රජය විසින් දකුණු පළාතේ සිදු කිරීමට යෝජිත කඩිනම් ව්‍යාපෘතියක් පාරිසරික ආරක්ෂණ මාර්ගෝපදේශ අනුගමනය නොකර සිදු කළහොත් ඇති විය හැකි  මහත්වූ පාරිසරික විනාශයක් සම්බන්ධයෙන් පාරිසරික බලපෑම්
ඇගයීම් වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබේ.
 
ස්කිල්ස් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවක් මගින් අනතුරු අගවා ඇත්තේ හම්බන්තොට  දිස්ත්‍රික්කයේ මාගම්පුර වරායට උතුරින් ඉදි කිරීමට නියමිත හම්බන්තොට ආරබොක්ක යෝජිත ඖෂධ කලාපය සම්බන්ධයෙන් වන පාරිසරික ආරක්ෂණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම මගහරින්නේ නම් මහත්වූ පාරිසරික විපත්තියක් ඇති විය හැකි බවයි.
 
පිටු 293 කින් යුත් එම වාර්තාව පුරාවට නැවත නැවතත් එකී අනතුරු ඇඟවීම් ඉදිරිපත් කර තිබේ.
 
සිය වාර්තාව මගින් ස්කිල්ස් ඉන්ටර්නැෂනල් ආයතනය අවධාරණය කරන්නේ ඖෂධ කලාපය ඉදිකිරීමේදී අවට වනාන්තර ජීවීන්ගේ වාසස්ථාන, සාමුද්‍රික ජීවීන් හා ඔවුන්ගේ ජීවන පරිසරයට එල්ලවිය හැකි අනතුරු වලින්  ආරක්ෂා කිරීම සඳහා, විශේෂයෙන් බැහැර කරන අපවිත්‍ර ජලය නිසිලෙස පවිත්‍රකරණය සහ ඉඩම් නිෂ්කාශනය සීමා කිරීමේ වැදගත් බවයි.
 
 
 
රජය විසින් කඩිමුඩියේ නිම කිරීමට යෝජිත මෙම හම්බන්තොට ඖෂධ කලාපය, විශාල පාරිසරික හානියක් සිදු කරනු ඇතිවා සේම,  ජීවීන්ගේ ජීවන රටා දෙදරවා හරිනු ඇති බව ස්කිල්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ  පාරිසරික  බලපෑම් තක්සේරුව (EIA) පෙන්වා දෙයි.
 
 
එමනිසා ව්‍යාපෘතිය මගින් පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති විධිමත් මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම්, මෙම විනාශය වැලැක්විය නොහැකි බවද මෙම පාරිසරික බලපෑම් තක්සේරුව අවධාරණය කරයි.
 
මාගම්පුර වරායට උතුරින් ආරබොක්ක පියසෙහි අක්කර 400 ක වපසරියකින් යුත් ප්‍රදේශයක, එකක් අක්කර 200 ක් පමණ වන බිම් ප්‍රමාණයක් තුල අදියර දෙකකික් මෙම ඖෂධ කලාපය පිහිටුවීමට සහ ඒ මගින් නවීනතම තාක්ෂණයෙන් යුත් ඖෂධ නිෂ්පාදනාගරයන් සදහා පහසුකම් සැපයීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
 
 
 
මෙහි පළමු අදියරයේ දී ඖෂධ නිෂ්පාදන කම්හල් 20 ක් සඳහාත්, දෙවැනි අදියර තවත් 20 ක් සඳහාත් පහසුකම් සැපයේ.
 
2025 වන විට, ඖෂධ සඳහා වන දේශීය ඉල්ලුමෙන් 40% ක ප්‍රමාණයක් මෙම දේශීය නිෂ්පාදන ඖෂධ මගින් සැපයීමට බලාපොරොත්තු වන බව වාර්තාව සඳහන් කරයි.
 
