20 වන සශෝධනය මඟින් රටේ සමස්ත බලය එක හස්තයකට නතු කරගෙන ඇති පසුබිමක

සමස්ත රටම අවුල් වී ඇති බව දැන්වත් අප තේරුම් ගත යුතු යයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.  

 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති දේශබන්දු කරු ජයසූරිය එබව සඳහන් කළේ අද (16) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය. 
 
20 වන සංශෝධනයෙන් නිර්මිත ඒකාධිපති රාජ්‍යයක අත් පා හකුලුවා ගෙන ජීවත් වනවාට වඩා කොරෝනා රෝගය වැළඳී මිය යෑම වඩාත් සැනසිලිදායක බව හිටපු කතානායකවරයා එහිදී සඳහන් කළේය.
 
එහෙත් එම ඉරණම මේ රටේ ජනතාවට අත් නොවනු දැකීම තම සංවිධානයේ ඒකායන ප්‍රාර්ථනාව බවද ඔහු කියා සිටියේය. 
 
 
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කරු ජයසුරිය තව දුරටත් මෙසේද පැවසිය.
 
 
''අප රට මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් බරපතල දැවැන්ත අර්බුදයකට ය. මාරාන්තික කොරෝනා වසංගතය මුළු රට ම ගිලගෙන තිබේ. 
 
එහෙත් අද රටේ දේශපාලන බලධාරීන් එය තම බලය රැකගැනීමට හා පවත්වාගෙන යාම සඳහා උදා වූ වසන්තයක් ලෙස මිස වහා මර්දනය කළ යුතු වසංගතයක් ලෙස සලකන බවක් නොපෙනේ. 
 
රෝග බිය නිසා ජන ජීවිතයේ ඇති වී තිබෙන අක්‍රීයභාවය ජනතාව වීදි බැසීමේ අනතුර වලක්වා ගැනීමට ලැබී ඇති අවස්ථාවක් ලෙස මිසක කොරෝනා දුරු කළ යුතු වසංගතයක් ලෙස ඔවුන් සලකන බවක් පෙනෙන්නට නැත.
 
 එය පාලනය කිරීම සඳහා මෙතෙක් ගත් සෑම උත්සාහයක් ම අසාර්ථක වීමට බලපා ඇති කරුණු විමසා බැලීමේදී එවැනි සැකයක් ජනතාව තුළ ඇති වීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් ඒ පිළිබඳව අපට ඇත්තේ බලවත් කම්පාවකි.''
 
 
එහෙයින් දැන්වත් රජය මේ අනතුර නිවැරදිව හදුනාගත යුතු බවත්, රටක් ලෙස අප එයට සාර්ථකව මුහුණ දීමට නම් රටේ සමස්ථ ජනතාවගේ ජීවිත වලට නිසි ආරක්ෂාවක් ලබා දිය යුතුම බවත් හිටපු කතානායකවරයා කියා සිටියේය.
  
එම කාරණය තවදුරටත් පැහැදිලි කළ කරු ජයසුරිය, ඒ සඳහා සියලුම පාර්ශවයන්ගේ එකඟත්වයකින් යුතුව පුළුල් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීම අත්‍යවශ්‍යම බවද අවධාරණය කර සිටියේය.
 
එසේ නොවුනහොත් මේ රටේ මිනිස් ජිවිත දහස් ගණනක් බිලි දීමේ විපාකය කවදා හෝ අදාළ වගකිව යුත්තන්ට ද විඳ ගන්නට සිදුවනවා නොඅනුමාන බවද ඔහු පැවසිය.
 
 
 
 
රටේ ආරක්ෂාවට බරපතල ප්‍රතිවිපාක ඇති කරවන තත්වයක්:
 
Lanka economy 2021
රටේ ආර්ථිකය ද මේ වන විට කඩා වැටෙමින් තියනවා
 
 
''අද මෙම මාධ්‍ය හමුව අප සංවිධානය කළේ බලධාරීන්ට ඒ බව නැවතත් පෙන්වා දිමටය. එපමණක් ද නොව අද වන විට මේ රට තල්ලු කරමින් සිටින දැවැන්ත ප්‍රපාතයේ ගැඹුර ජනතාවට පෙන්වා දෙන්නටය.  
 
මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්වය ජනජීවිතයට පමණක් නොව රටේ ඉදිරි ආරක්ෂාවට ද බරපතල ප්‍රතිවිපාක ඇති කරවන තත්වයක් මතු කර තිබේ. 
 
