කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින
තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
 
 එම ලිපිය මගින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ  රදවාගෙන සිටින අහ්නාෆ් ජසීම් (Ahnaf Jazeem) ට මීයකු සපාකා ඇති බව සිය සංගමය වෙත වාර්තා වී ඇති බවයි.
 
 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමසීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ වෙත මාර්තු 29 දින යොමු කළ එම ලිපිය මගින් මාධ්‍ය සංවිධානය  පෙන්වා දී ඇත්තේ, පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරින් වර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ පරිදි  නීතීඥ හිජාස් ඔමාර් හිස්බුල්ලාගේ සිද්ධියට අදාලව 2020 මැයි 16 වැනි දා අහ්නාෆ් ජසීම් සාහිත්‍යධරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විටත් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින බවයි.
 
"මෙම තරුණයා තමා විසින් රචනා කරන ලද කවි ඇතුළත් කර ‘නවරසම්’ නමින් පොතක් මුද්‍රණය කර තිබෙන අතර තරුණයා අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ එම පොත ‘සේව් ද පර්ල්’ සංවිධානයට අයත්යැයි කියන ස්ථානයක තිබී සොයා ගැනීමය."
  
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සදහන් කරන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇති පරිදි ‘සේව් ද පර්ල්’ නම් සංවිධානයේ සම්බන්ධීකරණ වැඩ කටයුතු සිදු කළ බව කියන අංක 152, 04 වන හරස් වීදිය, අල් මනාර්, කල්පිටිය, පුත්තලම ලිපිනයේ පදිංචි සාවුල් හමීඩ් මොහොමඩ් සුල්තාන් නම් පුද්ගලයා 2020 මැයි 03 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ තිබී 'නවරසම්' නම්  මෙම පොත සොයාගෙන ඇති බවයි.
 
 "අනතුරව රහස් පොලිසිය මදුරන්කුලියේ ඇති බව කියන 'සේව්ද පර්ල්' ආයතනයේ තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා එහි තිබූ නවරසම් පොතේ පිටපත් 19ක් සිය බාරයට ගෙන ඇත. 
 
Nawarasam Poam
නවරසම් කාව්‍ය සංග්‍රහය
 
මදුරන්කුලියේ ගොඩනැගිල්ලට යාබදව පිහිටි 'ස්කූල් ඔෆ් එක්සලන්ස්' නම් පාසලේ ඉගැන්වීම් කටයුතු කර ඇති බව කියන අනාෆ් ජසීම් (මොහොමඩ් ජසීම් මොහොමඩ් අහ්නබ්) මෙම 'නවරසම්' පොත රචනා කර ඇති අතර රහස් පොලිසිය විසින් මන්නාරම, සිලාවතුර, පණ්ඩාරවේලි ප්‍රදේශයේ අංක 57/2 නිවසෙහි පදිංචි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2020 මැයි 16 වැනිදාය."
 
රහස් පොලිසිය එලෙස වාර්තා කළ ද දැනගන්නට ඇති පරිදි එම පොත් සොයාගෙන ඇත්තේ අදාල ස්ථානයෙන් නොව තරුණයා ජීවත් වන ගම් ප්‍රදේශයෙන් බවයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසන්නේ.
  
ගමේ පල්ලියට ගොස් නවරසම් පොත ඇති අය බාර දෙන ලෙස කළ නිවේදනයක් අනුව එම පොත අතැතිව සිටි පිරිස පොත ගෙනැවිත් බාරදී ඇති බව දැනගන්නට තිබෙන බව එම සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සඳහන්ය.
 
එම දෙමළ කවි පොතෙහි අන්තවාදී අදහස් ඇතැයි ලෙස ඔහු රඳවා තබා ගැනීම යුක්ති සහගත කරමින් පොලිසිය කියා සිටියත් සැබවින්ම එහි අන්තවාදයට විරුද්ධ කවි තිබෙන බව තරුණ ජනමාධ්‍යවේදියෝ අවධාරණය කරති.
 
