කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන හිරගත කරන ලද මුස්ලිම් කවියකු නිදහස් කරන ලෙස
ජාත්‍යන්තර සංවිධාන රැසක් ආණ්ඩුවට බලකර සිටී.  
 
මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් අත් අඩංගුවට ගෙන අදට අවුරුද්දක් පිරේ.
 
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) දෙමළ පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.
 
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) ඇතුළු මානව හිමිකම් සහ ප්‍රකාශනයේත්, නිර්මානයේත් අයිතිය සඳහා වන ජාත්‍යන්තර සංවිධාන සමූහයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ ඔහු වහාම නිදහස් කරන ලෙසයි. 
  
එසේ නැතහොත් ඔහුට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි අපරාධ චෝදනා කඩිනමින් ගොණුකොට ජාත්‍යන්තර සාධාරණ විනිශ්චයේ ප්‍රමිතීන්ට අනුකූලව නඩු පවරන ලෙස පෙන් ජාත්‍යන්තරය (PEN), ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය  (AI), ශ්‍රී ලංකාවේ සාමය හා යුක්තිය සඳහා ව්‍යාපාරය (SLC), ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකාරී සංවිධානය (IWG),ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP), යුක්තිය හා වගවීම සඳහා මධ්‍යස්ථානය (CJA), ජාත්‍යන්තර යුක්තිය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (ACIJ), Article 19, හියුමන් රයිට්ස් වොච් (HRW), IMADR, PEARL, සහ Freemuse යන සංවිධාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලකර සිටියි.
 
එමෙන්ම, ශ්‍රී ලංකාවේ සුළුතරයන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝන කිරීමට මග පාදන, බරපතල දෝෂසහගත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසද එම සංවිධාන එකතුව ඉල්ලා සිටී.
 

International

 
 
 
සමස්ත නිවේදනය පහතින්
 
''කිසිම නඩු පැවරීමකින් තොරව අවුරුද්දකට වැඩි කාලයක් දිගටම අත් අඩංගුවේ රඳවා සිටින කිවියර සහ ගුරුවර අහ්නාෆ් ජසීම් දිගටම සිරගතකොටගෙන සිටීම පහත අත්සන් කරන අප සංවිධානවල බලවත් කනස්සල්ලට හේතුවී තිබේ. 
 
අහ්නාෆ් ජසීම් වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අපි, නොඑසේ නම්, ඔහුට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි අපරාධ චෝදනා කඩිනමින් ගොණුකොට ජාත්‍යන්තර සාධාරණ විනිශ්චයේ ප්‍රමිතීන්ට අනුකූලව නඩු පවරන ලෙස ඉල්ලා සිටිමු.
 
විසිහය හැවිරිදි කවියකු සහ ලේඛකයකු වන අහ්නාෆ් ජසීම් (ලේඛන නාමය, මන්නාරමුදු අහ්නාෆ්) ශ්‍රී ලංකාවේ දුෂ්ඨවූ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ අත් අඩංගුවට ගන්නා ලද්දේ 2020 මැයි 16 දාය. 
 
අත් අඩංගුවට ගැනීම සිදු කරන ලද්දේ ඔහු විසින් 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) දෙමළ පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බව කියා පාමිනි. 
 
ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව කොන් කිරීම සහ ඔවුන්ට වෙනස්කම් පෑම එන්න එන්නම උත්සන්න වෙමින් පවතින පසුබිමකය.
 
වාර්තාවන පරිදි ශ්‍රී ලංකාවේ බලධාරීන් නවරසම් පිටපත් සොයාගත්තේ පාස්කු බෝම්බ ප්‍රහාර හා සම්බන්ධ බවට සැක කොට විමර්ශනය කෙරෙන පාසලක තිබී ය.  
 
එම පොත ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලයේ ලැයිස්තු ගතකොට ඇතත්, කිසිවිටෙක තහනම කොට නැතත්, අහ්නාෆ් ජසීම් රඳවා තබන්නට බලධාරීන් තීන්දු කළේ  එහි ඇතුලත් කරුණු සහ වෙනත් හේතු දක්වමිනි. 
 
නවරසම් හි අඩංගු වන දෑ අන්තවාදයට උල්පන්දම් දෙන බවට ශ්‍රී ලංකාවේ බලධාරීහු දිගින් දිගටම තර්ක කරමින් සිටිති. 
 
කෙසේවෙතත්, එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන කතුවරයා සහ ඔහුගේ නීතිඥ සංජය විල්සන් ජයසේකර, රඳවා තබාගැනීම දකින්නේ ‘මුස්ලිම් විරෝධී ජාතිවාදය මුල් බැස්සවීම අරමුණු කොට ගත්තක්’ ලෙසිනි.
 
 අහ්නාෆ් ජසීම් ගේ කවියට බලධාරීන් දෙන නිර්වචනය අභියෝගයට ලක් කරන කීර්තිමත් දෙමළ භාෂා මහාචාර්යවර මක්බුල් අලිමොහමඩ් නුහුමාන් පවසන්නේ “අන්තවාදයට, ප්‍රචණ්ඩතාවට සහ යුද්ධයට එරෙහි කවිපන්ති කිහිපයක්ම මෙම කාව්‍ය සංග්‍රහයේ ඇත,” යනුවෙනි.
  
 ජසීම්ගේ කවි අන් අය ප්‍රචණ්ඩතාව සඳහා පොළඹවන කිසිදු අභිප්‍රායක් පල නොකරන බව  පහත අත්සන් කරන අපගේ පිළිගැනීමයි. 
 
ඔහුගේ නීතිඥවරයා පවසන පරිදි, අහ්නාෆ් ජසීම් රඳවා තබා ඇත්තේ කුරිරු, අමානුෂික සහ අවමාන සහගත සැලකිල්ලක් ගණයේ ලා ගිණිය හැකි නින්දිත තත්වයක් යටතේය. එය ඔහුගේ සෞඛ්‍යය පිරිහීමට හේතුවී ඇත.  
 
මීට අමතරව, ජසීම් රඳවා තබා සිටින කාලය තුල ඔහුට හිමිවිය යුතු නිසි කාර්ය පටිපාටිය බලධාරීන් විසින් උල්ලංඝනය කර තිබේ. 
 
ප්‍රශ්න කරමින් සිටියදී ජසීම්ට අසත්‍ය පාපොච්චාරණ දීමට බලකොට, නොදන්නා භාෂාවකින් ලියැවුණු ලියවිලි වලට ඔහුගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබාගත් බව ජසීම්ගේ නීතිඥයා පවසයි. 
 
අත්අඩංගුවට ගත්දා සිට මාස දහයකට ආසන්න කාලයක් ජසීම්ට නීතිඥ සහාය ලබාගැනීමේ අවස්ථාව වලකා, ඊට ඉඩකඩ ලබාදුන් විට, නීතිඥවරයා සහ සේවාදායකයා අතර සිදුවන වරප්‍රසාදිත සාකච්ඡා බලධාරීන් විසින් පටිගත කොට තිබේ. 
 
ඔහුගේ ඥාතීන්ට අහ්නාෆ් ජසීම් හමුවන්නට අවස්ථාව සලසා දී ඇත්තේ ද රඳවා තබාගෙන මාස පහක් කල් ගතවූ පසුය.
 
අහ්නාෆ් ජසීම් රඳවා තබාගෙන අවුරුද්දක් ගතවුනත්, ඔහුට එරෙහි චෝදනා සනාත කරන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට බලධාරීන් සමත් වී නැත. 
  
ජසීම් ජාත්‍යන්තර වශයෙන් හඳුනාගන්නා ලද අපරාධයක් කළ බවට විශ්වසනීය සහ පිළිගත හැකි සාක්ෂි බලධාරීන් සතු වේ නම්, ඔහුට විරුද්ධව ඔවුන් වහාම චෝදනා ගොනු කොට සිය නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට අවස්ථාව සැලසෙන පරිදි ඔහුට නිසි ක්‍රමවේදය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතිය සහතික කර දිය යුතුය. එවන් සාක්ෂි නැති කල්හි ඔවුන් කළ යුත්තේ වහාම ඔහු නිදහස් කිරීමයි. 
 
අහ්නාෆ් ජසීම් රඳවාගෙන සිටින්නේ චෝදනා ගොනු කිරීමකින් හෝ නඩු පැවරීමකින් තොරව කිසිදු චෝදනාවක් නැති පුද්ගලයන් දහඅට මාසයක් දක්වා අත්තනෝමතික ලෙස රඳවා තබාගත හැකි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේය. 
 
බලහත්කාරයෙන් පාපෝච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසාව ඇතුළු වෙනත් ආකාරයේ නොමනා සැලකිලි යොදාගැනීම ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් පුළුල් ලෙස කෙරෙන්නකි. 
 
ශ්‍රී ලංකාවේ වාර්ගික හා ආගමික සුළුතරයට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන තිබෙන අතර වාර්ගිකත්වයට සමානුපාතික නොවන දෙමළ හා මුස්ලිම් පිරිසක්  එම පනත යටතේ  රඳවා තබා තිබේ.
 
එම පනත අහෝසි කර දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම ඉල්ලීම් කර තිබුණත් ශ්‍රී ලංකාවේ අනතුරට භාජනය වීමේ වැඩිම අවදානමක් ඇති ජන කොටස්වලට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත බලධාරීන් විසින් දිගටම යොදාගනිමින් පවතී.
  
අහ්නාෆ් ජසීම් වහාම නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අපි, නොඑසේ නම්, සාධාරණ නඩු විභාගයක ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්නට ඉඩ සලසා දීම සඳහා චෝදනා ගොනු කරන ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. 
 
එමෙන්ම, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සුළුතරයන්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝන කිරීමට මග පාදන  බරපතල දෝෂසහගත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමු.
 
අත්සන් කළේ:
•   පෙන් ජාත්‍යන්තරය (PEN)
 
•   ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය  (AI)
 
•   ශ්‍රී ලංකාවේ සාමය හා යුක්තිය සඳහා ව්‍යාපාරය (SLC)
 
•   ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)
 
•   ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකාරී සංවිධානය (IWG)
 
•   ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP)
 
•    යුක්තිය හා වගවීම සඳහා මධ්‍යස්ථානය (CJA)
 
•    ජාත්‍යන්තර යුක්තිය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (ACIJ)
 
•    Article 19
 
•    Human Rights Watch
 
•    IMADR
 
•   PEARL
 
•   Freemuse
 
  
වැඩිදුර විස්තර සඳහා Ross Holder, Asia Programme Coordinator at PEN International, Unit A, Koops Mill, 162-164 Abbey Street, London, SE1 2AN, Tel.+ 44 (0) 20 7405 0338, email: ross.holder@pen-international.org
 
 
 
English statement
 
Sinhala statement 
 
 
 
සබැඳි පුවත් 
 
 
 
 
 
 

 

 


 

THE LEADER TV 
පොලිස් ඇමති උපදේශකගේ සිස්ටම් චේන්ජ් එන්නත් පෝලිමේදී මාට්ටු!
 

ITN හතර වරං ගැහිල්ලක් ! - විශේෂ හෙළිදරව්වක් 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්