1200 x 80 DMirror
 
 

යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබු අවස්ථාව අහිමි වීම වලක්වා ගැනීමට සැලසුම් කිරීමේදී කම්කරු අයිතීන් නොසලකා
හැරීමට රජය උත්සාහ දරන බවට වෘත්තිය සමිති නායකයෝ චෝදනා කරති.
 
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී පසුගිය මාසයේ සම්මත කරගන්නා ලද යෝජනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන් මර්දනයට යොදා ගැනීම කෙරේ විශේෂ අවධානයක් යොමුකර තිබුණි.
 
එමෙන්ම, මාධ්‍ය මර්දනය, නීතියේ ආධිපත්‍යය නොමැතිවීම, අතුරුදහන් කිරීම්, අත් අඩංගුවේ ඝාතන, ළමා ශ්‍රමිකයන් සූරාකෑම සහ කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම ඇතුළු විවිධාකාර මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන ශ්‍රී ලංකාව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.
 
  
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධි කටයුතු සඳහා ලබාදෙන ආධාරද අහිමිවීමේ අවදානමක් යුරෝපා යෝජනාවෙන් මතුකර ඇත.
 
 
කෙසේ වෙතත්, GSP+ සහනය අහිමි කෙරෙන බවට යුරෝපා පාර්ලිමේන්තුවෙන් කර ඇති අනතුරු ඇඟවීම ගැන රජය සමග ඉකුත් සතියේ පැවති සාකච්ඡාවකදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කිරීම සම්බන්ධයෙන් මැදිහත් වීම වෘත්තීය සමිති නායකයන් විසින් මගහැර ගොස් තිබේ.
 
යුරෝපා පාර්ලිමේන්තුව විසින් කොන්දේසි දමා ඇත්තේ මානව හිමිකම් උල්ලංඝන හා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් පමණක් යැයි කම්කරු අමාත්‍යවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී වෘත්තිය සමිති නායකයන් අනතුරු අඟවා ඇත්තේ රජයේ ස්ථාවරය එය නම් තමන් ඒ පිළිබදව යුරෝපා සංගමයට පැමිණිලි කරන බවයි.
 
සුළු ජාතීන් පීඩාවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදා ගැනීම නිසා  GSP+ සහනය අහිමිවී යාමේ අවදානම මතුවන තුරුම රටේ වෘත්තීය සමිති නායකත්වය ලංකාවේ කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට කරුණු දැක්වීමට කටයුතු කර නැති බවද ආණ්ඩුව සමග පැවති සාකච්ඡාවේදී හෙළි වී තිබේ.
 
එසේ සමිති නායකත්වයේ පැමිණිල්ලකින් තොරව වුවද කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද යුරෝපා සංගම් යෝජනාව අවධානය යොමුකර තිබේ.
 
 
factory workers  
 
නිදහස් වෙළෙඳ කලාප ඇතුළු කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ගේ කම්කරු අයිතිවාසිකම් වඩාත් ශක්තිමත් කරන ලෙසත් ආයෝජන මණ්ඩලය විසින් අනුගමනය කරන කම්කරු ප්‍රමිතිය සහ සේව්‍ය සේවක සබඳතා පිළිබඳ උපදෙස් සංග්‍රහය ජාත්‍යන්තර නීතියට අනුකූලව සකස් කරගන්නා ලෙසත් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ බලධාරීන්ට යෝජනා කර තිබේ.
 
 
යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවේ කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් “කිසිම ප්‍රශ්නයක් මතු කර නැති බව” කියාපාමින් කම්කරු අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා පවසා ඇත්තේ කම්කරු අයිතිවාසිකම් පිළිබදව “කතා කිරීමටවටත් දෙයක් මතුවී නොමැති” බවයි.
 
 
GSP+ සහනය පිළිබඳව නැවත සලකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව තීන්දු කර ඇති අවස්ථාවක එම සහනයේ ප්‍රතිලාභයේ සාධාරණ ප්‍රමාණයක් අපනයන ක්ෂේත්‍රයේ නිෂ්පාදනයන්හි නියුතු සේවක සේවිකාවන්ට එමගින් ප්‍රතිලාභයක් අත් කරගන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීම සමිති නායකයන්ගේ අරමුණ වී තිබේ.
 
ශ්‍රී ලංකාවෙන් පසුගිය අවුරුද්දේ යුරෝපයට යවන ලද භාණ්ඩවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ඇත්තේ රෙදිපිළි හා නිමි ඇඳුම්ය.
 
විදේශ අමාත්‍ය දිනේෂ්  ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස්, වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති ලීනස් ජයතිලක, ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි,ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමයේ සභාපති පාලිත අතුකෝරාල යන  වෘත්තීය සමිති නායකන්  සහභාගී වී ඇත.
 
 
anton 
ඇන්ටන් මාර්කස්
 
 
කම්කරු අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමට‌ පිළිතුරු දෙමින් නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් අවධාරණය කර ඇත්තේ,  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ඊට අදාල සංවිධාන විසින් යුරෝපා සංගමයට පැමිණිලි කර ඇති නමුත්, කම්කරුවන්ට ලැබිය යුතු සහන නොලැබීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති විසින් යළිත්  අලුතින් පැමිණිලි කර නැති නිසා ඒවා යුරෝපා පාර්ලිමේන්තුවේ  වත්මන් සාකච්ඡාවන්හිදී අවධාරණය වී නැති බවයි.
 
