දස දෙසින් සිදුවන සිදුවීම් ඔස්සේ රටටම අවනම්බුවක් එකතු කරමින් සිටිනා යුගයක,
රටේ කිතුගොස ලොව දස දෙස පතුරවන්නට සමත් තරුණයෙකු දකුණු ලංකාවේ දෙවිනුවර තුඩුවෙන් ඉස්මතුවිය. ඔහු නමින් අසංක රොෂාන් අබේසුන්දර නම් වෙයි.
 
 අදට දින කිහිපයකට කලින් තරුණ රොෂාන් පෝක් සමුද්‍ර සන්ධිය නම් වූ මුහුදු තීරය පිහිනා තරණය කරන්නට එළඹුනි.
 
 එනම්, තලෙයි මන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වාත්, එතැන් සිට නැවතත් තලෙයි මන්නාරමටත් පිහිණුවේය. 
 
සිය දෙපා බිම නොතබමින්, නින්දක් නොමැතිව, පිහිණන අතරතුර කුඩා ආහාරයක් පමණක් අනුභව කරමින්, පුරා පැය 28ක් එක දිගටම පිහිනමින් මේ ධෛර්යමත් තරුණයා නව ආසියානු වාර්ථාවක් පිහිටවූයේය. 
 
 Asanga Roshan Abesunsara.j0
පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර 
 
 
අදට දශක කිහිපයකට පෙර, උතුරු ලංකාවේ පේදුරු තුඩුවේ තරුණයෙක් ද මෙවැනිම අභියෝගයකට මුහුණ දුන්නේය. 
 
ඔහුත් උතුරු ලංකාවේ සිට දකුණු ඉන්දියාව දක්වාත්, නැවතත් ලංකාවටත් පිහිනමින්, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කලේය. ඔහු දෙවරක්ම මෙම හපන්කම කලේය. ඔහු නමින් කුමාර් ආනන්දන් නම් විය. 
 
පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර 2021 අප්‍රේල් 11දා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණ වාර්තාවක් තැබිය.  කිලෝමීටර් 59.3ක් ගෙවමින් දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණීමට රොෂාන් පැය 28යි විනාඩි 19යි තප්පර 43ක් ගතවිය.
 
රොෂාන් විසින් අලුත් කරනු ලැබුවේ කුමාර් ආනන්දන් විසින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා තබන ලද පනස් වසරක් පැරණි වාර්තාවකි. වයස අවුරුදු 27ක් වෙද්දී, 1971දී ආනන්දන් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පිහිනා ආපසු පැමිණ වාර්තාවක් පිහිටෙව්වා. ඔහුට ඒ වෙනුවෙන් පැය 51ක් ගතව තිබිණ. 
 
Kumar Anandan 
 
කුමාර් ආනන්දන් සිය ජීවිතයට අභියෝග සොයමින් සිටියේය. ඔහුත් රොෂාන් මෙන්ම අභියෝග වලට ආදරය කලේය. 
 
මේ ධෛර්යමත් ලාංකිකයා මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශය අතර මුහුදු තීරය එලෙසින්ම තරණය කරමින් නව වාර්ථාවක් තබන්නට අදිටන්කලේය. එම මුහුදු තීරයේ අධික සීතල ඔහුට අභියෝග කලේය. එනමුත් ඔහු ධෛර්ය සම්පන්නව සටන් කලේය. ලාංකීය ධජය මහ ඉහලට ඔසවාගෙන සිටි ඔහුට සීතල මහ මහුද මැද දී තම ජීවිතය අත්හරින්නට සිදුවිය. 
 
කුමාර් ආනන්දන් ලංකාවේ උතුරුකරේ වැසියෙකි. ඔහු දකුණට නෑකම් කීවේය. 
 
ඔහු දෙවුන්දර තුඩුවේ උපන් මහානාම සමරවීර නම් වූ හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරිය හා විවාපත්විය. ඇය, රටට ඉමහත් ජාත්‍යන්තර කීර්තියක් රැගන ආ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ දයාබර නැන්දනියයි.
 
Upul 
 
මංගල සමරවීර පසුගිය සති අන්තයේ රොෂාන් අබේසුන්දර හමුවීමට ඔහුගේ නිවසට පැමිණියේය. ඒ නිකම්ම නොවේ. ධෛර්ය සම්පන්න වීරයෙකුගේ දයාබර බිරිඳ වන සිය නැන්දනිය සමගය. 
 