ඒ අතර ගෝලීය වශයෙන් විශාල ඖෂධ නිෂ්පාදන ආයතන විශාල වශයෙන් ඒකාරාශී වී ඇති ඉන්දියාව සහ චීනය වැනි ස්ථාන අතහැර, “භූ දේශපාලන පිහිටීමෙහි වැදගත් කමක් සහිත” ශ්‍රී ලංකාව වැනි ස්ථානයකට පැමිණීමේ ඉඩකඩ සලසා දීම ද බලාපොරොත්තු අතර වන බව වැඩිදුරටත් පෙන්වා දෙයි.  
 
 
රුපියල් බිලියන 60ක වාර්ෂික ඉතිරියක් …
 
 
DE2 2113
හම්බන්තොට ඖෂධ ආයෝජන කලාපයක් ඉඳිකිරීමේ ඉදිරි සැලසුම් පිළිබද 2020 සැප්තැම්බර් 10 ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාව.
 
 
 
එමෙන්ම  ඖෂධ ආනයනයට වැය වන බවට 2019 දී ගණන් බලා ඇති ඇමරිකානු ඩොලර් මිලියන 664 (රු.බිලියන 130) ක් හා වාර්ෂිකව 4.1% බැගින් වැඩිවෙමින් වැයවන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරිකර ගැනීමටත්, ඒ වෙනුවට විදේශ විනිමය ඉපැයීම් වැඩි දියුණු කරගැනීමටත් අවස්ථාව ලැබෙනු ඇති බවද වාර්තාව මගින් පෙන්වා දෙයි.
 
එමෙන්ම නවීන තාක්ෂණ දැනුම් හා රැකියා අවස්ථා වැඩි වීමද ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමේ හේතු ලෙස ඉදිරිපත් කෙරේ.
 
 
 
 
එහෙත් මේ මුලපුරන කාර්යය ඒ හා මුසු වීමට තිබෙන අන්තරායන් විශාල සංඛ්‍යාවක් සමඟින් ඉදිරිපත් වනු ඇති බව, මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති, ස්කිල්ස් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගමේ (Skills International (Pvt) Ltd) සවිස්තරාත්මක පාරිසරික බලපෑම් තක්සේරුව අනාවරණය කරයි.
 
 
 
ජල කළමනාකරණය:
 
 
 
ජල ඉල්ලුම සහ උත්පාදනය වන විවිධ වර්ගයේ බැහැරලන ජල කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් යෝජිත කලාපයට පුළුල් ශක්‍යතාවයක් නොමැති බව ද එහි සඳහන් වේ.
 
කාර්මික කලාපය ක්‍රියාත්මක කිරීමේ අවදියේ දී අවශ්‍ය සමස්ත පිරිසිඳු ජල අවශ්‍යතාවය ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය වෙතින් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.
 
පළමු අදියරෙහි දිනකට ලීටර් 3,000,000 ක් සහ දෙවන අදියරෙහි දී දිනකට තවත් ලීටර් 3,000,000 ක් බැගින් වනු ඇති මෙම ජල අවශ්‍යතාවය සදහා පළමු අදියරට උඩවලව ජලාශයෙන් ද, දෙවන අදියර සඳහා රුහුණු පුර ජල සැපයුම් ව්‍යාපෘතියෙන් ද  ජලය ලබා ගැනීමට නියමිතය.
 
යෝජිත ඖෂධ කලාපයෙන් බැහැර ලන ජලයේ තත්වය හා ප්‍රමාණය මේ මොහොතේ නිෂ්චිත වශයෙන් තක්සේරු කළ නොහැකි අතර එය නිෂ්පාදන වර්ගය, ධාරිතාවය, නිෂ්චිත සැකසුම් ප්‍රමාණය සහ නිෂ්පාදන කලාපය සම්බන්ධයෙන් ආයෝජනකයන් දක්වන උනන්දුව මත රඳා පවතිනු ඇත.
 
පළමු අදියරේ දී දිනකට ලීටර් 2,400,000 ක් පමණ අපවිත්‍ර ජල ප්‍රමාණයක් ජනනය වනු ඇතැයි තක්සේරු කර බලා ඇත. ඒ අනුව එය භාවිතා කරන ජල ප්‍රමාණයෙන් 80% කි.
 
