රහස්‍යභාවය රැකෙන්නේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බුද්ධි අංශ ප්‍රධානීන් ගෙන්වීමේ කිසිඳු වරදක් නැතැයි ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මග' ප්‍රධානියකු පවසයි.
'වියත්මග' සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් එබව සඳහන් කළේ යුධ හමුදාවේ විශ්‍රාමික ජනරාල්වරයකු වන ආචාර්ය බොනිෆස් පෙරේරා ය. එමෙන්ම මෙම කාරක සභාවට ඒකාබද්ධ විපක්ෂයටද සහභාගී වූයේනම් වඩාත් පලදායි බව හිටපු වන්නි ආඥාපතිවරයා වන ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ යන නිලධාරීන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට අද (ජුලි 24 ) කැඳවා තිබේ.
සක්‍රීය සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් මෙම කමිටුවට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට ඉහතදී අවධාරණය කර තිබිණ.
කෙසේවුවද, ඊයේ 'වියත්මඟ' කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මෙසේ බුද්ධි අංශ නිලධාරින් කමිටුව හමුවට කැඳවීම සම්බන්ධයෙන් ලුතිනන් ජනරාල් බොනිෆස් පෙරේරා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මෙසේ අදහස් දැක්විය.
ප්රශ්නය – යුද සමයේ සිටි බුද්ධි අංශ ප්රධානියාත් රටම දැනගෙන හිටියා නේද?
පිළිතුර – මම හිතන්නේ නැහැ එහෙම විශාල වශයෙන් දැනගෙන හිටියා කියලා.
ප්රශ්නය – රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ජාත්‍යන්තර සමුළුවලට පවා සම්බන්ධ වෙලා ඒ රටවල නියෝජිතයොත් එක්ක ගත් ඡායාරූප පුවත්පත්වල පවා පලවී තිබෙනවා.
පිළිතුර – එහෙම වුණා නම් ඒකත් වැරදියි.
ප්රශ්නය – මාධ්‍යවලට විවෘත නොකර බුද්ධි අංශ ප්‍රධානීන් තේරීම් කාරක සභාවට ගෙන්වනවා නම් ඒකටත් විරුද්ධද?
පිළිතුර – එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ තේරීම්කාරක සභාවේ සංයුතියේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක එක පැත්තකට බරයි. ඔවුන්ගෙන් මේ තොරතුරු එළියට යා හැකියි.
ප්රශ්නය – එය එක පැත්තකට බරවී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය එය වර්ජනය කිරීම නිසානේ. ඒ නිසා තේරීම් කාරක සභාව එක පැත්තකට බරවීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂය බාරගන්න ඕන නේද? ඒ ගැන ඇයි ඔබ කතා නොකරන්නේ?
පිළිතුර – ඒක දේශපාලන තීන්දුවක්. එහෙත් ඔබ ඉදිරිපත් කරන තර්කය අපි පිළිගන්නවා.
වීඩියෝ
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මිට ඉහතදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ දී විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ඉදිරියේ සාක්ෂි ලබාදී ඇත.
නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අධිකරණ ඉතිහාසයේ පළමු වරට උපාධිධාරින් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැඳුම්ලත් 7 දෙනෙකුගෙන් යුත් විශේෂ ජුරි සභාවක් හමුවේ විභාගයට ගැනීම සුවිශේෂී සිද්ධියකි.
මාධ්‍යයට අද දොර වැසේ
කෙසේවුවද රාජ්‍ය බුද්ධි අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු පොලිස් ප්‍රධානීන් සිව් දෙනකු පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද (24) සාක්ෂි දීමට නියමිත අතර
මෙම පොලිස් ප්‍රධානීන් සිව් දෙනාගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණය කර ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදී කටයුතු මෙම පොලිස් ප්‍රධානීන්ගෙන් විමසීමට නියමිතව ඇති බැවින් අද දිනයේ තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණය කර ඇත.
සබැඳි පුවත් :
''මෙතෙක් කිසිවකු නොදුටු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා 'රියැලිටි ෂෝ එකට’' !
"රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු කමිටුව හමුවට"
' බුද්ධි අංශ පාවාදීමක' - ආරක්ෂක ප්‍රධානීන් විරෝධය පළකරති !
බුද්ධි අධ්‍යක්ෂකගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන්න - 'වෙන්න ජනාධිපති'ගේ නියෝගයක් !