මාතර නගරසභාවේ හිටපු සභාපති උපුල් නිශාන්ත කටයුතු සූදානම්කර තිබූ මෙම හමුව, රොෂාන්ගේ කුඩා නිවසේ සතුට, ආඩම්බරය  හා අභිමානය උතුරාගිය මොහොතක් විය.
 
එහිදී සිය දයාබර සැමියාගේ ලෝක වාර්තාව අළුත් කරන්නට සමත් වූ මෙම ධෛර්ය සම්පන්න තරුණයාට ආනන්දන් මහත්මිය සිය සතුට හා සුභ පැතුම් පිරිනැමුවාය.
 
මානෙල් ආනන්දන් මහත්මිය මෙන්ම මංගල සමරවීර සහ මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත ද සුභපැතුම් එක්කරමින්, සමුද්‍ර පරිසරයට ප්ලාස්ටික් හා පොලිතීන් එක් කිරීමට එරෙහිව රෝෂාන් ඉදිරිපත් වීම ද ඉහලින්ම අගයමින් හා එම මාර්ගයේම ඉදිරියට යන්නට ඔහුට ආශීර්වාද කළේය. 
 
(උපුටා ගැනීම -Matara Page FB පිටුවෙන්...)
 
 
 
දකුණට නෑකම් කිවූ ප්‍රභාකරන් උපන්ගමේ තරුණයා :
 
Kumar Anandan.j lanka 
 
කුමාර් ආනන්දන් යනු 1960, 70 දශකවලදී තරුණ හදවත් කුල්මත් කළ ශ්‍රී ලාංකික වීරයෙක්. මේ ක්‍රීඩාශීලී යෞවනයා ගිනස් වාර්තා කිහිපයක් ම තැබූවෙක්. ලංකා නාමය ගිනස් පොතට එක් කල පළමු ශ්‍රී ලංකිකයා වන්නේ ද ඔහුයි.  
 
මේ යාපනේ සිට ඉන්දියාවේ වෙරළට පිහිනා නැවත ආපසු යාපනයට පිහිනු අවුරුදු 40දී සමුගත් නීතිවේදී කුමාර් ආනන්දන් (1944-1984) ගේ කතාවයි.
 
පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද කුමාර් ආනන්දන් වෘත්තියෙන් නීතිඥයෙක්. ඔහුගේ සම්පූර්ණ නම විවේකානන්දන් සෙල්වකුමාර් ආනන්දන්.  
 
 
 
ඉපදුනේ වැල්වැටිතුරේ:
 
1944දී යාපනයේ වැල්වැටිතුරේ උපන් විවේකානන්දන් සෙල්වකුමාර් ආනන්දන් පියා වාරිමාර්ග ඉංජිනේරු විවේකානන්දන්ය. මව රාජම් ය. 
 
දරුවන් දෙදෙනකු සිටි පවුලේ වැඩිමලා වූ කුමාර් සිය පළමු ගිනස් වාර්තාව සණිටුහන් කලේ ලාබාල 18 හැවිරිදි වියේදී, එනම් 1962දී.
 
 ඔහු එය කළේ ඊට පෙර මුලින්ම එසේ පිහිනා එම වාර්තාව තැබූ ඔහුගේ මාමා වන මුරුගපිල්ලෙයි නවරත්නස්වාමිට ගෞරව පිණිසයි. 
 
1954දී වැල්වැටිතුරෙයි සිට දකුණු ඉන්දියාවේ කැලිමියර් තුඩුවට පිහිනීමට නවරත්නස්වාමිට පැය 28ක් ගතවුණා. ඔහුගේ මෙම වීර ක්‍රියාවට දෙරටේ අගමැතිවරුන් වූ ජෝන් කොතලාවල, ජවහර්ලාල් නේරු වගේ ම එලිසබෙත් රැජිනත් සුබපැතුවා.
 
1962දී මේ පිහිනීම ම කරන්නට කුමාර් ආනන්දන්ට පැය 42ක් ගතවුණා.
 
වයස අවුරුදු 27ක් වෙද්දී, සිය ගිනස් වාර්තාව තමාම බිඳ හෙළුවේ නැවතත් 1971 දි පෝක් සමුද්‍ර සන්ධිය හරහා එකදිගට ඉන්දියාවට පිහිනා නැවත ලංකාවට පිහිනමිනි. ඔහුට ඒ වෙනුවෙන් පැය 51ක් ගතවුණා.
 
 
අරුම පුදුම වාර්තා
 
පේදුරුතුඩුව හර්ට් විද්‍යාලයෙත් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේත් කුමාර් ඉගෙන ගත් අතර පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් LLB නීති උපාධිය ලබා නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නත් කුමාර්ට දිගටම ගිනස් වාර්තා තැබීමේ පුදුමාකාර පිපාසය නම් අඩු වුනේ නැහැ.
 
