එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම නොසලකා හරිමින්,

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම නව සන්ධානයක් පිහිටුවා ඒ හරහා තීන්දු කර ගැනීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ දරන කුඨ සැලැස්මට ආණ්ඩුව නියෝජනය කරන ජාතික කම්කරු සංගමයේ අමාත්‍ය පලනි දිගම්බරන් ද විරෝධය පළකර ඇත.

අගමැතිවරයාගේ කැඳවීමක් අනුව ඊයේ (02) රාත්‍රී අරලියගහ මන්දිරයට ගොස් ඇති පලනි දිගම්බරන් අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂයේ ගැටුම්කාරී තත්වයක් මතුව ඇති ගිවිසුමකට අත්සන් තැබීමට තම පක්ෂය කිසිඳු ලෙසකින් එකඟ නොමැතිබව අගමැතිවරයා හමුවේ අවධාරණය කර තිබේ.

Palani talk 

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව තමාගේ විශ්වාසය යයි පවසා ඇති අමත්‍යවරයා, කඳුකරයේ ජනතාවගේ විශ්වාසය ද එය බව සඳහන් කර ඇත.

දමිල ප්‍රගතිශීලී සන්ධානයේ ස්ථාවරය ?

කඳුකරය නියෝජනය කරන ආණ්ඩුවේ දමිල දේශපාලන පක්ෂ තුනක් (03) එක්වී මේවනවිට 'දමිල ප්‍රගතිශීලී සන්ධානය' නමින් පෙරමුණක් ගොඩනගා ඇත. අමාත්‍ය පළනි දිගම්බරන්ගේ 'ජාතික කම්කරු සන්ධානය', අමාත්‍ය මනෝ ‍ගනේෂන්ගේ 'ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ' සහ රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන්ගේ 'කඳුරට ජනතා පෙරමුණ' යන පක්ෂවලින් එකී පෙරමුණ සමන්විතවේ.

එම නිල පක්ෂවල සාමාජිකයින් දෙදෙනා බැගින් දමිල මන්ත්‍රීවරුන් හය (06) දෙනෙකු මේවනවිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරයි.

එම පෙරමුණ නියෝජනය කරන 'ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් ද අගෝස්තු 05 ගිවිසුම අත්සන් කිරීම ගැටළු සහගත බව අගමැතිවරයාට දැනුම් දී ඇත. ගිවිසුම් ගැසීමට පෙර ජනාධිපති අපේක්ෂකයා කව්දැයි රට හමුවේ ප්‍රකාශ කිරීම වැදගත් බව ඔහු අගමැතිවරයාට පැහැදිලි කර තිබේ.

 

රාධා ක්‍රිෂ්ණන් වාට උඩ !

මේ අතර අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසන්නේ, දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හයදෙනා අතරින් කඳුරට ජාතික පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් අගමැතිවරයාට පක්ෂව කටයුතු කිරීමට එකඟත්වය පළකර ඇති බවයි.

කෙසේවුවද අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් පසුගිය දා තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බවයි.

වතුකරයේ ජනතාව තමනට වැඩ කළහැකි ජනාධිපති කෙනෙක් පත්කර ගත යුතු බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වතුකරයේ ජනතාව සිතා වැඩ කළ බවත් ඔහු 1989 වතුකරයේ ජනතාවට පුරවැසිභාවය පවා ලබා දුන් බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කර සිටියේය.

Radhakishnan 

එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුයේ, ඉතිහාසය අමතක නොකළ යුතු බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ උරුමක්කරුවෙකු ඉල්ලනවානම් වතුකරයේ ජනතාව එතුමාට සහාය ලබා දීමට කටයුතු කළ යුතු බවත්ය.

 

වතු කම්කරු ජනතාවගේ දැවෙන ප්‍රශ්න!

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට නොසලකා වතු කම්කරු ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට ගිවිස ගන්නා අපෙක්ෂකයෙකුට සහාය දැක්වීම සඳහා දමිල ප්‍රගතිශීලී සන්ධානය සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී , දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ උපසභාපති සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශයේ නායක ඒ. අරවින්ද කුමාර් පවසයි.

බදුල්ලේදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය, ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවද පැවසු මන්ත්‍රීවරයා, එම අපේක්ෂකයින් දක්වන ප්‍රතිචාර අනුව ජනාධිපතිවරණයේදි සහාය දෙන්නේ කාටදැයි තීරණය කරන බව අවධාරණය කළේය.

 

'කව්රු නැතත් ගිවිසුම් ගහනවා' - චතුර කියයි

එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් මැති ඇමතිවරුන් හා ආණ්ඩුව නියෝජනය කරන දෙමල හා මුස්ලිම් ජාතික පක්ෂ අගෝස්තු 05 සන්ධාන ගිවිසුම සම්බන්ධයෙන් මෙසේ විරෝධය පළකර තිබුනද අගමැති රනිල් වික්‍රමසිංහ සමග අදාල සන්ධානයට නායකත්වය දෙන චතුර සේනාරත්න මන්ත්‍රීවරයා පවසන්නේ, කවුරු එරෙහි වුවද අගෝස්තු 05 ගිවිසුම අත්සන් කරන බවයි.

මේවනවිට එදිනට තෝරාගත් පිරිස් ගෙන්වීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ගිවිසුමේ ව්‍යවස්ථාවට පක්ෂ එජාප මැති ඇමතිවරුන්ගේ නියෝජිතයින් පමණක් එජාපය වෙනුවෙන් කැඳවීමටත් භික්ෂුන් වහන්සේලා ජාතික හෙළ උරුමය ලවා සහභාගී කරවා ගැනීමටත් තීරණය වී ඇත.

අගෝස්තු 05 රැලියට අදාල සියලු ප්‍රචාරක කටයුතු ජාතික හෙළ උරුමය විසින් බාරගෙන ඇති අතර මුල්‍ය සම්පාදනය රවී කරුණානායක හා රාජිත සේනාරත්න අමාත්‍යවරුන්ට පවරා තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්