ෂි ලබා දෙන්නැ යි කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා අවස්ථා කිහිපයකදීම තමන්ට බලපෑම් කළ බව රහස් පොලිසියේ හිටපු උප පොලිස් පරික්ෂක සුගත් මෝහන මෙන්ඩිස් ද සිය නීතිඥ චමින්ද අතුකෝරල මගින් අධිකරණය හමුවට මීට ඉහතදී පැමිණිලි කර තිබුණි.
  
''එතැන තිබුණ තත්ත්වයන් අනුව, ඒ ගොල්ලෝ මට බෝම්බයක් භාර ගන්න කිවුවත් මම භාර ගන්නවා,'' යි ඇප ලැබීමෙන් අනතුරුව පවත්වන ලද මාධ්‍ය හමුවේදි සුජිත් ගමගේ හැඟිම්බරව පාවසා සිටියේ ඔහු විසින් ව්‍යාජ රංගනයක් කරන බව ඒත්තු යන අයුරින් දිගින් දිගටම ප්‍රශ්න අසන ලද කොළඹ මාධ්‍යකරුවන්ට පිළිතුරු වශයෙනි.
 
 
 
බොරු සාක්ෂි ගොතන පොලිස් ප්‍රකාශක:
 
 
Ajith Rohanaපොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගිය 19වන දින පවත්වන ලද මාධ්‍ය හමුවේදි පැවසුවේ පැහැර ගැනීමක් සහ වධහිංසා පැමිණ වීමක් පිළිබඳව සුජීව ගමගේ විසින් කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ය.
 
''ඔහු 9 වැනිදා රාත්‍රි ඔහුගේ නිවසේදි මේසන් හැන්දකින් තමා විසින්ම පුළුස්සා ගත් බව අනාවරණය වී තිබෙනවා. මේ තියෙන්නේ ඒ මේසන් හැන්ද. මේ පුද්ගලයාව දැනට අත්අඩංගවට ගනු ලැබුවා, ඔහු අසත්‍ය පැමිණිල්ලක් කළ බැවින්. මාධ්‍යවේදියෙක් පැහැරගෙන යාම ගැන රජයට එරෙහිව චෝදනා කරමින් පුවත් පළ වී තිබුණා . කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් මේ පිළිබඳව විමර්ශනයක් පවත්වනවා. ජීනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන මේ අවස්ථාවේ මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම ගැන අඛණ්ඩව සොයා බලනවා"යි ඔහු කීය.
   
නමුත් ජේඩීඑස් විසින් කරන ලද සොයා බැලීම්වලදි දැන ගන්නට ලැබුණු පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් පවසා තිබුණේ විකෘති කරන ලද තොරතුරු ය. 
 
සුජීව ගමගේ තමන් විසින්ම පුළුස්සා ගෙන ඇති බව පරීක්ෂණවලින් සනාථ වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කියා සිටියද නිසි විමර්ශනයකින් පසු නිගමනය කළ යුතු වෛද්‍යමය සහ අනෙකුත් සාක්ෂි පොලිස් මාධ්‍ය ප්‍රකාශක මුලින් පවසන්නේ කෙසේ දැයි ගැටළුවක් පැන නගී. 
 
එහිදී, සුජීව ගමගේ තම ශරීරය පුළුස්සා ගැනීමට යොදාගත් බව පැවසෙන මේසන් හැන්දක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාධ්‍ය නියෝජිතයන් හමුවේ ප්‍රදර්ශනය කරන ලදි. 
 
සුජිව ගමගේ තමන් විසින්ම පුළුස්සා ගත්තේ නම් පොලිසිය දක්වන කරුණු අනුවම එම මේසන් හැන්ද නඩු භාණ්ඩයක් බැව් පැහැදිලි ය. 
 
පොලිසිය හෝ අධිකරණය භාරයේ තිබිය යුතු විභාගවෙමින් පවතින නඩුවකට අදාළ නඩු භාණ්ඩයක් මාධ්‍ය හමුවකට රැගෙන ඒමට පොලිස් ප්‍රකාශකවරයාට ඉඩ ලැබුණේ කෙසේද යන්න ගැටළු සහගත ය.
 
 
 
නෙවිල් ද සිල්වාගේ මේසන් හැන්ද !
 
මේසන් හැඳි කතාවක් නිර්මාණය කොට සුජීව විසින් ලබා දී තිබෙන පාපොච්චාරණයට ද එය ඇතුළත් කො‌ට තිබෙන්නේ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා විසිනි.
 