ඖෂධ කර්මාන්ත තුළ නිෂ්පාදන ක්‍රියාවලියට භාවිත කරන ජලය, මිනිස් සෞඛ්‍යයට උපද්‍රවකාරී නොවන තැනක සිට - අධික වශයෙන් උපද්‍රවකාරී වන්නාවූ තත්වයක් දක්වා වෙනස් විය හැකි බව එම වාර්තාව පෙන්වා දෙයි.
 
 
 
දුර්වල ලෙස කළමනාකරණය කළ අපවිත්‍ර ජලය සහ අපද්‍රව්‍ය, ඒවාට ආවේනික විශේෂිත පිලියම් කිරීම් සඳහා යොමු නොකොට පොළව, ගංගා ඇල දොළ හෝ මුහුද වෙත බැහැර කිරීම මගින් ජලයෙහි ගුණාත්මකභාවය කෙරෙහි ඍණාත්මක බලපෑම් පරාසයක් ඇති කරනු ලබයි.
 
 
 
පිරිපහදු නොකරන ලද හෝ අර්ධ වශයෙන් පිරිපහදු කරන ලද අපිරිසිදු ජලය සදහා වන පොදු අප ජල පවිත්‍රාගාරයක් (Communal wastewater treatment plant) සහ මුදාහැරෙන ද්‍රවමය අපද්‍රව පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාරයන් (Effluent Treatment Plants) මගින් සිදුවන කාන්දුවීම්, සහ ඉහිරී යෑම් ආදිය ප්‍රදේශයේ වැලි සහිත පස් තුලින් පහසුවෙන් පහලට බසින අතර, භූගත ජල මට්ටම ගැඹුරින් පිහිටා තිබෙන්නේ වුවද දිගුකාලීනව එමගින් ගැඹුරු භූගත ජලය දූෂණය වීම සිදුවනු ඇති බවට වාර්තාව අනතුරු අඟවයි.
 
 
 
ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට අදාල, උපද්‍රවකාරී සහ දරුණු විසැති තත්වයන් සැලකිල්ලට ගනිමින්, පරිසරයට සහ මිනිසාට අධික ලෙස අනතුරුදායක වන සමහර අප ජල ප්‍රභේධයන් සඳහා කිසිසේත් පරිසරයට එක්වීම වැළැක්වීමේ ප්‍රවේශයක් (zero liquid discharge approach)  නිර්දේශ කර ඇත.
 
 
 
2008 අංක 01 දරණ ජාතික පාරිසරික රෙගුලාසි (ආරක්ෂණය හා ගුණාත්මකභාවය) මගින් නියම කර ඇති පරිදි, අධික ලෙස විෂසහිත සහ උපද්‍රවකාරී ද්‍රව්‍ය ඇතුලත් නොවන, රසායන ක්‍රියාවලියක් තුලින් පිරිසිදු කරන ලද අප ජලය පරිසරයට මුදා හැරීම සඳහා අවසර ලබා දෙනු ඇත.
 
මෙම ප්‍රදේශය තැනිතලා වගුරු, ඉහළ ජෛව විවිධත්වයක් සහිත තෙත්බිම් පරිසර පද්ධති, කුඹුරු සහ දිය පාරවලින් පෝෂිත ය. දකුණට කරගන් කලපුව, ලුණු වගුරු සහ සාගරයයි.
 
කෘෂිකර්මාන්තය, ගවයන් ඇති කිරීම, මිරිදිය ධීවර හා වෙරළබඩ ධීවර කර්මාන්තය, වෙරළ සංචාරක කර්මාන්තය සහ ලුණු නිෂ්පාදනය සඳහා ජල සම්පත් බහුලව භාවිතා වේ. මේ සියල්ලටම පිරිසිදු ජලය අවශ්‍ය වේ.
අප ජලය ප්‍රමාණවත් ලෙස තනුක කර නොමැති නම්, එය ලවන වලට ඇතුළු විය හැකි අතර වාරි පද්ධති වලට මුසු වී වගාබිම් වලට හානි කළ හැකි බව වාර්තාව මගින් පෙන්වා දෙයි.
 
 
ලුණු ලේවායටත් බලපෑම් :
 
lunu
 
අප ජලය මුහුදට බැහැර කිරීම සඳහා මෝයක් (Sea Outfall) සැකසීම යෝජනා කොට ඇති අතර, එමගින් කරගන් ලේවාය සහ හම්බන්තොට ලුණු  ලේවාය තුළට අප මූලද්‍රව්‍ය ඇතුළුවීම සිදුවිය හැක.
 