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොව රටේ ආර්ථිකය ද මේ වන විට කඩා වැටෙමින් පවතී. ජීවන වියදම උසුලා ගත නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. 
 
නීතියේ ආධිපත්‍යය හා ඒ මඟින් ජනතාවට ලැබිය යුතු රැකවරණය සැළසුම් සහගතව අවතක්සේරු කරමින් ඇත. 
 
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් අක්‍රිය කරමින් අත්තනෝමතිකත්වය රජ කරවමින් සිටී. 
 
අද මේ රටේ ගොවියාට වගා කිරීමට පොහොර නැත. 
 
දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකියාවක් නැත. 
 
ධීවරයා අසරණ කර තිබේ. 
 
රාජ්‍ය ආයතන බොහොමයකම විධිමත් ලෙස වැඩ කටයුතු කරන්නේ නැත. 
 
සියල්ල තීන්දු කරන්නේත්, මෙහෙය වන්නේත් එකම එක තැනකිනි. 
 
  
එවැනි තත්වයක් උදා වී ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ලබා ගත් බලයෙනි. ඒ අතර අපේ විදේශ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ශිෂ්ට සම්පන්න ලෝකයෙන් ඈත් කරවමින් තිබේ. මෙම තත්වය මේ රටේ සමස්ත  ආර්ථිකයට කණකොකා හඩවන පසුබිමක් නිර්මාණය කර තිබේ. 
 
un
 
මෙයට දින කිහිපයකට පෙර යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව මඟින් ගත් තීරණයෙන් පෙන්නුම් කරන්නේ ද එයයි. 
 
මේ වන විට අප රටේ පවත්නා තත්වය අනුව ජී.එස්.පී.ප්ලස් බදු සහනය අහිමි කරන්නට ඔවුන් කටයුතු කළහොත් ඒ මඟින් රටට ඇති කර විය හැකි ප්‍රතිඵලය අප සියල්ලන් ම නිවැරදිව අවබෝධ කර ගත යුතුය.
 
 සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ බුද්ධි මණ්ඩලය තක්සේරු කර ඇති ආකාරයට ඒ මඟින් රටට බරපතල ප්‍රතිඵල අත්කර දීමට බොහෝ දුරට ඉඩ තිබේ. 
 
යුරෝපා සංගමය මඟින් ලබා දෙන ජී.එස්.පී. බදු සහනය අපේ රටේ ආර්ථිකයට සැලකිය යුතු මට්ටමේ වැදගත් දායකත්වයක් ලබා දෙමින් තිබේ. 
 
ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කිරීමෙන් ලබා ගන්නා ආදායම යුරෝ බිලියන 2.8 ක් වෙතැයි සැලකේ. අප රටේ අපනයන වලින් 30%ක් ම සිදු කරන්නේ යුරෝපා රටවලටය. 
 
මෙරට ඇඟලුම් නිශ්පාදන වලින් 60%ක් ම අලෙවි කරන්නේ ඔවුන්ට ය. එය සැලකිය හැකිකේ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳපොල ලෙසට ය.  
 
මේ වන විට ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන භාණ්ඩ අතර ඇඟලුම් නිශ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන, එළවළු, තේ, මත්ස්‍ය ආහාර හා සුරතල් මසුන්, ටයර් හා ටියුබ්, පොසිලේන් භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, දියමන්ති - මැණික් හා ස්වර්ණාභරණ, අත් යන්ත්‍ර රෙදි පිළි, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු අයිතමයන් රැසක් වේ. 
  
අප රටේ නිශ්පාදනයන් ද ඇතුළු කර්මාන්ත කරුවන් ජි.එස්.පී. සහනය යටතේ මොනතරම් වාසියක් ලබාගනිමින් සිටිනවාද යන්න ඒ අනුව තේරුම් ගත හැකිය. 
 
 
මෙම සහනය මුලින් ම අපට ලැබුණේ සුනාමි ව්‍යසනයෙන් පසුවයි. එනම් 2005 වසරේ දීය. 
 
එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී මේ රටේ සිදු වූ ඇතැම් අමිහිරි සිදුවීම් හා විශේෂයෙන් ම 18 වන සංශෝධනය මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීම වැනි කරුණු හේතුවෙන් 2010 වසරේදී එය අපට අහිමි වුණා. 
 
එහෙත් 2015 වසරේ දී බලයට පත් රජය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කිරීමත් සමඟ 2017 වසරේ දී නැවත එම සහනය ලංකාවට හිමි වුණා. 
 
