(UPDATE ) එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩායමේ ඉල්ලීමට අනුව 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' ව්‍යවස්ථා කෙටුම්පතට අදාල සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවයක් ලබාගන්නා තෙක්

හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු  'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' ගිවිසුම් ගතවීමේ උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ, අගමැතිවරයා එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා සභාපති කබීර් හෂීම් ඇමතිවරුන් සමග අද උදැසන ඇතිකර ගත් එකඟතාවයකට අනුවය. එම එකඟතාවය අනුව මිට අදාල පුවත් නිවේදනයක් නිකුත් කිරීමට අගමැතිවරයා පක්ෂයේ ලේකම් අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම්ට දැනුම් දී ඇත.

ඒ අතර අගමැතිවරයාගේ උපදේශකයකු හා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු වන ලසන්ත ගුණවර්ධන සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින්, ''සිදුකිරීමට සැලසුම්කර තිබූ කඩාකප්පල් ක්‍රියාවන් අනාවරනය වීම හේතුවෙන් හෙට සන්දානගතවීම සදහා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය නොපැවැත්වීමටත් එය දින නියමයක් නොමැතිව කල් දැමීමටත් මේවනවිට තීරනය කර තිබේ.'' යයි සඳහන් කර තිබේ.

PHOTO 2019 08 04 09 48 58

ඇත්ත හේතුව ?

කෙසේවුවද මෙම ගිවිසුම සම්බන්ධයෙන් පක්ෂයේ අති බහුතරයක් මන්ත්‍රීවරුන් ගෙන් හා ආණ්ඩුවට සම්බන්ධ සියලුම පක්ෂවලින් පාහේ එල්ලවී තිබු විරෝධතා සැලකිල්ලට ගෙන ගිවිසුම අත්සන් කිරීම කල් දැමීමට අගමැතිවරයා ඊයේ (03) රාත්‍රී තීරණය කල බව 'ද ලීඩර්' අද උදැසන වාර්තා කළේය.

මෙම ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව නියෝජනය කරන සියලු පක්ෂ පාහේ එරෙහි වෙද්දී ඊයේ රාත්‍රීය වෙනතෙක්ම ඊට අනුකුලතාවය දැක්වුයේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්‍ර චතුර සේනාරත්න මන්ත්‍රීවරයට හිමි දේශපාලන පක්ෂය පමණි.

       ***********************************************************************************************

(2019.08.04 පෙ.ව  09.05) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිත 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' ගිවිසුම් ගතවීමේ උත්සවය පවත්වන්නේද? නැද්ද? යන කාරණය අද (04) පෙරවරුවේදී සජිත් ප්‍රේමදාස, මංගල

සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සමග සාකච්ජා කර ප්‍රකාශයට පත්කරන බව එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ මැදියම් රාත්‍රීයේ පැවති මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ විශේෂ හමුවකදී සඳහන් කර තිබේ.

මෙම රැස්වීමට රවී කරුණානායක, අඛිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, නවින් දිසානායක, රවුෆ් හකීම්, රිෂාඩ් බද්දුර්දීන්, චම්පික රණවක ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටළු විසඳා ගන්නා තෙක් සන්ධාන ගිවිසුම් අත්සන් කිරීමට තම පක්ෂ කිසිසේත් සුදානම් නැතැයි මුස්ලිම් පක්ෂ නායකයින් දෙදෙනා එහිදී අවධාරණය කර තිබේ.

ආණ්ඩුවේ සෙසු පක්ෂ සමගද සාකච්ජා කර ජනාධිපති අපේක්ෂකයා කව්ද යන කාරණය වහාම රට හමුවේ ප්‍රකාශ කරන්නැයි ඔවුන් දෙදෙනා අගමැතිවරයා ගෙන් ඉල්ලා තිබේ.

පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගිවිසුමට සහය පළ කළ කාවිංග ජයවර්ධන මෙන්ම ඊයේ දිනයේ තමා හමුවූ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ සන්ධානයේ ගිවිසුමට විරෝධය පළ කළ බව මෙහිදී සඳහන් කර ඇති එජාප නායකයා, ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම පරිදි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සමග දුරකථනය ඔස්සේ කතාබහ කළ බවද පවසා ඇත. 

චම්පිකත් 'රිවස්' ගසයි !

ආණ්ඩුවට එක්ව සිටින සෙසු පක්ෂ එජාපය සමග ගිවිසුම්ගතවිම ප්‍රතික්ෂේප කරන්නේ නම් ජාතික හෙළ උරුමයද හෙට පැවැත්වෙන උත්සවයට සහභාගී නොවන බව මෙහිදී දැනුම් දී ඇති චම්පික රණවක අමාත්‍යවරයා, සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්නේ නම් තම පක්ෂය එකහෙලා විරුද්ධවන බවද අවධාරණය කර තිබේ.