''නෙවිල් ද සිල්වා මට කිවුවා,' දැන් හරි, අනම් මනම් වැඩක් නෑ. උඹ පුච්ච ගත්තේ ගෙදර තිබුණු මේසන් හැන්දකින් කියලා කියපන්' කියලා. එහෙම ලිවුවට පස්සේ ආයෙම කිවුවා කොළඹ එනකොට ඒක ගිරිඋල්ල පාලමෙන් ගඟට දැම්මා කියලත් කියන්න කියලා. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ, මම ඒ විදියටම කිවුවා. එහෙම කියලා තමයි මාව ගෙදරට ගෙනාවේ. එහෙම අරන් එනකොට අයිපී ලසන්ත පාලම ළඟින් ෆොටෝ ගත්තා. මට හිතුනා මාව ඟඟට දායි ද කියලාත්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙන්නපු මේසන් හැන්ද මගේ නෙමෙයි. ඒක එයාලගේ එකක්. මේ හැම දෙයක්ම මම උසාවියට කියනවා.'' මාධ්‍යවේදියා ප්‍රකාශ කර සිටියේය.
 
''මගෙන් ප්‍රකාශ ගන්නකොට අපරාධ කොට්ඨාශයේ ඇතුලේ ඉඳන් දෙන්නෙක් සැරින් සැරේ බොහෝම අවධානයෙන් බලනවා මම දැක්කා. ඒ දෙන්නා හැඩ රුවින් මට වධ හිංසා කරපු හතර දෙනා අතර සිටි දෙන්නෙක් වගේමයි. '' සුජීව දැඩිව කීය.
 
 
 
පිළිස්සුම් තුවාල:
 
තමන් පුළුස්සා දැමීමට පෙර බැනියමක් තම කටට එබු බවද ඔහු කියා සිටියි.
 
“මාව පිච්චුවේ තහඩු පටි දෙකකිනුයි, සාක්කුවේ දාගන්න පුලුවන් රෙදි මදින්න ගන්න පුංචි ඉස්තිරික්කයක් වගේ එකකිනුයි,” සුජීව ගමගේ වැඩිදුරටත් පැවසීය.
 
මේ අතර, නීතිඥ නාමල් රාජපක්ෂ විසින්ද දිගින් දිගටම අවධාරණය කරනු ලබන්නේ අපරාධ කොට්ඨාශය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ඉදිරිපත් කරන තොරතුරු සත්‍ය ඒවා නොවන බව ය.
 
''සුජීව ගමගේ ගේ මුහුණ දුන් බිහිසුණු තත්වයේ සත්‍යය අපි අධිකරණය හමුවට ඉදිරිපත් කරනවා,'' ඔහු කීය.
 
''අපරාධ කොට්ඨාශය කියන්නේ මිනිසුන්ගෙන් ප්‍රකාශ ලබා ගනිද්දි ඉතාම අත්තනෝමතිකව සහ දරුණු ලෙස ක්‍රියාකරන ආයතනයක්,'' යැයි ද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී නීතිඥ නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
 
කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය ඉදිරිපත් කළ කරුණු අධිකරණය විසින් පිළිනොගැනීම නිසා සුජීව ගමගේට ඇප ලැබුණු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
Namal Rajapaksha
සුජීව ගමගේ වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ පෙනී සිටියි.
 
 
 
 TID ඉල්ලීම යළි අහකට
 
මේ අතර මාධ්‍යවේදී සුජීව ගමගේ පැහැර ගැනීම සහ වධහිංසා පැමිණවිම පිළිබඳ නඩු විභාගය පසුගිය 25 දින යළි කැඳවනු ලැබූ අවස්ථාවෙහිදී, ඔහුව අත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ලෙස ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රති–ත්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.  
 
සුජීව ගමගේ ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බවත්, ඔහු විසින් පුවත්පත් සාකච්ජාවක් පවත්වා තවදුරටත් මාධ්‍යට කතා කිරීම වළක්වන ලෙසත් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රති–ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් බැහැර කරන ලදී.
 
තමා පැහැරගත් කණ්ඩායම මාසයක් පමණ කාලයක් තමා පසුපස පැමිණ තිබූ බවත්, සිය පුතා ඇද සිටි ටී ෂර්ට් එක පවා දැන සිටි බවත් සුජීව ගමගේ එම පුවත්පත් සාකච්ජාවෙහිදී ප්‍රකාශ කළේය.
 
සිය පුතා කෑලි කෑලිවලට කපා දමන බවත්, සිය බිරිඳගේ ගෙල කපා මරා දමන බවටත් තර්ජනය කළ බවත් ඔහු එහිදී කියා සිට අතර අධිකරණය හමුවෙනි සියළු විස්තර හෙළිකරව් කරන බවත් පැවසිය. 
 
 
(උපුටා ගැනීම් - © JDS : jdslanka.org)
 

 


 

 

 

 
 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්