පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් විනාශයට පත් දේවස්ථාන තුනෙන් දෙකකම අනුස්මරණ මෙහෙය
රජයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි තුළ සිදු කරද්දී, නැගෙනහිර ජනයාට තුලම මිය ගිය තම සමීපතමයන් සිහි කරමින් දේව මෙහෙය පවත්වන්නට සිදුව ඇත්තේ දෙවසරකට ඉහතදී නටබුන් වු දේවස්ථානය තුලමය.
බෝම්බ ප්‍රහාර හේතුවෙන් විනාශ වු කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය හා කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නාවික හමුදාව යොදවා කඩිනමින් පිලිසකර කළත්, දැඩි ලෙස විනාශ වු මඩකලපුව සියොන් දේවස්ථානය වසර දෙකක් යනතුරුත් ප්‍රතිසංස්කරණය නොවීම ප්‍රදේශවාසි බැතිමතුන්ගේ දැඩි හිත් වේදනාවට තුඩු දී තිබේ.
දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් 2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියේය.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී බෝම්බ පිපිරීම් සිදු වුයේ පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.
පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන ඊයේ (21) දිනයේ ශ්‍රී ලංකාව පුරා විවිධ ආගමික කටයුතු සහ දෙවර්ෂ පූර්ණ සිහිකිරීමේ උත්සව පැවැති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
ඒ ආගමික උත්සව පැවැති ස්ථාන අවට දැඩි ආරක්ෂාවක් යොදාවා තිබියදීය.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ඇතුළු වන ස්ථානයේ මියගිය පුද්ගලයන්ගේ ඡායාරූපවලින් තැනූ ආරුක්කුවක් දක්නට ලැබිණි. (BBC)
කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ඊයේ දින (අප්‍රේල් 21) පැවති කිතුණු ආගමික මෙහෙය.
කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආගමික මෙහෙය.
කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ ප්‍රහාරයෙන් මියගිය අයගේ නම් සටහන් සමරු ඵලකය.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කරමින් පාර්ලිමේන්තුවේ ඊයේ පෙරවරුවේ විනාඩියක නිහඬතාවක් ද පළ කරන ලදී.
මඩකලපුව සියොන් දේවස්ථානයේ රොෂාන් මහේෂන් පාලක පියතුමා පෙන්වා දෙන පරිදි වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වීමෙන් පසු එම දේවස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතු සම්පුර්ණයෙන්ම ඇන හිට තිබේ.
"2019 නොවැම්බර් වලින් පස්සේ මේක හදාගෙන යන්න සල්ලි ආවේ නැ. ආන්ඩුවෙන්. ඒ නිසා තමයි හදන් නැතුව තාම මේ විදිහට තියෙන්නේ."
බාගෙට කොන්ක්‍රීට් රාමු ගසා ඇති දේවස්ථානයේ කඩා බිඳ වැටී ඇති බිත්ති සහ පොළොවද එහිගිය මාධ්‍යවේදීන්ට දැකගන්නට හැකිවිය.
පූජාව මෙහෙයවනු ලැබුවේද ගඩොලින් උඩට නංවා තිබූ පස් ගොල්ලක් මත ලෑලි ගසා අටවා ගත් මල් ආසනයක් තබාගෙනය.
බහුතරයක් දෙමළ බැතිමතුන් දේව මෙහෙයට සහභාගි වූයේ වැඩ නිම නොකළ බිත්ති වලට මැදිවූ කැඩී බිඳී ගිය දූවිලි ඇවිස්සෙන පොළොවේ සිට ගනිමිනි.
පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ මඩකලපුව සියෝන් දේවස්ථානය
එම දේවස්ථානයේ වර්තමාන තත්වය සොයා බැලීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු නියෝජිතයන් දෙදෙනකු අප්‍රේල් 20 අඟහරුවාදා දේවස්ථානය වෙත ගොස් තිබුනි.
ඔවුන් දෙදෙනාද දෙපසින් සිටියදී රොෂාන් මහේෂන් පාලක පියතුමා ජනමාධ්‍ය වෙත වැඩි දුරටත් පවසා තිබුනේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් භාණ්ඩාගාරයේ ඇතැයි කී මුදලෙන් ලැබී ඇත්තේ හයෙන් පංගුවටත් අඩු කොටසක් පමණක් බවයි.
"මේක ගොඩ නගන්න මිලියන 37 ක් වෙන් කරලා තියනවා කියලා කිව්වා ට්‍රෙෂරි එකේ. ඒකෙන් අපි හිතන විදිහට හමුදාවට මිලියන හයක් විතර තමයි ඇවිල්ලා කියලා මම හිතනවා. "
මියගිය බැතිමතුන්ගේ ඡායාරූප සහිත බැනරයක් සියොන් දේවස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුනි. ඒ අතර මියගිය දරුවන් 14 දෙනකුගේ ඡායාරූප ද වේ.
මඩකලපුවේ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඡායාරූප සහිත බැනරයක් ප්‍රහාරය එල්ල වූ සියොන් දේවස්ථානය ඉදිරියේ ප්‍රදර්ශනය කර තිබේ. මියගිය අය අතර දරුවන් 14 දෙනෙක් වූහ.(BBC)
පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ වින්දිත පිරිස් සිහි කරමින් ඊයේ උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවති ප්‍රධාන දේව මෙහෙයෙන් පසු සභාව අමතමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබුනේ “සත්‍යය වළ දමා වැරදිකරුවන් නිවැරදිකරුවන් කිරීමේ සංවිධානාත්මක ප්රයත්නයට සම්බන්ධ වීමට” කිසිසේත්ම සූදානම් නොමැති බවයි.
දරුවන් 68 දෙනෙකු ඇතුළු 269 දෙනෙකුට ජීවිත අහිමි වූ අපරාධය සම්බන්ධයෙන් එදා පැවති රජයෙත්, පවතින රජයෙත් උදාසීන බව සහ ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත ගැන බලවත් ශෝකයක් පවතින බව අවධාරණය කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබුනේ, මෙම ක්‍රියාදාමය පිටුපස දේශපාලන කරුණු ඇති බව පැහැදිලි වන බවයි.
එහෙත් එම කරුණු කවරේදැයි කාදිනල් තුමෝ හෙළි නොකළහ.
මියගිය කිතු බැතිමතුන්ට පින්පෙත් දීම සඳහා උතුරු නැගෙනහිර හින්දු දේවස්ථාන කිහිපයකම විශේෂ පූජා පවත්වන ලද බව වාර්තාකරුවෝ පවසති.
පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන ඊයේ (21) දිනයේ ශ්‍රී ලංකාව පුරා විවිධ ආගමික කටයුතු සහ දෙවර්ෂ පූර්ණ සිහිකිරීමේ උත්සව පැවැත්විණ.
ගාල්ල කළුවැල්ල ජපමාල රාජේශ්වරි ආසන දේවස්ථානයේ දී දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඊයේ (අප්‍රේල් 21) උදෑසන ආගමික උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාවට සංඝයාවහන්සේ, ඉස්ලාම් ආගමික නායකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ගාල්ල කළුවැල්ල ජපමාල රාජේශ්වරි ආසන දේවස්ථානයේ ඊයේ උදෑසන ආගමික උත්සවයක් පැවැත්විණ.(BBC)
මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොලකරුවන් රටට හෙළි දරව් කරන ලෙස බලකරමින් මීගමුව පුරවැසි එකතුවේ සංවිධානයෙන් කිතුනු පූජකතුමන්ලා, පැවිදි සොහොයුරියන්, සිවිල් සංවිධාන සාමාජිකයන් හා ක්‍රියාකාරීන්ගේ ද ප්‍රජාවගේ ද සහභාගිත්වයෙන් මීගමුව බාල්දි හන්දියේදී විරෝධතාවයක්ද දියත් කර තිබුනි.
THE LEADER TV
මැයි දින තහනම: ගරානාවක් වූ කොරෝනාව ආණ්ඩු විරෝධීන් මර්දනයේ ආයුධයක් කරලා
සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!