ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින සමගි ජන බලවේගයේ
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් විසින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් තමා ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් අද (23) අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් වෙන වෙනම ගොනු කල මෙම පෙත්සම් ඊ. ප්‍රීති පද්මන් සූරසේන, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් දැනුම් දුන්නේ පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බවය.
ඒ හේතුවෙන් මෙම පෙත්සම් වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා ලබන ජූලි 6 වැනිදාට කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කෙරිණි.
ඒ අනුව මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූ තෙවැනි විනිසුරු වන්නේ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් ය.
මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ද පෞද්ගලික හේතූන් මත ම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.
මැයි මස 28 දා මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවා තිබූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකුව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ද පෞද්ගලික හේතුවක් මත පෙත්සම සලකා බැලීමෙන් ඉවත් විය.
එසේම, ජුනි 04 දා මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විවෘත අධිකරණයේ සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකා බැලීමේ කටයුත්තෙන් තමන් ඉවත් වන බවය.
අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනගිය විරෝධතාවය හමුවේ, අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ සොයුරා අධිකරණයට ඉදිරිපත් නොකොට මේවනවිට මාසයකට වැඩි කාලයක් තිස්සේ අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන සිටියි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබුනේ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා යයි පවසමින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමිනි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂාව පිලිබද අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, එම දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම්කර ඇත.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා පෙනී සිටියේය.
පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් සිය පෙත්සම මගින් කියා ඇත්තේ ඉකුත් අප්‍රේල් මස 24 වනදා අලුයම සිය නිවසට කඩාවැදුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තමන්ව අත්අඩංගුවටගත් බවය.
කොලෝසස් (ප්‍රයිවට්) ලිමිටඩ් නැමැති සමාගමක් සමග පැවති සම්බන්ධතා පිළිබඳව ප්‍රශ්න කිරීමට අවශ්‍යව තිබෙන බවත් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ප්‍රකාශ කළ බව ද රිෂාඩ් බදියුදීන් සිය පෙත්සමෙන් සඳහන් කරයි.
අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝගයක් මත තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින බවද ඔහු පවසයි.
ඉන් අනතුරුව තම සොහොයුරා ද අත්අඩංගුවට ගැනුණු බව ඔහු කියා සිටී.
තමා අත්අඩංගුවට ගැනීමට සාධාරණ කරුණු කිසිවක් නොමැති බව පෙන්වා දෙන රිෂාඩ් බදියුදීන්, සුළු ජාතික දේශපාලන පක්ෂයක නායකයෙකු වන තමන්ව අපහසුතාවයට හා පළිගැනීමට ලක්කිරීමේ අරමුණින් එය සිදුකොට ඇතැයිද චෝදනා කර සිටියි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම චෝදනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු අවධාරණය කර සිටියි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව ඕනෑම කොන්දේසියක් මත මුදාහරින ලෙස අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසත් රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙසේ මෙම පෙත්සම් විභාගයෙන් විනිසුරුවන් ඉවත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙසේ පැවසිය.
සබැඳි පුවත් :
##########
THE LEADER TV
'ස' ගේ කාබනික පොහොර ටිකත් ගජමිතුරු බඩට !
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?