 
ඔහු පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ උපාධි යක් ලබා ගනිමින් සාර්ථක අධ්‍යාපන දිවියක් නිමා කිරීමෙන් පසුව ගිනස් වාර්තා තැබීමට මුළු දිවියම කැප කළා.
 
 
 85425
කුමාර් ආනන්දන් :ගිනස් වාර්තාපොතට ශ්‍රී ලාංකේය නාමය රැගෙන ගිය පළමු ශ්‍රී ලංකිකයා
 
ඔහුගේ දෙවන ගිනස් ලෝක වාර්තාව වූයේ පැය 61ක් ජලයේ පිහිනීමය. එනම් දවස් 2-1/2කට වැඩියි! වතුරේ සිටිමින් නොනිදා එය කල හැක්කේ කාටද?
 
නමුත් එම අභියෝගාත්මක ගිනස් වාර්තාව පිහිටු වූයේ 1975දී කොළඹ රාජකීය විද්‍යාල තටාකයේදීයි. එවකට ඔහු 31ක් හැවිරිදියි. මේ ඔහුගේ දෙවන ගිනස් වාර්තාවයි.
 
ඔහුගේ තෙවන ලෝක වාර්තාව වූයේ තනි කකුලෙන් පැය 12යි විනාඩි 47ක් එක දිගට සිටගෙන පිහිට වූ ලෝක වාර්තාවය!
 
කුමාර් එකදිගට පැය 128ක් නර්තනයේ යෙදෙමින් එවකට තිබු ගිනස් වාර්තාව බිඳ හෙළුවේ 1979 ජන 1වැනිදා, තමන් 35 හැවිරිදි වියේදී.
 
ගෝල්ෆේස් ශ්‍රින් හෝටලයේ පැවති මේ දඟර නැටුම් රංගනය ආරංචි වූ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පුද්ගලිකවම පැමිණ බොහෝ වෙලාවක් මේ නර්තනයේ යෙදෙන මරණයන් පමණක් නවතාලිය හැකි අප්‍රතිහත ධෛර්ය සහිත යෞවනයා දෙස බලා සිටියේ තෘෂ්නිම්භූතව. 
 
එවකට ගෝල්ෆේස් හෝටලයේ සභාපති සිරිල් ගාඩිනර් ඔහුට එවකට විශාල ගණනක් වූ රුපි 10000ක ත්‍යාගයක් පිරිනමා තිබුනා.
 
ඔහු එවලේම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ අතටම ඒ මුදල් පරිත්‍යාගය ලබාදෙමින් නැඟෙනහිර පළාතේ ගංවතු රින් සුළි සුළඟින් අනාථ වූ පුද්ගලයන්ට පරිත්‍යාග කරන්නැයි  ඉල්ලා තිබුනා. 
 
කුමාර් ආනන්දන් වයස 40 වන විට එංගලන්තය හා ප්‍රංශය අතර පිහිටි ඉංග්‍රීසි ඕඩය හරහා පිහිනුම් වාර්තාව ඉලක්ක කළේ, එ ඔහුගේ ජීවිතය අනතුර පවා නොසලකා හරිමින්. 
 
ඔහු දැඩි ශීත ජලයේ අතිශය අභියෝගාත්මක ඉලක්කය සපුරා ගැනීමට කල උත්සාහය පමණක් නොව මහ මුහුද මැද දී අවාසනාවන්ත ලෙස අනතුරට පත්ව ජීවිතයට සමුදුන්නේ පාදයක ආබාධයක් නිසාවෙන්, 1984 දී.
 
 ඒ 1984 අගෝස්තු 6දායි. එතකොට ඔහුගේ වයස අවුරුදු 40යි.
 