අප ජලය සමග මුහුදු ජලය කලවම් වීමෙන් වෙරළාසන්න මුහුදු ජලයෙහි ගුණාත්මක භාවය, කරදිය සත්ව හා ශාක වල පරිසර විද්‍යාත්මක ලක්ෂණ, බෙල්ලන්, මත්ස්‍යයන් හා මනුෂ්‍ය ඇතුළු ජීවීන් දූෂණයට ලක්වීම මෙන්ම, වෙරළේ සෞන්දර්යාත්මක වටිනාකම කෙරෙහි ද බලපෑම් සිදුවනු ඇත.
 
දීර්ඝ කාලයක් තුළ අවලම්බිත ඝන ද්‍රව්‍ය වැඩිවීමෙන් හා එමගින් ජලයේ විනිවිද භාවය අඩු වීමෙන් ප්ලැන්ක්ටන් ශාකවල නිෂ්පාදන ඵලදායීතාව හා ඇල්ගී වර්ධනයව කෙරෙහි බලපෑම් සිදුවනු ඇත.
 
එමෙන්ම ජලය පෙරා ආහාර ගන්නා සහ විශාල වශයෙන් ජලයේ පාවෙන ද්‍රව්‍ය ආහාරයට ගන්නා බොහෝ කරදිය ජීවීන්ගේ පෙරහන්-පෝෂක පද්ධති අපවිත්‍රවී අවහිර වනු ඇත. එසේම මෙම අවලම්බිත ද්‍රව්‍ය වියෝජනය වීමෙන් ජලයෙහි ඔක්සිජන් ප්‍රමාණය අඩු විය හැක. මෙය පහල ජල ස්ථරවලට මෙන්ම මුහුදු පත්ලේ ජීවත්වන (Benthic) ජීවීන්ට මෙන්ම, වෙරළාසන්න මුහුදු තෘණ බිම් සහ කොරල් පර වැනි වාසස්ථාන කෙරෙහිද ප්‍රබල බලපෑමක් කරනු ඇත.
 
ස්කිල්ස් ඉන්ටර්නැෂනල් ආයතනය සිදුකර ඇති සමාජ අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය  සඳහා සැළකිය යුතු සමාජ විරෝධතාවයක් ඉදිරිපත් වී නොමැත.
 
එසේ වුවද යෝජිත මුහුදු පිට මෝය හරහා සිදුවන අපද්‍රව්‍ය ගලනය හේතුවෙන් සිදු විය හැකි මත්ස්‍ය අස්වැන්න අඩුවීම ගැන මෙන්ම, නාවික අපහසුතාවයන් පිළිබඳව ධීවරයන් විසින් බිය පලකර ඇත.
 
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම හේතුවෙන් සිදුවන ඉදිකිරීම් වලට අදාල ඉතාම විශේෂිත බලපෑම වන්නේ සත්ත්ව සහ ශාඛා වාසස්ථාන අහිමිවීම, වන අලි සංක්‍රමණය වන මං වෙත ඇතිවන බාධාවන්, දූවිලි, ඝෝෂාව, සහ කම්පන හේතුවෙන් සත්ත්වයන් සහ සංවේදී ග්‍රාහකයන් (receptors) වෙත ඇතිවන බාධා, ව්‍යාපෘති මායිමෙහි ඇති වී වගා බිම් අහිමි වීම බවයි  එම වාර්තාව පෙන්වා දෙන්නේ.
 
 
 
ආවේණික හා වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂ ඇතුළු වනජීවීන් රැසකට මෙම භූමිය නිවහන් වෙයි. “තම වාසස්ථාන තවදුරටත් අහිමි වීමෙන් ඔවුන්ගේ පැවැත්මට අමතර පීඩනයක් එල්ල වනු ඇති” බව එම  පාරිසරික බලපෑම් තක්සේරුව පවසයි.
 