එය නැවත ලංකාවට ලබා ගැනීම සඳහා එවකට සිටි අග්‍රාමාත්‍යවරයා මෙන් ම තවත් අමාත්‍යවරු ගණනාවක් ම ගනු ලැබූ උත්සාහය මෙහි දී අපට සිහිපත් වෙනවා. 
 
යුරෝපා රටවල පාර්ලිමේන්තු සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පත්වාගෙන ගිය සුහද සම්බන්ධතා නිසා අවස්ථා ගණනාවකදී ම අපත් ඊට මැදිහත් වුණා. රාජ්‍යතාන්ත්‍රිකයන් ගණනාවක් සමඟ අපත් මේ ගැන සාකච්ඡා කරනු ලැබුවා. 
 
අද වන විට අපට නැවතත් අහිමි වීමට යන්නේ එදා ඒ ආකාරයට බලවත් වෙහෙසක් දරමින් සාමූහිකව අප ලබාගත් එම ජයග්‍රහණයයි. 
 
 
මෙහිදී ශ්‍රී ලංකාවේ ජනතාව අමතක කළ යුතු නැති කරුණක් ද තිබෙනවා. එනම් අප රටේ පාලකයන්ගේ අත්තෝනෝමතික භාවයන් හා අදූරදර්ශීකම නිසාම අපට අහිමි වූ මේ ආකාරයේ වරප්‍රසාද දකුණු ආසියාවේ ඇතැම් රටවල් අත්පත් කරගත් බවයි.
 

 
 
බංගලාදේශය මේ සඳහා දැක්විය හැකි උදාහරණයකි. බංගලාදේශය හා පිලිපීනය වැනි රටවල් ඇඟලුම් කර්මාන්තයෙන් බොහෝ ඉදිරියට ගොස් සිටින්නේ ඒ ආකාරයටය. 
 
අද වන විට අප රටේ සේවක පිරිස් හා කළමනාකරුවන් විශාල පිරිසක් බංගලාදේශය තුළ රැකියාවන් කරනවා. 
 
 
 
යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව තීරණය ?
 
අප රටේ බුද්ධිමත් ජනතාව මේ කාරණවට අදාළව විමසා බැලිය යුතු වැදගත්ම දේ වන්නේ ලංකාවට ලබා දෙමින් සිටින ජී.එස්.පී.ප්ලස් බදු සහනය ගැන නැවත සලකා බලන්නට යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව තීරණය කළේ කුමන හේතූන් පදනම් කරගෙන ද යන්නයි. 
 
 
එම යෝජනාවට පක්ෂව ඡන්ද 628ක් ලබා දී තිබෙනවා. ලංකාව පිළිබඳව ලැදියාවකින් යුතුව ලබා දී ඇත්තේ ඡන්ද 15ක් පමණයි. ඒ සමඟ ඡන්දය නොදුන් 42 දෙනෙකු පමණ සිටින බවද පෙනෙන්නට තිබෙනවා.  
එහෙම වුණේ ඇයි. 
  
අප හොඳින් ම දන්නා ආකාරයට මේ කිසිම රටක් ශ්‍රී ලංකාවේ ජනතාවට විරුද්ධ නැහැ. එහෙත් අප රටේ පාලකයන්ගේ අත්තනෝමතික, අදූරදර්ශී හා ජනහතුරු ක්‍රියා මාර්ග වලට ඔවුන් පක්ෂපාතීත්වයක් දක්වන්නේ නැත. සැබෑ තත්වය වන්නේ එයයි. 
 
ඔවුන් අද විරුද්ධත්වය පල කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට ය.
 
 මානව හිමිකම් ද ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් මහ දවාලේ අමු අමුවේ ම උල්ලංඝනය කරමින් සිටීමටය.
 
 ඔවුන් මෙසේ කටයුතු කරන්නේ ද සහේතුකවය. 
 
ඒ සඳහා කරුණු ගණනාවක් ඔවුන් විසින් ම පෙන්වා දී තිබෙනවා. 
 
එනම් මන්ත්‍රීවරුන්, නීති නිලධාරීන් හා අවංක රජයේ සේවකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, නීතිඥයින්, ලේඛකයන් හා කවීන් නිසි නීතිමය ක්‍රියාමාර්ග හා යුක්තිය සඳහා වන ප්‍රවේශයක් නොමැතිව අත්තඩංගුවට ගෙන රඳවා තබා ඇති නිසාය. 
 
