දේශපාලන රැකවරණ සොයා එන්නන් ආපසු ශ්‍රී ලංකාවට හරවා යැවීමේ පිලිවෙත හකුලා ගන්නා ලෙස ඕස්ට්‍රේලියාවේ කෙරෙන බලපෑම්
දැඩි කිරීමට බ්‍රිතාන්‍ය නඩු තීන්දුවක් පිටුබලය සපයා තිබේ.
 
 
සරණාගත ප්‍රතිපත්ති පිලිබඳ සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ඔස්ට්‍රේලියානු ආණ්ඩුවට කරන බලපෑම මානව හිමිකම් සංවිධාන විසින් දැඩි කොට ඇත්තේ සංක්‍රමණ සහ සරණාගත නඩු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් රාජධානියේ මහාධිකකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවක් මත පදනම් වෙමිනි.
  
 
ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ලබා දුන් එකී නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිශ්චය සභාව පැවසුවේ “ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට ගියහොත්, ශ්‍රී ලංකාව තුළ බහුලව සිදුවෙමින් පවතින වදහිංසාවන්ට ලක්වීමේ අවදානමකට මුහුණපෑ හැකි” බවයි.
 
 
 
දෙමළ සරණාගත අයැදුම්පත් සලකා බැලීමේදී ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය නිකුත් කර ඇති රටවල් පිළිබඳ වාර්තා ඊට පදනමක් ලෙස යොදා ගැනීම, එය ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දැඩි විවේචනයට ලක් වී ඇත.
 
 
බොහෝ ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ බලාපොරොත්තුවන දෙමළ ජාතිකයන්, මුහුණපාන අයහපත් ප්‍රතිඵලයක් වන්නේ එක්සත් රාජධානි විනිශ්චය සභාව සඳහන් කළ ආකාරයේ විශ්වාස කළ නොහැකි තොරතුරු මත පදනම්ව ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරීමයි.
 
 
‘කරුණු සෙවීමේ මෙහෙයුමක්’ සඳහා යැයි කියමින් ශ්‍රී ලංකාවට පැමිණි කමිටුවක් විසින් නිකුත් කළ වාර්තාවක් මත පදනම්ව එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව විසින් අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබු ජීවිතාරක්ෂාව පිලිබඳ බියෙන් ශ්‍රී ලංකාවෙන් පලා ආ පුද්ගලයන්ට මෙම නඩු තීන්දුව මගින් නැවතත් ඉඩ ප්‍රස්තාවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
 
සත්‍ය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ජාත්‍යන්තර යුක්තිය සඳහා වන ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය (ACIJ) විසින්, ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ කටයුතු සඳහා වන දෙපාර්තමේන්තුව (DFAT) ට කරුණු දක්වමින්, DFAT හි 2019 නොවැම්බර් 4 ශ්‍රී ලංකාව පිලිබඳ තොරතුරු වාර්තාවේ සඳහන් නිගමනවල නිවරද්‍යතාව, ඒවාට එළඹීමට අනුගමනය කළ විධික්‍රමය සහ වලංගුභාවය සම්බන්ධයෙන් ගැටළු මතු කර තිබුණි.
 
 
 
140217124743 manus island 512x288 afp 
පැපුවා නිව්ගිනියාවේ පිහිටා ඇති ඕස්ට්‍රේලියානු සරණාගත කඳවුරක් (BBC) 
 
 
 
මේ අතර, එක්සත් රාජධානි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ඊට සමාන වාර්තාවක්ද ඊට තෝරාගන්නා ලද මූලාශ්‍ර හේතුවෙන් එකහෙලා ප්‍රතික්ෂේප වූ අතර, විවේචනයටද ලක්විය. නඩු තීන්දුවෙන් පසු එම වාර්තාව ඉවත් කිරීමටද එම කාර්යාලයට සිදුවිය.
 
 
නඩු තීන්දුවේ සඳහන් වූ පරිදි, නැවත ශ්‍රී ලංකාවට යාමට සිදු වන පුද්ගලයන් ජීවිත අවදානමකට මුහුණපෑමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින්, එක්සත් රාජධානි අධිකරණ තීන්දුව මත පදනම්ව සිය සරණාගත රැකවරණය සම්බන්ධ ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස මානව හිමිකම් සංවිධාන ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇත.
 
