1200 x 80 DMirror
 
 

දෙවැනි රාජපක්ෂ පාලන සමයේ රටේ සිදුවන පරිසර හානිය ඉහළ ගොස් ඇති බවට සිව් දෙසින් චෝදනා එල්ල වෙද්දී,
බස්නාහිර පළාතේ පිහිටි අවදානමට ලක්වී තිබෙන අභය භූමියක් ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
 
 පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ, මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති බවයි.
 
 ඔහු ඒ බව සදහන් කර ඇත්තේ මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක (කෝපා) සභාවේදීය.
 
  muthurajawela
ආසියානු තෙත්බිම් නාමාවලියේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් දේශීය තෙත්බිම් 41 අතුරෙන් එකක් ලෙසද, ලංකාවේ ප්‍රමුඛ තෙත්බිම් පද්ධති 12න් එකක් ලෙසද මුතුරාජවෙල හඳුනාගෙන තිබේ.
  
මුතුරාජවෙල තෙත්බිම් කලාපයෙන් 15%ක් සහ මුතුරාජවෙල අභය භූමියෙන් 15% ද මේ වන විට විවිධ හේතූන් මත විනාශයට ගොදුරු වී, ඉතිරි කලාපද විනාශ වීමේ අවදානමට මුහුණ දී තිබීම සම්බන්ධයෙන්ද එහිදී අවධානයට ලක් ව තිබේ.
 
කෝපා  කමිටුව මගින් පෙර රැස්වීමකදී නිර්දේශ කළ පරිදි මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත්කර ඇති බවද විශේෂඥ වෛද්‍ය ජාසිංහ  එහිදී සදහන් කර ඇත.
 
 එම කමිටුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පරිසර  අමාත්‍යාංශය සහ වනජීවී අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන බවද එහිදී සඳහන් වී තිබේ.
 
2021 ජනවාරි 27 වැනිදා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මුතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපයේ සියළු පෞද්ගලික ඉඩම් අක්කර 600 රජයට පවරා ගන්නා බවට, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී යෝජනා සම්මත කර තිබීම පිළිබඳව මෙහිදී කෝපා කමිටුවේ අවධානය යොමු වූ අතර එහි නීත්‍යනුකූලභාවය පිළිබඳව සාකච්ඡා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
  
මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන වෙත ලැබුණද ඒවා සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව රජයේ ගිණුම් පිලිබඳ කාරක සභාවේ අවධානයට ලක් වී තිබේ.
 
 
අනවසර ඉදිකිරීම්:
 
මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ අනවසර ඉදිකිරීම් පිළිබඳ ලැබෙන පැමිණිලි අදාල රාජ්‍ය ආයතන මගින් නිසි පරිදි විමර්ශනයට ලක් නොවීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර, මෑතකදී එලෙස හෙක්ටයාර හයක් ගොඩ කිරීම සම්බන්ධව විගණන විමසුමක් දැනටමත් පවතින බවත් මෙලෙස රාජ්‍ය ආයතන නිසි පරිදි මැදිහත් නොවීම තුළ අනවසර ගොඩ කිරීම් සහ ඉදි කිරීම් වලට අනුබල දීමක් සිදුවන බවද එහිදි  අවධාරණය වී ඇත.
 
මුතුරාජවෙල තෙත්බිම් කලාපයෙන් 15%ක් සහ මුතුරාජවෙල අභය භූමියෙන් 15% ද මේ වන විට විවිධ හේතූන් මත විනාශයට ලක් වී ඇති අතර, ඉතිරි කලාපද විනාශ වීමේ අවධානම දැඩිව පවතින බවත් එනිසා සංරක්ෂණ ක්‍රියාවලිය කඩිනමින්ම ආරම්භ කළ යුතු බවත් මෙහිදී අවධාරණය වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  වැඩි දුරටත් සදහන් කර තිබේ.
  
1996 අංක 947/13 දරන, මුතුරාජවෙල අභයභූමියක් ලෙස නම් කරන ලද ගැසට් පත්‍රය අනුව මේ වන එම අභයභූමියේ සීමා මායිම් හඳුනා ගැනීම සහ මායිම් ලකුණු කිරිම මේ වන විට ආරම්භ කොට ඇති බවද නිලධාරීන් විසින් කමිටුවට දැනුම් දී තිබේ.
 
 මුතුරාජවෙල අභය භූමිය තුල පවතින අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් පවරා ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නාගරික සංවර්ධන පනත භාවිත කිරීමේ ශක්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇත.
 
 මෙම රැස්වීමට කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, බී.වයි.ජී. රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, හරිනි අමරසූරිය සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ඇතුළු අමාත්‍යාංශ සහ ආයතන 16ක නිලධාරීන් සහ මුතුරාජවෙල සුරැකීමේ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී තිබේ.
 muthurajawela 1545
මිගමුව කලපුව තෙක් විහිදී ඇති මුතුරාජවෙළ තෙත්බිම් පද්ධතියේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 3068 කි.
 