හෙට (05) පැවැත්වීමට නියමිත උත්සවය අවලංගු නොකරන්නැයි රාජිත සේනාරත්න, රවී කරුණානායක, අඛිල විරාජ් කාරියවසම් යන ඇමතිවරුන් මෙම රැස්වීමේදී අගමැතිවරයාට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

 භික්ෂුන් වහන්සේලා දහස් නමකට වැඩි පිරිසක් හා රැස්වීම භුමිය පිරි ඉතිරි යන ජනතාවක් උතුරු කොළඹින්, කුරුණෑගලින් හා කළුතරින් සහභාගී කරවීමට බස්රථ හා සියලු පහසුකම් සඳහා සියලු වියදම් මේවනවිටත් සිදුකර ඇතිබව ඔවුන් අගමැතිවරයාට මෙහිදී පවසා ඇත.

අරලියගහ මන්දිර ආරංචිමාර්ග වලට අනුව මෙම උත්සවයේ කටයුතු සඳහා මේවනවිටත් රුපියල් මිලියන 100කට වැඩි මුදලක් අගමැතිවරයා දැනුවත්ව මුදාහැර තිබේ.

chatura Senarathna 2019.08.04

කෙසේවුවද මෙහිදී අගමැතිවරයා පවසා ඇත්තේ, පක්ෂයේ බහුතරයක් විරෝධය පළකරද්දී චතුර සේනාරත්නගේ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගැසීම විහිළුවක් බවයි. කෙසේවුවද අද දහවල් වනවිට තීන්දුවක් දෙන බව කියමින් ඔහු සාකච්ජාව නිමකර තිබේ.

රාජිතගේ සිහින බිඳ වැටේ : ලේකම් ධුරය එජාපයට !

මේ අතර අගමැතිවරයාගේ ආරාධනයක් අනුව, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 12 දෙනෙකු ඊයේ (03) රාත්‍රී 8.30ට පමණ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ජාවකට සහභාගී වී ඇති අතර ඔවුන් සියලු දෙනාම එක හඬින් රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ගිවිසුමේ කොන්දේසිවලට විරෝධය පළකර ඇත. 

අලුත් සන්ධානයේ ලේකම් ලෙස රාජිත සේනාරත්න පත්කිරීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරද්දී අගමැතිවරයා පවසා ඇත්තේ, අනෙකුත් මුස්ලිම් දෙමල දේශපාලන පක්ෂ ද ඊට විරෝධය පළකර ඇති බැවින් සන්ධානයේ ලේකම් ධුරය පක්ෂයට තබා ගැනීමට තමා කටයුතු කරන බවයි.

පක්ෂයේ මන්ත්‍රීවරුන් විරුද්ධනම් හෙට දිනයේ සන්ධාන ගිවිසුම අත්සන් නොකරන බවට අගමැතිවරයා එහිදී මන්ත්‍රී පිරිසට සහතික වී ඇත.

Ranil wicramasingha 2019.08.04
මෙම සාකච්ජාව අතරමැද දී එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් ඇමතිවරයා එම සාකච්ජාවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී අගමැතිවරයා ඔහුට එලියට යන්නැයි දැනුම් දී ඇත.

'' සර්, අපි සන්ධානයකට විරුද්ධ නැහැ. අපි විරුද්ධ ඔය සන්ධානයේ ව්‍යවස්ථාවට. අපේ ගම්වල පාක්ෂිකයින් ඉල්ලන්නේ සජිත් ඇමතිතුමාව. දැන් අපට ගමට යන්න බැරි තත්වයක් උදාවෙලා. සන්ධාන ගහන්න ඉස්සෙල්ලා අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලය විතරක් නෙමෙයි මන්ත්‍රී කණ්ඩායමත් රැස්කරලා තීන්දුවක් ගන්න. '' එම මන්ත්‍රීවරුන් එකහඬින් පවසා ඇත.

ඉදිරි ජනාධිපතිවරණයෙදී රාජපක්ෂවරුන්ට එරෙහිව ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග සාකච්ජා කර එකඟත්වයක් ඇතිකර ගන්නා බවට අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී එජාප මන්ත්‍රී කණ්ඩායමකට පවසා ඇත.

ගෝඨා හමුවීමට ගිය ඇමති කව්ද ?

අගමැතිවරයාට හිතවත් ඇමතිවරුන් ගෝඨාභය රාජපක්ෂ සමග රහස් ගනුදෙනු පවත්වන බවට ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් මෙම රැස්වීමට සහභාගී වී ඇති මන්ත්‍රීවරයකු අගමැතිවරයා ගෙන් පෞද්ගලිකව කරුණු විමසා ඇත.

එජාපයේ ඇමතිවරයකු පසුගිය සතියේ රහසිගතව ගෝඨාභය හමුවී ඇති බවටත්, ගෝඨාභයට කිසිඳු ලියකිවිල්ලක් ඉදිරිපත් නොකර පාස්පෝට් එකක් ලබාගැනීමට ඇමතිවරයකු සහයවී ඇතිබවටත් පලවී ඇති වාර්තාවල පිටපත් කිහිපයක් ඔහු මෙහිදී අගමැතිවරයාට පෙන්වා තිබේ.

කෙසේවුවද අගමැතිවරයා එහිදී පවසා ඇත්තේ තම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්