දැනට පවතින වාර්තා වලට අනුව 2010-2017 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 25 දෙනකු වන අලි ප්‍රහාර හේතුවෙන් මිය ගොස් ඇති අතර, වන අලි විසින් දේපල 337 කට හානි කර ඇත. මේ අතර වෙඩි තැබීම් සහ මිනිසුන්ගේ වෙනත් විනාශකාරී උපක්‍රම වලට අලි 58 ක් ගොදුරු වී ඇත.
 
ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අනුව මෙම ව්‍යාපෘති භූමියේ සහ අවට ප්‍රදේශ වල සිටින අලි ඇතුන් (බුන්දල, යාල, උඩවලව  සහ ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන, හා  සහ නව ‘කළමනාකරණය කළ අලි රක්ෂිතය’ ආදියෙන්) යෝජිත ව්‍යාපෘති භූමිය අසල පිහිටි කුඩා වැව වෙත පැමිණේ. 
 
යෝජිත භූමිය එලි පෙහෙලි කිරීමෙන් පසු මේ අලි ඇතුන්ගේ වාසස්ථාන, සංක්‍රමන මාර්ග ඔවුන්ට අහිමි වී තම ගම් වලට කඩා වැදී තමන්ගේ වගාවන්ට හා ජීවිත වලට හානි පමුණුවනු ඇතැයි ගම්වාසීන් බියෙන් පසුවේ.
 
මෙම යෝජිත ඖෂධ කලාපයෙහි කර්මාන්තවල වැඩ කිරීමට පළපුරුදු සහ විශේෂිත වෘත්තිකයන්, වෘතිතීය වේදීන් සහ කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වේ.
 
බොහෝ දුරට, මෙම ප්‍රදේශයේ රැදී සිට වැඩ කිරීමට ඖෂධ අංශයේ විශේෂඥ කාර්ය මණ්ඩලය සහ වෘත්තිකයන් ඉංදියාව ඇතුළු වෙනත් රටවලින් පැමිණෙනු ඇත.
 
 
 
මේ අනුව මෙම ප්‍රදේශය විදේශිකයන්ගෙන් පිරී ඉතිරී ගොස්, බොහෝ විට නීති විරෝධී මත් ද්‍රව්‍ය සහ ලිංගික ශ්‍රමිකයන් සඳහා වන ඉල්ලුම ක්‍රමයෙන් ඉහල යෑමේ ප්‍රවනතාවයක් ඇති වනු ඇති බවටත් වාර්තාව බිය පල කරයි.
 
පිටු 293 කින් යුත් ස්කිල්ස් ඉන්ටර්නැෂනල් සමාගම විසින් සැකසූ  අක්කර 400 ක් පුරා පැතිර යන මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන සමාගම් පොකුරක් තුලින් ඉස්මතු විය හැකි පාරිසරික අන්තරායන් හා ඒවා කළමනාකරණය කිරීමේ සැලසුම්, අවසාන පිලිතුරු නොවන බව ඔවුන්ම කියා සිටී.
 
“සෞඛ්‍ය හා ආරක්ෂාව යනු ව්‍යාපෘතිය සැළසුම් කිරීම, නිර්මාණ කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරිම යන අදියරයන් හිදී එක් එක් කර්මාන්ත විසින් අවධානය යොමු කළ යුතු වැදගත් කරුණකි. එමෙන්ම ඒවා අඛන්ඩව වැඩිදියුණු කිරිම සහ තිරසාර බව සහතික කිරීම සදහා නිරන්තර අධීක්ෂණ, විගණන පද්ධති, අවිනිශ්චිත අවස්ථාවන් සඳහා සිදු කරන පූර්ව අභ්‍යාස (contingency mockup drills) ආදිය සමග, සම්ප්‍රදායික සෞඛ්‍ය හා ආරක්ෂණ පද්ධති ස්ථාපිත කිරිම නිර්දේශ කෙරේ.”
 
 
###################
 
 

THE LEADER TV 

 

විශ්වාසය භංග වී ඇත්තේ අගමැතිගේ : දයාසිරි ගේම ඉල්ලයි !

 

  9
විමල්ගෙන් පොස්පේට් ගැලෙව්වේ ස' ටත් කොලේ වහලා?

 

 
  99
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්