 
ඔහු පිහිටවූ වාර්තා අතරින් කැපී පෙනෙන වාර්තා.
1971- ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සහ ආපසු පැය 51 කින් පෝක් සමුද්‍ර සන්ධිය පිහිනීම.
1977 – කොළඹ රාජකීය විදුහල් පිහිනුම් තටාකයේ අඩි 8×8 කොටුවක එකදිගට පැය 61ක් රැඳී සිටීම
1978 – දෙසැම්බරයේ පැය 128 ක් සඳහා ට්විස්ට් නැටුම.
1979 – මැයි මාසයේදී සැතපුම් 1487 ක දුරක් පැය 187 ක් නොනවතින පාපැදි පැදීම.
1979 – මැයි මාසයේදී එක් පාදයකින් පැය 33 ක් හිටගෙන සිටිම.
1979 – දෙසැම්බරයේ පැය 136 ක් බෝල විදීම.
1980 – මැයි මාසයේදි මිනිත්තු දෙකකින් 165 වාරයක්වාඩි වීම නැගිටීම –
1980 – දෙසැම්බරයේදි හයි කික්ස් – 9100 වතාවක්
1981 – අගෝස්තු මාසයේදී සැතපුම් 296 ක දුරක් පැය 159 ක් නොනවත්වා ඇවිදීම.
1981 – අගෝස්තු මාසයේදී මදුරාසියේ ඇනා පිහිනුම් තටාකයේ දී පැය 80 ක් ජලයේ කිමිදීම.
 
 
මේ පුදුම මිනිසා මරණයට කිසිම බියක් දැක්වූ අයෙකු නොවීම පුදුම සහගතය. වරක් බරපතළ රිය අනතුර කට මුහුණ දී මාස හයක් රෝහලේ සිට ඔහුට තවත් මාස හයක් කිහිලිකරුවක සිටීමට සිදුවිය. එහෙත් ඉන් පසුව පවා ඔහු වේගවත් මෝටර් යතුරුපැදි පැදවීම සිදු කෙළේය.
 
කෙතරම් රූමත් දෙමළ තරුණියන් සිටියද කුමාරගේ හිත සොරා ගත් මාතර උපන් සිංහල තරුණියක් වූ මානෙල් සමරවීර තමයි ඔහුගේ ආදරණීය බිරිඳ වුනේ. ඔවුන් දෙදෙනා සමකාලින සරසවි මිතුරන් විය. එවකට පවා පැවති දරුණු ජාතිබේද ඔවුන් දෙදෙනාම තුට්ටුවකට මායිම් කොට නැත. කුමාර් ආනන්දන් විවාපත් වූ මානෙල් සමරවීර,  ඇමති මංගල සමරවීරගේ නැන්දණිය යි.
  
මානෙල්ට වරෙක සරසවි යාම පවා ඇයගේ පියා තහනම් කර තිබිණ.  ඒ ඇය දෙමල තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට ඉව වැටි තිබුන බැවිනි. එසේ නිවසින් තහංචි තිබියදී පවා යාපනයේ සිට මාතරට දුම්රියෙන් එන ආනන්දන් තරුණයා, මාතරදී නගර සභාවේ මාර්ග පිරිසිදු කරන කම්කරුවකුට සමාන ඇඳුමක්  පැළඳ මානෙල්ගේ නිවාස පිහිටි පාර අතුගාමින් මානෙල් සමග දොඩමලුවීමට අවස්ථාව උදාකර ගෙන ඇත. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම කතාව අතිශයිම සොඳුරුවුවක් වන අතර දෙමාපියන්ගේ බාධා ජයගෙන එක්වීමට ද ඔවුන් සමත්ව තිබිණ. 
 
හිටපු අමාත්‍ය මංගල සමරවීර අද පදිංචිව සිටින්නේ එසේ නගරසභා කම්කරුවකු ලෙස කුමාර් ආනන්දන් තම පෙම්වතිය බැහැදැකීමට පැමිණ පාර අතු ගෑ ෆැන්සිස් සමරවීර පටුමගේය. 
 
ආනන්දන් - මානෙල් යුවලට රාජන් ආනන්දන් හා රාජේශ් ආනන්දන් නම් පුතුන් දෙදෙනෙකි.
 
කුමාර් ආනන්දන්ගේ පුත් රාජන් ආනන්දන් අට වසරක් ගූගල් සමාගමේ ගිනිකොණදිග ආසියාවේ සහ ඉන්දියාවේ උප සභාපති ලෙස කටයුතු කළා.
 
 Kumar Anandan.swim
 
1999දී ශ්‍රී ලංකා රජය කුමාර් ආනන්දන් නමින් තැපැල් මුද්දරයක් නිකුත් කර ඔහුට ගෞරව දැක්විය.
 
කුමාර් ආනන්දන් සිහිවීම සඳහා ඔහුගේ ගම වන, වැල්වැටිතුරෙයිහි 2019දී ඔහු නමින් පිහිනුම් තටාකයක් විවෘත කිරීමට මංගල සමරවීර පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී කටයුතු කර තිබිණ. 
 
Anandan Manel
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඉදිකෙරුණු කුමාර් ආනන්දන් අනුස්මරණ පිහිණුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ මානෙල් ආනන්දන් මහත්මිය.
 
 

 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්