පොලිස් භාරයේ සිටින සැකකරුවන් ඝාතනය කරන ප්‍රවණතාවයක් රට තුළ වර්ධනය වෙමින් පවතින නිසාය. 
 
රජයේ භාරයේ සිටි සිරකරුවන් වෙඩි තබා මරා දමන නිසාය. 
 
කොමිෂන් සභාවලට සමහර ක්‍රියාකාරී ආණ්ඩුවේ හිතවතුන් පත්කිරීමත් යුරෝපියානු සංගමයේ අවධානයට යොමුවී තිබෙනවා.
 
මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු අතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, හිජාස් හිස්බුල්ලා වැනි අය මුහුණ දෙමින් සිටින තත්වයන්  ද බැරැරුම් ලෙස සැලකිල්ලට ගෙන ඇති බවත් පෙනී යයි. 
 
 Shani Hijaz
ශානි අබේසේකර -හිජාස් හිස්බුල්ලා 
 
මේ රටේ අවංක මෙන් ම අති දක්ෂ පොලිස් නිලධාරියෙකු ලෙස සැලකෙන ශානි අබේසේකර මහතාට කොවිඩ් රෝගය වැලදී තිබෙන අවස්ථාවක දී ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙන පොළොන්නරුවේ කන්දකාඩු කඳවුරට රැගෙන ගිය ආකාරයත්, බරපතල හදවත් ශල්‍යකර්මයකට මුහුණ දුන් දිනම ඔහු කොළඹ ජාතික රෝහලේ සිට පොලිස් රෝහල වෙත රැගෙන ගිය ආකාරයත් මේ රටේ ජනතාවට ද රහස් නොවේ. 
 
මේ වන විට අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ ඔහුව හිරකරගෙන සිටී. 
 
අඩුම වශයෙන් අධිකරණයක් හමුවේ ඔහුට එරෙහිව නිශ්චිත චෝදනා ගොනු කර ඇති ආකාරයක් නොපෙනේ. 
 
නිසැක වශයෙන් ම මේවා අති අමානුෂික දුෂ්ඨ ක්‍රියාවන්ය. 
 
පලිගැනීමේ වුවමනාවෙන්ම කළ ක්‍රියාවන් ලෙස මේවා සැලකිය හැකිය.  මේ කරුණු නව නීතිපතිවරයාගේ ද අවධානයට යොමු යොමු විය යුතුයි .
 
මේවාට අනුබල දෙන හා ඒ තුළ තම වරප්‍රසාද රැකගන්නට කටයුතු කරන අපරාධ අංශයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ද සිටින ආකාරයත් පෙනෙන්නට තිබේ.
 
 ඔවුන් අද මේ කරමින් සිටින්නේ මෙරට පොලිස් දෙපාර්තමේන්තුව ද රට ද හෑල්ලුවට ලක් කිරීමකි. 
 
ඒ නිසා පොලිසියේ ගෞරවය හා තම අවංක නිලධාරීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස්පතිවරයා දැන්වත් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවගේ ද අපේක්ෂාව වන්නේ එයයි.  
 
 thusith
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ
 
 
එමෙන් ම ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාට අත්කර දී ඇති කණගාටුදායක ඉරණම ගැන ද අප බලවත් ලෙස කම්පා වෙනවා. 
 
ඔහු තම දෙපාර්තමේන්තුවෙන් පවරන ලද රාජකාරී අවංකවත්, නිසි ආකාරයටත් සිදු කළ අති දක්ෂ නීති නිලධාරීවරයෙකු ලෙස සැලකිය හැකිය. ඒ හේතුව නිසා ම අද ඔහුට වන්දි ගෙවීමට සිදු වී තිබේ. 
 
දේශපාලන පලිගැනීම පිළිබඳ ඊනියා කොමිසමේ සභාපතිවරයා ඔවුට එරෙහිව එල්ල කර ඇති පදනම් විරහිත චෝදනා හේතුවෙන් ඇති කළ කම්පනය නිසා අද ඔහු බරපතල රෝගියෙක් බවට පත්කර තිබෙනවා. 
 
නව නීතිපතිවරයා හෝ ඔහුට හිමිවිය යුතු යුක්තිය ඉටු කරනු ඇත්දැයි අද අප බලා සිටිනවා.''  
 
එසේම අද මේ රටේ  ජනතාවට නිදහසේ තම අදහසක් පවා ඉදිරිපත් කිරීමට ඉඩක් නොදෙන තත්වයක් ඇති කර තිබෙන බව පැවසු හිටපු කතානායකවරයා, සමාජජාල තුළ පල කරන අදහස් වාරණය කරන්නට කටයුතු කිරීම යනු ජනතාවගේ අදහස් සිරකර තබන්නට ගනු ලබන උත්සාහයක්  මිස අන් කිසිවක් නොවේ යයි අවධාරණය කර සිටියේය. 
 
ITSSL
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති
 
 
''ශ්‍රී ලංකා පරිගණක සංසදයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමද ඊට එක් උදාහරණයක් පමණකි. එපමණක් ද නොව සිවිල් ඇඳුමෙන් සැරසුන යම් පිරිසක් නිවසට පැමිණ ඔහුගේ මවට ද තර්ජනය කර ඇති බව අපට වාර්තා වෙනවා. මෙවැනි දේවල් අසන්නට ලැබුණේ හිට්ලර් වැනි බිහිසුනු පාලකයන්ගේ යුගවල දීය. හිට්ලර් යටතේ පැවති ගෙස්ටාපෝ නම් වූ ම්ලේච්ඡ මිනීමරු කල්ලි මඟින් එවැනි දෑ සිදුකළ ආකාරය අප අසා තිබෙනවා.  එහෙත් ගරු අධිකරණය යුක්තිය වෙනුවෙන් පෙනි සිටිමින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීම ප්‍රතික්ශේප කර තිබෙනවා. ඒ පිළිබඳව ගරු අධිකරණයට අපගේ ගෞරවය පුද කර සිටිනවා.  
 
 
 
යුරෝපා පාර්ලිමේන්තුව පවා මෙවැනි අකටයුතුකම් ඉවසන්නේ නැහැ. 
 
ඒ අනුව පෙනී යන්නේ යුරෝපා පාර්ලිමේන්තුව පවා මෙවැනි අකටයුතුකම් ඉවසන්නේ නැති අතර. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවද අප රටේ ජනතාව මුහුණ දෙමින් සිටින තත්වයන් ගැන ද විශාල හඬක් නගා තිබෙනවා.
 
එපමණක් නොව සමස්තයක් වශයෙන් ගත් කල්හි ඇතැමුන් අද මේ රටේ නීතිය විහිළුවක් කරගෙන තිබෙනවා. 
 
අද මේ රටේ ක්‍රියාත්මක වන්නේ එක නීතියක් නොවේ. අඩුම වශයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර කවයට අදාළව හෝ එය සමානව ක්‍රියාත්මක වන්නේ නැහැ. 
 
මොරටුව නගරාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය කුරුණෑගල බුවනෙක රාජ සභා මණ්ඩපය විනාශ කළ පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැහැ. 
 
 
අනුරාධපුර සතොස ආයතනයට අයත් අරක්කු ගබඩාවට ඇතුළු වූ හමුදා නිලධාරීන් පිරිසක් අරක්කු රැගෙන ගිය පුවතක් අප දුටුවා. 
 ‍ 
එය එසේ නම් මේ රටේ නීතියක් තිබෙන්නේ කොතැනකද ?
 
සේනාධිනායකයා වන මේ රටේ රාජ්‍ය නායකයාට ද ඔවුන් කර ඇත්තේ බරපතල අවමානයක්. 
 
මෙවැනි සිදුවීම් පිළිබඳව රටක් ලෙස අප තවදුරටත් ඇස් කන් පියාගෙන සිටිය යුතුද. ඒ ගැන අප සියලු දෙනාම ගැඹුරින් කල්පනා කළ යුතු වෙනවා.  
 
අප මේ කරුණු ඉදිරිපත් කරන්නේ නීති ගරුක, යුක්ති ගරුක, ජනතාවට ගරුත්වයක් ලබා දෙන රටක් පිළිබඳව අප තුළ පවත්නා අපේක්ෂාව නිසයි. කිසිවකු අපහාසයට, අපහසුතාවයකට පත්කිරීමේ වුවමනාවක් අපට නැත.
 
 එහෙත් මේ රටේ අනාගත පරපුරට හෝ යහපත් රටක් අප ඉතිරි කර යා යුතුයි. ඒ නිසා මේ රටේ බලධාරීන් මෙම කරුණු පිළිබඳව බුද්ධිමත්ව අවධානය යොමු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ''

 

 


 

THE LEADER TV 
 
 
 
බැසිල් ජනපති-අගමැති එක්ක ගේමකට එන්නේ ඇයි?
 
 
 
 
බැසිල්-ගම්මන්පිල ගැටුමෙන් එළියට ආ කොමිස් කතාව? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්