"එම පොතේ තිබූ කවි මෙන්ම ඔහු විසින් රචනා කළ වෙනත් කවි ද අධ්‍යයනය කිරීමේදී අපට පෙනී ගියේ ඔහු අයි. එස් විරෝධී කවි රැසක් රචනා කර ඇති බවයි. යුද්ධයට එරෙහිව සහ සාමය ගැන ද ඔහු කවි ලියා තිබේ. කාව්‍ය සාහිත්‍ය අතින් ඉහළ තැනක තිබෙන මෙම බොහෝ කවි අන්තවාදයට එරෙහි කවි වීම විශේෂත්වයකි."
 
 
මෙම පොතෙහි තිබෙන කවිවලින් ළමා මනසට හානියක් වේද යන්න පිළිබඳව  රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් කැඳවන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබු බව පෙන්වා දෙන මාධ්‍ය සංවිධානය මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇත්තේ, මෙහි මරණින් මතු ජීවිතය ගැන සඳහන් කවි ද තිබෙන අතර, ඒවා ළමා මනසට අහිතකර බවට කිහිප දෙනකු අදහස් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇති බවයි.
 
 
 
බුද්ධාගමේත් එහෙමමයි:
 
බෞද්ධ සාහිත්‍යයේ ද මරණින් මතු ජීවිතයක් ගැන කතා කරන අවස්ථා දහම් පාසල් පොත්වල සහ පාසල් පොත්වල ද ඇතුලත් බව පෙන්වා දෙන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කරන්නේ, එසේ තිබිය දී දමිළ භාෂාවෙන් ලියන ලද මෙවැනි සාහිත්‍ය පොතක් සම්බන්ධයෙන් එහි කර්තෘ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගැනීම කිරීම බරපතල ප්‍රශ්නයක් ලෙසිනි.
 
 මෙම තරුණයා මුණ ගැනීමට නීතීඥවරුන්ට ද අවස්ථාව ලබා දී නැති බවද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබේ.
  
Ahnafඅහ්නාෆ් ජසීම් තරුණ කවියා මුලින් අත්අඩංගුවට ගත්තේ 'නවරසම්' පොතේ අන්තවාදී සිදුවීම් තිබීම නිසා බව කීව ද දැන් ඔහුට එරෙහිව වෙනත් විමර්ශනයක් පවත්වාගෙන යන අතර, මහේස්ත්‍රාත් ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට ඔහුට බලපෑම් කරන බවත් දැනගන්නට ලැබී ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
 
මේ කරුණුවල සත්‍යාසත්‍යතාවය කඩිනමින් සොයා බලන ලෙසත්, මෙම තරුණයා හිංසනයට ලක්වී ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන ලෙසත්, ඉදිරියේදී හිංසනයකට ලක් නොවීමට මෙන්ම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට අදාල නිර්දේශ කඩිනමින් පොලිස්පතිට, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂට සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට නිකුත් කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යාවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.
 
 "සාහිත්‍යට ලැදි, කලාකාමී, අන්තවාදයට විරුද්ධ මෙවැනි තරුණයන් නිරපරාදේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් සිදුවන්නේ ඔවුන් නිරායාසයෙන්ම අන්තවාදයට තල්ලු කිරීමකි."
 
 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තකුටම භාෂණයේ නිදහසහ සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකමක් පවතින පවතින බව පෙන්වා දෙන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසන්නේ  එය ‘නවරසම්’ පොතේ කර්තෘටද එලෙසින්ම අදාල බවයි.
 
"ඔහු සාහිත්‍ය කෘතියක් රචනා කිරීම නිසා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි."
 
අහ්නාෆ් ජසීම් තරුණ කවියා  2020 මැයි මාසයේ සිට රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටින බැවින් මේ ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.
 
 එම ලිපියේ පිටපත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සියලුම කොමසාරිස්වරුන්, පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති, නීතිපති  සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙතද යොමු කර තිබේ.

 

 


 

 

 

THE LEADER TV 
 

 

රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්