 
“ශ්‍රී ලංකාව තුළ පවතින අවදානම් සහගත තත්වය වෙතට ශ්‍රී ලාංකික සරණාගතයන් බලයෙන් පිටත් කළහොත්, ඔවුන් වදහිංසාවට ලක්වීමේ සැබෑ අවදානමක් ඇති බවට සාක්ෂි ඇත. මෙතරම් ශ්‍රී ලාංකික සරණාගතයන් ගණනකගේ ඉරණම තීරණය කිරීම සඳහා මෙවැනි විශ්වාස කළ නොහැකි වාර්තා දිගින් දිගටම භාවිත කළහොත්, එය සරණාගතයන් අවදානමකට මුහුණපෑමට ඉඩ ඇති රටකට පිටුවහල් නොකිරීම  පිලිබඳ ජාත්‍යන්තර නීතිය යටතේ ඕස්ට්‍රේලියාව බැඳී ඇති වගකීම් උල්ලංඝනය කිරීමක් වනු ඇත. මේවා අතිශයින් බරපතල කරුණුය; ජීවිත ඇත්තේ අවදානමකය,” යි ජාතික යුක්ති ව්‍යාපෘතියේ ප්‍රධාන නීතිවේදී සහ අධ්‍යක්ෂ, ජෝර්ජ් නිව්හවුස්, පැවසුවේය.
 
සරණාගත ආරක්ෂාව සම්බන්ධ ඉල්ලීම් සලකා බැලීමේදී, ස්වදේශ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව, ආගමන ඇගයීම් අධිකාරිය (IAA) සහ පරිපාලන අභියාචන විනිශ්චය සභාව (AAT) යන ආයතනවල තීරණ ගන්නා නිලධාරීන් DFAT විසින් නිකුත් කර ඇති රටවල් පිළිබඳව තොරතුරු වාර්තා සැලකිල්ලට ගත යුතුව ඇත.
 
 
මෙම වාර්තා විශ්වාසදායී සහ බලසම්පන්න ඒවා ලෙස සලකන අතර, තීරණ ගන්නා නිලධාරීන් ඒවායේ නිගමනවලට පිටින් තීරණ ගන්නේ කලාතුරකින්ය.
 
 
විදේශ කටයුතු සහ වෙළෙඳකටයුතු සඳහා වන දෙපාර්තමේන්තුවේ (DFAT) ශ්‍රී ලංකාව සම්බන්ධ 2019 වර්ෂය සඳහා වන වාර්තාව දැඩි ලෙස දෝෂ සහගත වන අතර, මූලිකම කරුණු අතහැර ඇති ආකාරය ITJP සහ ACIJ  මීට පෙර පෙන්වා දී තිබුණි.
 
 
නිවැරදි කරුණු අඩංගු නොවන, ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ සැබෑ තත්ත්වය පිලිබඳ නිසි දැනුමකින් තොර සහ විශ්වාසදායී නොවන මුලාශ්‍ර මත එම වාර්තාව පදනම්ව ඇති DFAT වාර්තාව බැහැර කළ  යුතුය යන ඉල්ලීම ගෙන ඒම සඳහා ITJP සහ ACIJ සංවිධානවලට ඕස්ට්‍රේලියාවේ සරණාගත සහ මානව හිමිකම් සංවිධාන කිහිපයක සහයෝගය ලැබී ඇත.
 
  
මේ තත්වය නිවැරදි කිරීමේ පියවර ගන්නා තෙක්, මෙම වාර්තාව සහ එක්සත් රාජධානි ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාව මත පදනම් වී කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවීමට ආගමන කටයුතු සම්බන්ධ තීරණ ගන්නා නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම සංවිධාන ඉල්ලා සිටී.
 
 
 
එසේම, මෙම වාර්තා මත පදනම්ව තීරණ ගන්නා නිලධාරීන් විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති දෙමළ ජාතිකයන්ගේ දේශපාලන රැකවරණ අයැදුම්පත් කඩිනමින් නැවත සලකා බලන ලෙසද ඉල්ලා ඇත.
 
 
DFAT වාර්තාව විශ්වාස කළ නොහැකි සහ නොසලකා හැරිය යුතු වාර්තාවක් බව ශ්‍රී ලංකාව පිලිබඳ මාර්ගෝපදේශක වාර්තාව ගැන දී ඇති එක්සත් රාජධානියේ අධිකරණ තීන්දුව විසින් වැඩිදුරටත් තහවුරු කර ඇති බව ACIJ හි විධායක අධ්‍යක්ෂ රාවන් අරෆ් පවසයි.
 
 
“ස්වාධීන සහ තහවුරු කරන ලද මුලාශ්‍ර වලින් ලැබෙන ඉතා ප්‍රබල සාක්ෂි තිබියදී ශ්‍රී ලංකාව තුළ සිදුවන වදහිංසාව තවදුරටත් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුනොවන්නක් බව DFAT තරයේ ප්‍රකාශ කර සිටීම පුදුම සහගතයි. DFAT වාර්තාව ශ්‍රී ලංකාව තුළ වදහිංසාවල ව්‍යාප්තිය මෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සිදුකරන පැහැරගැනීම් සහ නීතිවිරෝධී රඳවා තබා ගැනීම් ප්‍රතික්ෂේප කරන අතර, ඒවා නොවැදගත් ලෙස පෙන්වා දේ.”
 
 
 
මුලාශ්‍රය :
 
 
 
 
THE LEADER TV 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 
.
 
 
ITN සභාපති : ජනපතිට හා අගමැතිට හයිය පෙන්නයි!
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image