පිළිකා කාරක විෂ රසායන අඩංගු පොල්තෙල් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවට පසුගිය දිනවල මතුවූ ආන්දෝලනයට අදාළව සඳුදා (මාර්තු 29) ප්‍රකාශයක් කළ ප්‍රමිති ආයතනය, එම පොල්තෙල් වල විෂ රසායනික
ඇතැයි දෙවෙනි පරීක්ෂණයෙන් ද තහවුරු වූ බව කීය.
මේ අනුව, අදාළ පොල්තෙල් තොගයෙන් යම් ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත්වී ඇත්නම් ගන්නා පියවර කුමක්දැයි විමසා බැලීමේදී ඊට ප්‍රතිචාර දැක්වූ සමුපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රට පුරා ඇති පොල්තෙල් නියැදි එක්රැස් කර විෂ රසායනික අඩංගු පොල්තෙල් වෙළෙඳපොළට මුදා හැර ඇතිදැයි සොයා බැලීම ආරම්භ කළ බව බවය.
පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙහි පොල්තෙල් සාම්පල තුළ පිළිකා කාරක විෂ රසායනික අන්තර්ගත බව හඳුනා ගත බැවින් එම පොල්තෙල් නැවත අපනයනය කරන ලෙස නිර්දේශ කළ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
යම් හෙයකින් ආනයනකරුවන් එම ආනයනය කළ පොල්තෙල් ප්‍රමාණය ම ප්‍රති අපනයන නොකළහොත්, යම් ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත්කර හෝ පිරිපහදු කර ඇතිනම් අදාළ ආනයනකරුවන්ට විරුද්ධව නීතිය මගින් ක්‍රියා කරන බව සමුපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
"මේ වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිස්ත්‍රික්කයකින් නියැදි පහ ගණනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රට පුරා ඇති වෙළෙඳසල්වලින් පොල්තෙල් නියැදි 125ක් මේ වන විට එකතුකර පරික්ෂාවට භාජනය කරලා තියෙන්නේ," යනුවෙන් ඔහු බිබිසී සිංහල සේවයට පැවසීය.
මේ වන විට පවතින නීතිය අනුව සාම්පල එක්කර වාර්තාව පැමිණෙනතෙක් රේගුවෙන් භාණ්ඩ තාවකාලිකව මුදාහරින බව කී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම නීතිය ඉදිරියට වෙනස් කරමින් සාම්පල පරික්ෂාවට ලක්කර වාර්තා නිකුත් කරන තෙක් අදාළ භාණ්ඩ රේගුවෙන් මුදානොහැරීමට තීරණය කළ බවකි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් පෙබරවාරි මස දිනකදී මුලින්ම අදාළ ආනයනික පොල්තෙල් සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒවායේ "ඇෆ්ලටොක්සින්" නමැති විෂ රසායනිකය ඉහළ ප්‍රතිශතයකින් අන්තර්ගත බවට මාර්තු 4 වන දින තහවුරු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඒවා නැවත අපනයනය කරන ලෙස දැනුම්දීමෙන් අනතුරුව සාම්පල නැවතත් පරීක්ෂා කරන ලෙස අදාළ ආනයනික සමාගම් ඉල්ලීම නිසා කළ දෙවෙනි පරීක්ෂණයෙදී ද අදාළ පිළිකා කාරක අඩංගු බව හෙළි වී ඇතැයි ඔහු සඳහන් කළේය.
ඒ අනුව අදාළ පිරිපහදු නොකළ පොල්තෙල් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරිය.
"අද තමයි අපිට දෙවන වතාවට ගත්ත පොල්තෙල් සාම්පල් වල රීසල්ට්ස් ආවේ ඒ අනුව දෙවෙනි නියැදිවලිනුත් ෆේල් කියලා දැනුම් දුන්නා. එතකොට අපි ඒ පිළිබඳව නිර්දේශයක් දෙනවා රේගුවට ප්‍රති අපනයනය කරන්න කියලා. මම ඒකට අදාළ නිර්දේශ රේගු අධ්යක්ෂ ජනරාල්තුමාට දැනුම් දුන්නා," යනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් අචාර්ය සිද්ධිකා සේනාරත්න මාධ්‍ය හමුවේ පැවසීය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ අදාළ සමාගම් මෙම පොල්තෙල් වෙළෙඳපොළට මුදාහැර ඇතිනම් දැඩි දඩ මුදලක් අයකළ හැකි අතර ඉන් ඔබ්බට ගොස් අදාළ සමාගම්වලට එරෙහිව දැඩි දඩුවම් පැමිණවිය යුතු බවය.
"අපේ ස්ටෑන්ඩර්ඩ් එකේ තියෙන්නේ ලිමිට් එක මයික්‍රෝ ග්‍රෑම් 10ක් එක කිලෝ ග්‍රෑම් එකකට, එත් මේවායේ තුන් ගුණයකින් වගේ වැඩියි. ඔක්කොම 33, 34 වගේ තමයි තිබ්බේ," යනුවෙන් අචාර්ය සිද්ධිකා සේනාරත්න පැවසීය.
රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසුවේ සමාගම් තුනක් පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 1.8ක් ආනයනය කර ඇති අතර එම ප්රශ්ණගත පොල්තෙල් ප්‍රතිඅපනයනය කරන ලෙස අදාළ සමාගම් තුනට දැන්වීමට තමන් කටයුතු කළ බවය.
මේ වන විටත් රේගු නිලධාරීන් විසින් අදාළ සමාගම් වල ඇති පොල්තෙල් තොග පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ඔහු වැඩිදුරටත් කීය.
දේශීය පොල්තෙල් කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයක:
මේ අතර දේශීය පොල්තෙල් කර්මාන්තය මේ වනවිට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව එම කර්මාන්තයේ නියුතු ඇතැම් දෙනා පෙන්වා දෙති.
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු මංජුල දිල්ෂාන් බීබීසී සිංහල සේවයට පැවසුවේ දැනට රටේ පවතින කොප්පරා හිගයත් සමග දේශීය පොල්තෙල් කර්මාන්තය බිඳ වැටී ඇති බැවින් රටේ පොල්තෙල් මිල ඉහළ යාමේ තර්ජනයක් පවතින බවකි.
එසේ වුවත් පොල්තෙල් සම්බන්ධයෙන් දැන් මතු වී ඇති අර්බුදය හමුවේ දේශීය පොල්තෙල් වලට ඉල්ලුමක් ඇතිවීමත් සමඟ එම කර්මාන්තය නගාසිටුවිය හැකි බව ද ඔහු කියා සිටියේය.
ඒ සඳහා ගත හැකි පියවරක් ලෙස කැබලි කළ පොල් මෙරටට ආනනයනය කිරීමට රජය කටයුතු කළ යුතු බව ද සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු මංජුල දිල්ෂාන් වැඩිදුරටත් කියා සිටියේය.
(BBC සිංහල සේවය)
THE LEADER TV
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා?
බෙල්ල දෙන්න එන ප්රවෘත්ති අධ්යක්ෂ ?