 
මිගමුව කලපුව තෙක් විහිදී ඇති මුතුරාජවෙළ තෙත්බිම් පද්ධතියේ මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 3068 කි. 1994 වසරේදී මධ්‍යම පරසර අධිකාරියේ තෙත්බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් මුතුරාජවෙළ හා මිගමු කලපුව සංරක්ෂණ හා කළමනාකරණ සැලසුමක් සකස් කැරිණි. 
 
ඒ අනුව මුතුරාජවෙළ තෙත්බිම් ප්‍රදේශය කොටස් තුනකට බෙදන ලදී. 
 
එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සිමාවේ පිහිටි තෙත්බිම් ප්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මිගමුව කලපුව ආශ්‍රිත පිහිටි කොටස මුතුරාජවෙල අභය භුමිය ලෙසත්ය. මෙම කලාප දෙක අතර මැද කොටසක් ස්වාරක්ෂක කලාපය හෙවත් ප්‍රේරක කලාපය ලෙස වෙන් කළේය. 
 
මෙලෙස කලාප වෙන් කිරීමේ අරමුණ වූවේ උප කාර්මික හා අභය භුමිය අතර ඝට්ටනය අවම කිරීමටය.
 
 
 
 
ජාත්‍යන්තර පිළිගැනීම
 
 අභය භුමිය හෙක්ටර්යාර 1028.62 ක ප්‍රමාණයක් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පණත යටතේ විශේෂ ගැසට් පත්‍රයක් මගින් වෙන්  කරන ලදී. ස්වාරක්ෂක කලාපය හෙක්ටර්යාර 206.678 ක් ලෙසින් ගැසට් කළේ 2006 වසරේදීය.
 
 එමෙන්ම ගංවතුර උවදුරින් ආරක්ෂා කරමින් වැසි ජලයේ අතිරික්තය රඳා සිටීම, අවම ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම, වැසි ජලයේ රොන්මඩ ආදිය තැන්පත් කරගෙන ජලය පිරිසිදු තත්වයට පත් කිරීමද මෙහිදී සිදුවේ. නාගරික ප්‍රදේශයේ අධික කාබන්ඩයොක්සයිඩ් මට්ටම යාමනය කිරීම, පරිසර උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාමද මෙම තෙත්බිමෙන් ඉටුවේ.
 
 නොගැඹුරු මුහුදු තීරයේ ජිවත්වන සාගර මත්ස්‍ය විශේෂ ඇතුළු ඉස්සන්, කකුළුවන් ගේ ප්‍රධාන බෝවීමටද තෝතැන්නක් වී ඇති බැවින් සුළු පන්න ධීවරයන් ගේ පැවැත්මද රඳා ඇත්තේ මෙම තෙත්බිම් පද්ධතිය මතය.
 
 
 
පරිසර සිරිසර
 
 muthurajawela. animals
දැනට සිදුකර තිබෙන අධ්‍යයනවලට අනුව ජෛව විද්‍යාත්මකව ඉතා වටිනා තෙත්බිම් පරිසරයක්වන මෙහි ශාඛ කුල 66 කට අයත් ශාඛ විශේෂ 194ක් වාර්තාවේ. එවගේම සමනළුන්, බත් කූරන්, මත්ස්‍යයන්, උභය ජීවින්, පක්ෂින්,හා ක්ෂීරපායි යන සත්ව කාණ්ඩ 7කට අයත් විශේෂ 449ක් පමණ සිටින බවට වාර්තා වන බව පරිසරවේදීන් විසින් පෙන්වා දී තිබේ.
 
ඕලන්ද යුගයේදී කැළණි ගඟේ සිට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මිගමු - කොළඹ මාර්ගයට සමාන්තරව මුතුරාජවෙල වෙල්යාය හරහා මිගමු කලපුව දක්වා ඇළ මාර්ගයක් සැකස කර ඇත. ඕලන්ද ඇළ යනුවෙන් හදුන්වනු ලබන්නේ එයයි. 
 
ඉන්පසු ඉංග්‍රීසින් විසින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා මුතුරාජවෙළ මැදින් මිගමු කලපුව හරහා පුත්තලම දක්වා හැමිල්ටන් ඇළ සාදන ලදී. 
 
මේවායේ ප්‍රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙලට ගලා ඒමෙන් වී වගාව අභාවයට ගොස් නිසරු බිමක් බවට පත්ව ඇත. 
 
වඩදිය අවස්ථාවේදී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යාකරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අධික ප්‍රමානයක් සකස් කළද ඉන් ප්‍රතිඵල ලැබී නැත. මෙනිසා මෙම තෙත්බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක්‍රමයෙන් පර්වර්තනය වී ඇත.
 
 නමුත්  ඈත අතීතයේ ඉතා සශ්‍රික කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වී ඇති මෙය මුතුමෙන් වටිනා සහල් ලබාදුන් රජුට අයත් වෙල්යායක් නිසා මුතුරාජවෙල නම් ලද බව වල ජනශ්‍රැතිවල සඳහන් වේ.

 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

subscribeYT

subscribeYT

නවතම පුවත්