ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් යන මහත්වරු ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද (28) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මෙම පෙත්සම් විජිත් මලල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව සඳහන් කළේය.
පෙත්සම්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් යම් නිර්දේශයන් කරන ලද පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කර ඇති බැවින් මෙම පෙත්සම් විභාගයට සහභාගී වීමට අකමැති බව විනිසුරු ජනක් ද සිල්වා එහිදී සඳහන් කර ඇත.
ඒ අනුව මෙම පෙත්සම ජූනි මස 4 දා සලකා බැලීමට විනිසුරු විජිත් මලල්ගොඩ, විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කරන ලදී.
විරෝධතා ගොනු කරන බව නීතිපති දැනුම්දේ
අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනගිය විරෝධතාවය හමුවේ, අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ සොයුරා අධිකරණයට ඉදිරිපත් නොකොට මේවනවිට මාසයකට වැඩි කාලයක් තිස්සේ අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන සිටියි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබුනේ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යයි පවසමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමිනි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, එම දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම්කර ඇත.
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් දෙක සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඉදිරිපත් කරන බවයි.
පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් සිය පෙත්සම මගින් කියා ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 24 වනදා අලුයම සිය නිවසට කඩාවැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තමන්ව අත්අඩංගුවටගත් බවය.
කොලෝසස් (ප්‍රයිවට්) ලිමිටඩ් නැමැති සමාගමක් සමග පැවති සම්බන්ධතා පිළිබඳව ප්‍රශ්න කිරීමට අවශ්‍යව තිබෙන බවත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ප්‍රකාශ කළ බව ද රිෂාඩ් බදියුදීන් සිය පෙත්සමෙන් සඳහන් කරයි.
අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝගයක් මත තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින බවද ඔහු පවසයි.
ඉන් අනතුරුව තම සොහොයුරා ද අත්අඩංගුවට ගැනුණු බව ඔහු කියා සිටී.
තමා අත්අඩංගුවට ගැනීමට සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන රිෂාඩ් බදියුදීන්, සුළු ජාතික දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමන්ව අපහසුතාවයට හා පළිගැනීමට ලක්කිරීමේ අරමුණින් එය සිදුකොට ඇතැයිද චෝදනා කර සිටියි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කර සිටියි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව ඕනෑම කොන්දේසියක් මත මුදාහරින ලෙස අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසත් රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිල නීතීඥ රුෂ්ඩි හබීබ් පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවා පැවසුයේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බවයි.
සබැඳි පුවත් :
THE LEADER TV
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා