ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම යටතේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මැදිහත්වීම මත

ඇටවීමට නියමිත 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' (DEMOCRATIC NATIONAL FRONT) සඳහා යෝජිත ව්‍යවස්ථාව, එක්සත් ජාතික පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් බවට එම පක්ෂයේ බහුතරයක් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් චෝදනා කරද්දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට සහය පළකර තිබේ.

ඒ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිර අගමැති නිල නිවසේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

පැය කිහිපයක් පුරා පැවති දීර්ග සංවාදයකින් පසු සන්ධානයකට විරුද්ධ අය අත් ඔසවන්නැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉල්ලිමක් කර ඇති අතර එහිදී සියලු දෙනාම එකහඬින් පවසා ඇත්තේ, එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් සන්ධානයක් ගොඩනැගීමට කිසිඳු ලෙසකින් විරුද්ධ නොමැති බවයි.

එහෙත් එවැනි සන්ධානයක් වෙනුවෙන් යෝජනා කර ඇති ව්‍යවස්ථා කෙටුම්පතට එකඟ නැතැයි බහුතරයක් පවසද්දී, රවී කරුණානායක, නවින් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, සාගල රත්නායක, අඛිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, සරත් ෆොන්සේකා, තිලක් මාරපන, සිරිනාල් ද මැල්, කේ.කේ. පියදාස, ස්වාමිනාදන් හා කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනා ඊට සහය පළකර ඇත.

DNF team

ඊට අමතරව එජාප නායකයා විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කරන ලද නිශ්ශංක නානායක්කාර, ලසන්ත ගුණවර්ධන, මහින්ද හාරදාස්, ජෙයරාජ් චන්ද්‍රෙස්කර, ෂර්මාල් සෙනරත්, සුනේත්‍රා රණසිංහ, නිලමේ තෙන්නකොන් සහ සුනිල් ද සිල්වා යන අට දෙනා ද ඊට සහය පලකරමින් අත් ඔසවා ඇත.

අනතුරුව සන්ධාන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින විරෝධතා හා යෝජනා පක්ෂයේ සභාපතිවරයාට බාරදෙන්නැයි කියමින් එජාප නායකයා සභාවේ කටයුතු නිමකර ඇත.

එම සංශෝධන ගැන සකච්ජාකර එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා හෙට හෝ අනිද්දා දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවන්නැයි අමාත්‍ය සුජීව සේමසිංහ විසින් කළ යෝජනාවට රනිල් වික්‍රමසිංහ ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එහිදී රනිල්-රාජිත ව්‍යවස්ථාවට සහය පලකළ නවින් දිසානායක පවසා ඇත්තේ කවුරු විරුද්ධ වුවත් අගෝස්තු 05දා අලුත් සන්ධානය අත්සන් කරන බවයි.

68 දෙනෙකුගෙන් සමන්විත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් අතරින් 49 දෙනෙකු අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී විය. එහිදී රනිල්-රාජිත සන්ධාන ව්‍යවස්ථා කෙටුම්පතට සහය පළකළේ ඉහත සඳහන් 21 දෙනා පමණි.

 

ව්‍යවස්ථාවේ පිටපතක් නොදී අනුමතකර ගන්න හදලා !

Sujeewa Talkඑජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ අද දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ කරමින්, එක්සත් ජාතික පක්ෂය, තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව අගෝස්තු 05 දා අලුත් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බවත්, අද රැස්වීම කැඳවුයේ ඊට අදාලව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා බවත් පවසා තිබේ,

එහිදී අමාත්‍ය සුජීව සේනසිංහ පවසා ඇත්තේ එවැනි ව්‍යවස්ථා කෙටුම්පතක් කිසිවකු දැක නොමැති බවයි. ඇතැම් සමාජ මාධ්‍යවල එවැනි ගිවිසුමක පිටපතක් පළකර ඇතත් එය සත්‍ය පිටපතක් දැයි නොදන්නා බව පවසා ඇති ඇමතිවරයා, ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි අගමැතිවරයා ගෙන් ඉල්ලා ඇත.

ගිවිසුමේ පිටපත් නොබෙදා එහි සඳහන් කරුණු එකින් එක කියවීමට අගමැතිවරයා යෝජනා කර ඇතත් සුජීව සේනසිංහ ඊට විරෝධය පළකර තිබේ.

''සර් කැත වැඩ කරන්න එපා. විශ්වාස භංග වෙලාවේදී සර් අපි පස්සේ වැඳ වැටීගෙන ආවා. දැන් අපිට පක්ෂය අත්සන් කරන්න යන ගිවිසුමක පිටපතක් වත් දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට පනතක් ගෙනකොටත් සති කිහිපයකට ඉස්සෙල්ල මන්ත්‍රීවරුන්ට දෙනවා, අදහස් යෝජනා ඉදිපත් කරන්න. මේවා කුමන්ත්‍රණ. අපට මේවට හවුල් වෙන්න බැහැ ..'' ආදී ලෙසින් ඔහු ආවේගයෙන් යුතුව අදහස් දක්වා තිබේ.

එහිදී අමාත්‍ය අජිත් පි පෙරේරා ද දැඩි ආවේගයෙන් යුතු අදහස් දක්වා ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඊට විරෝධය පළකරමින් විනාඩි 45කට පමණ පසු ගිවිසුමට අදාල කෙටුම්පතේ පිටපත් බෙදා දී තිබේ.

 

ජයම්පතිගේ වැඩක් !

යලිත් අදහස් දක්වා ඇති අමාත්‍ය සුජීව සේනසිංහ, ''සර් මමත් නීතිඥයෙක්, කවුද සර් මේවගේ අපේ පක්ෂය පාවාදෙන ගිවිසුමක් ලිවුවේ? යයි දැඩි ආවේගයෙන් විමසා ඇති අතර අගමැතිවරයා පවසා ඇත්තේ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න විසින් එම ගිවිසුම සැකසු බවයි.

මෙහිදී සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රන්ජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේරසිංහ, අජිත් පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, ඒ.විජේතුංග, හර්ෂ ද සිල්වා, දයා ගමගේ, ගාමිණී ජයවික්‍රම පෙරේරා, වසන්ත සේනානායක, රවීන්ද්‍ර සමරවීර, තලතා අතුකෝරල, ඉමිතියාස් බකීර් මාකර් හා රුවන් විජේවර්ධන යන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් විසිදෙනා (20) නව සන්ධානයේ ව්‍යවස්ථාව එජාප මන්ත්‍රීවරුන් හා කෘත්‍යාධිකාරීය බාල්දු කිරීමක් බව පෙන්වා දී තිබේ.

මෙවැනි සන්ධානයක් ඇති කිරීමට පෙර ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවය ඔවුන් විසින් අවධාරණය කර තිබේ.

එහිදී ගයන්ත කරුණාතිලක, නිරෝෂන් පෙරේරා, එඩ්වඩ් ගුණසේකර , සිඩ්නි ජයරත්න හා තුසිත විජේමාන්න යන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පස්දෙනා (05) ඉහත කථිකයින්ගේ ප්‍රකාශ අනුමත කරමින් ඊට සහය පළකර තිබේ.

 

ෆොනී තනිවම සටනේ

අගමැති රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් අති බහුතරයකගේ වාග් ප්‍රහාරයට ලක්ව සිටියදී සන්ධානයේ ව්‍යවස්ථාවට පක්ෂව අදහස් දක්වා ඇත්තේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පමණි. එජාප මහ ලේකම් අඛිල විරාජ් අවසන් මොහොතේ වචන කිහිපයක් පවසා ඇතත් ව්‍යවස්ථාව පක්ෂව අත එසවූ අනෙකුත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබේ.

 

ව්‍යවස්ථාව එරෙහි ඇයි ?

සන්ධාන ව්‍යවස්ථාවට එරෙහිවුවන් ඉදිරිපත් කළ කරුණු සැකෙවින් මෙසේය.

01. ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩලයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනට පවතින හිමිකම අහිමි කර ඇත.

(අ) මෙම පෙරමුණේ යෝජිත ව්‍යවස්ථාවේ 23(b) වගන්තියේ පාර්ලිමේන්තු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා නාම යෝජනා තෝරාගන්නා ආකාරය දක්වා ඇත. එහෙත් ජනාධිපතිවරණයක් සඳහා අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබඳ එම වගන්තිය නිහඬය.

ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම ?

යෝජිත ව්‍යවස්ථාවේ 62 වගන්තියේ මෙසේ දක්වා ඇත.
''The Leadership Council shall be entitled to take suitable decisions on all matters on which Constitution is silent.''

ඒ අනුව ''නායකත්ව මණ්ඩලය'' විසින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනු ඇත.

(ආ) නායකත්ව මණ්ඩලයේ සංයුතිය සහ බලතල පිළිබඳව යෝජිත ව්‍යවස්ථාවේ 19 වන වගන්තියේ, පහත සඳහන් පරිදි දක්වා ඇත. ඒ අනුව,

(i) නායකත්ව මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 10 දෙනෙකු හෝ ඊට වැඩිය.

(ii) පෙරමුණේ සෑම පක්ෂයක්ම නියෝජනය කිරීමට එක් සාමාජිකයෙකු පමණක් පත්වන අතර, ඊට අමතරව රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග එහි සාමාජිකයන් වේ.

(iii) එක්සත් ජාතික පක්ෂය යෝජිත පෙරමුණේ ඡන්ද පදනමෙන් 80% කට වඩා නියෝජනයට කරන නමුත් එක්සත් ජාතික පක්ෂයට නායකත්ව මණ්ඩලය තුළ හිමි වන්නේ එක් නියෝජිතයෙකු (එක අසුනක්) පමණි.

(iv) එම නියෝජිතයා වර්තමාන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය.

(v) යෝජිත ව්‍යවස්ථාවේ 20 වන වගන්තියට අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයාට ''නායකත්ව මණ්ඩලය'' තුළ තීරක බලය ඇත.

''If the Council is unable to reach consensus on any issue, the decision shall be supported by a majority of the members of the Council AND a majority of the constituent parties represented in the Leadership Council. The values of the vote of the nominee of the United National Party shall be equal to fifty per centum plus one (50%+1) of the total membership of the Leadership Council''

(vi) ඒ අනුව යෝජිත ව්‍යවස්ථාවේ 23(ඉ) සහ 62 වගන්තිය සමග කියවිය යුතු, 20 වන වගන්තිය ප්‍රකාරව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට, ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ''ඔහුගේ නම'' හෝ ඔහු පෞද්ගලිකව කැමති ''වෙනත් අයෙකුගේ'' නම යෝජනා කළ හැක. එය කිසිවෙකුට අභියෝග කළ නොහැක.

(vii) ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ව්‍යවස්ථාව ප්‍රකාරව, එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර බලයෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට දැනට ඇති අයිතිය පක්ෂයට අහිමිවේ.

(viii) යෝජිත පෙරමුණේ ව්‍යවස්ථාවට එකඟ වී අත්සන් තැබුවහොත්, ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාධාරණ ලෙස ජනාධිපතිවරයා අපේක්ෂකයා තෝරා ගැනීමට එම යෝජිත සන්ධානයේ ඡන්ද පදනමෙන් 80 වැඩි ප්‍රමාණයකට වගකියන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට දීර්ඝ කාලයක් තිස්සේ තිබූ හිමිකම අහිමි වී යයි.

එය පක්ෂයේ සාමාජිකයන්ගේ අපේක්ෂාවන්ට පටහැනිය. එවැනි තත්වයක් අදටත් වඩා ඒකාධිපති හා ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයක් ඇති කරන අතරම, නියත මැතිවරණ පරාජයකටද පදනම සකසයි.

(02) එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් ඉවත් කොට ඒ වෙනුවට සෑම මැතිවරණ කොට්ඨාශයක් සඳහාම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සංවිධායකවරු පත් කරනු ඇත.

16 - As organicer may be appointed to each and every polling division in the country. Where the polling division consist of members of different communities, more than one organizer may be appointed.

 

ජීවිත කාලයකටම නායකයා රනිල්?

(03) ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා ලෙස ජීවිත කාලයකටම (අවිනිශ්චිත කාලයකට) තමන්ගේම තනි මතයට පත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ සලසයි.

''24 -There shall be a Leader of the Front.
The Members of the Leadership Council shall at its first meeting and whenever a vacancy occurs in the position of Leader, select the Leader of the Front who shall function as the Head of Council for a given period decided by the Council.

පෙරමුණේ පළමු නායකයා තෝරා ගැනීම ''නායකත්ව මණ්ඩලය'' විසින් සිදු කරනු ඇත. නායකයාගේ ධූර කාලයද නායකත්ව මණ්ඩලය විසින්ම තීරණය කරනු ඇත. නායකත්ව මණ්ඩලයේ ඡන්ද බලයෙන් (50%+1) ක බලයක් රනිල් වික්‍රමසිංහ මහතාට ඇත. ඔහුට ඔහුගේ ''තනි ඡන්දයෙන්'' පෙරමුණේ යාව ජීව නායකයා විය හැකිය. මෙය ප්‍රජාතන්ත්‍රවිරෝධී වන අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනට ඉතිරිව ඇති සියලුම බලයද අහිමි කරවයි.

 

(04) ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ බලය ඇති විධායක කමිටුව (Extutive Committee) තුළ තීරණ ගැනීමේදී එක්සත් ජාතික පක්ෂයට ඇති පාලනය සම්පූර්ණයෙන්ම අහිමි කර ඇත. (අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර ඇති පරිදි ජනවාර්ගික ගැටලුවට හා ආර්ථික ප්‍රති සංස්කරණ වැනි දේශපාලනික කරුණු)

(a) The Executive committee shall attempt to ensure that all decisions of the committee are by consensus.

(b) Where it is not possible to reach a unanimous decision, a decision shall be valid only if at least seventy percent (70%) of the Members of the committee AND a majority of the constituent parties represented in the committee shall agree.

(c) All constituent parties and individual members of the Front shall be bound by such decision''

එම යෝජිත ව්‍යවස්ථවේ 26 වන වගන්තිය අනුව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී,

(i) විධායක කමිටුවේ සම්පූර්ණ සාමාජිකයන්ගෙන් 70% කගේ අනුමැතිය සහ,

(ii) සාමාජික පක්ෂවල බහුතරයක්ද,

යන ''දෙයාකාරයේම'' එකඟතාවයක් ලැබිය යුතුය. මෙම තත්වය තුළ පෙරමුණේ ඡන්ද පදනමෙන් 80% වඩා බරක් දරන එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිපත්තිමය කරුණු තීරණය කිරීමට ඇති පාලනය සම්පූර්ණයෙන් අහිමි කර ඇත. මෙය ප්‍රතිපත්තිමය කරුණුවලට අදාළව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සතු අයිතිය සම්පූර්ණයෙන්ම පාවා දීමයි.

(05) පෙරමුණේ මහලේකම් ධූරය එක්සත් ජාතික පක්ෂයට අහිමි වේ.

යෝජිත ව්‍යවස්ථාවේ 26 වන වගන්තිය ප්‍රකාරව,

1. පෙරමුණු නායකයා
2. පෙරමුණු ලේකම්
3. භාණ්ඩාගාරික

යන තනතුරු 3 සඳහා තෝරා ගනු ලබන්නේ ඉහත විස්තර කළ පරිදි විධායක කමිටුවේ 70% ක සහ සාමාජික පක්ෂවල බහුතරය යන අවශ්‍යතා දෙකම සම්පූර්ණ වූ විටය. ''නාම යෝජනා' සහ ''විනය'' පිළිබඳ පාලනය සහිත මහලේකම් ධූරය තෝරා ගැනීම පිළිබඳ තීරක බලයක් (Veto Power) එක්සත් ජාතික පක්ෂයට නැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) සහ පොදු පෙරමුණ (PA) වැනි දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ සන්ධාන තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ''තීරක බලය'' සෑම විටම තිබුණි. එම සන්ධානවල මහලේකම්වරයා සෑම විටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් කරන ලදී.

දැනට රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කර ඇති පරිදි ''තනි පුද්ගලයෙකු'' වන රාජිත සේනාරත්න යෝජිත පෙරමුණේ ලේකම් ධූරයට පත් කිරීම එක්සත් ජාතික පක්ෂයට බලවත් අනතුරකි.

 UNP Sajith

රනිල්ගේ අරමුණ?

නව සන්ධානය පිහිටුවා සජිත් නොසලකා හරිමින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම වික්‍රමසිංහ මහතාගේ සැලසුම වී තිබේ.

එය තවදුරටත් තහවුරු වන්නේ සජිත්ව යෝජනා වූ දිනට පසුදින දිනපතා පුවත්පත්වල ඒ පිළිබඳ පළ වූ පුවත් දෙස බැලීමේදීය. ඒවා බොහොමයක වූයේ, ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදුකළ යුත්තේ, එජාපයේ නොව එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණය මත බවය.

ඒ අනුව චම්පික රණවක, රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් වැන්නන් පමණක් නොව, දෙමළ ජාතික සන්ධානයේ සහ සිවිල් සංවිධානවල පවා අනුමැතිය ඊට ලැබිය යුතු බව එහි හරය ලෙස අනුමාන කළ හැකිය.

කෙසේවුවද අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වුයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන තෙක් කිසිඳු සන්ධාන ගිවිසුමකට එක් නොවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කර ඇති බවයි. රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් වැනි පක්ෂ නායකයින්ද එවැනි තීරණයකට එළඹ ඇතැයි අමාත්‍ය සුජීව සේනසිංහ මෙම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත්

රනිල් -රාජිතගේ සන්ධානයේ කෙටුම්පත මෙන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්