අමාත්‍යවරුන් විසින් මේ අයුරින් තර්ක කරන්නේ නම්, එම අඩුපාඩුව වහාම සම්පූර්ණ කිරීමට අවශ්‍ය පැමිණිලි කිරීම් තම සංවිධාන වලට නොපමාව කළ හැකි බවට ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා එහිදී අනතුරු අඟවා තිබේ.
 
“ඒ අනුව අපි මෙහි දී නිශ්චිත සහතිකයක් ඉල්ලා සිටියා GSP+ සහනයට අදාලව ලංකාණ්ඩුව විසින් අත්සන් කරලා තියෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සම්මුතීන් දැන්වත් ප්‍රායෝගිකව සහ නීතියෙන් ක්‍රියාත්මක කිරීමට මැදහත් වෙන්න කියලා,” යි ඇන්ටන් මාර්කස් පවසයි.
 
අනාගතයේදී එම පොරොන්දු ඉටු කිරීමේ වගකීම රජයට පවරා ගන්න ලෙස කම්කරු නායකත්වය යෝජනා කර ඇත.
 
“සේවායෝජකයන් ඒවා පිලිඅරගෙන වැඩ කරන්නේ නැත්නම් ඉන් ඇතිවන ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට ක්ෂණිකව මැදහත් වෙන්න බලය තියෙන ත්‍රෙපාර්ශවික විමර්ශන කමිටුවක් පත් කරලා, ඒක මෙහෙයවීමේ වගකීම විදේශ කටයුතු අමාත්‍යාංශයට ගන්න ඕනෙ. මොකද අපේ අත්දැකීම තමයි පසුගිය වාරයේ, ඒ කියන්නේ 2017 දී GSP+ සහනය යලිත් ලැබුන අවස්ථාවේ දී මේ වගේම විමර්ශන  කමිටුවක් පත් කරලා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එහි මෙහෙයුම් කරුවා බවට පත් කළා. ඒත් ඒක කිසි දෙයක් නොකරන අකර්මන්‍ය කමිටුවක් බවට පත් උනා. මොකද අමාත්‍යාංශයේ වැඩ ආරක්ෂා කරන්න ලේකම් විදිහට ඔහුට සිද්ධ වෙනවා. ඒ නිසා GSP+ එකෙන් සේවකයන්ට ලැබිය යුතු සහන ගැන වගකීම ඒ අයට දෙන්නැතුව, GSP+ එක ගැන වගකීම පැවරෙන විදේශ කටයුතු අමාත්‍යාංශයට එය පැවරිය යුතු බව අපි ඉල්ලා සිටිනවා.”
 
වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් පවසන පරිදි   විදේශ  අමාත්‍ය  දිනේෂ්  ගුණවර්ධන එහිදී ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධව සාකච්ඡා කර, තීරණය පසුව දැනුම් දෙන බවයි.
 
 
“වැඩේ කෙරුනට පස්සේ”  
 
 
වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති ලීනස් ජයතිලක පෙන්වා දෙන්නේ “මේක දිගටම තියෙන කෙලවර නොපෙනෙන  අයුක්තියක්” බවයි.
 
 
psc lenas
ලීනස් ජයතිලක
 
 
මානව හිමිකම් කඩ කිරීම නිසා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අහිමි කරන ලද GSP+ සහනය  2017 දී නැවත ලබා ගැනීම සඳහා සහයෝගය දුන් වෘත්තීය සමිති වලට “වැඩේ කෙරුනට පස්සේ”  නොලැබුණු ප්‍රතිලාභ දිගින් දිගටම භුක්ති වින්දේ හාම්පුතුන් පමණක් බව ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙයි.
 
“එදා මෙදා තුර GSP+ සහනයේ ප්‍රයෝජන ගත්තේ සේව්‍යයන් විතරයි. අනෙක් පැත්තෙන් මේ සහනය නිසා මෙරටට ලැබෙන අපනයන ආදායමේ වැඩිවීමේ වාසිය ආණ්ඩු වලට ලැබුනා විදෙස් සංචිත තත්ත්වය වැඩිදියුණු වීමක් හැටියට. එච්චරයි. කම්කරුවන්ට ඉඩක් තිබුණේම නෑ. ඒ නිසා වෘත්තීය සමිති වලට දිගටම අවශ්‍ය වෙලා තිබුණේ තමන්ට හිමි යුක්ති සහගත කොටස ලබා ගන්න. එදා කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න වෘත්තීය සමිති නියෝජිතයන් ඉදිරියේ පිලිගත්තා මේක අයුක්තියක් එය නිවැරදි කළ යුතුයි කියල. GSP+ සහනයේ ප්‍රතිලාභවලින් 50% ක කොටසක් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට ලැබිය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ. ඇත්තටම 2017 දී මේ සහනය නැවත ලබා ගැනීමේ දී ඒ වෙනුවෙන් පෙනී සිටලා කම්කරුවන්ගේ සංවිධාන සහයෝගය ලබා දුන්නත් වැඩේ කෙරුණාට පස්සේ කම්කරුවන් වෙනුවෙන් කිසි දෙයක් ආණ්ඩුව වත් සේව්‍යයන් වත් කළේ නෑ. මේ සහනයෙන් කම්කරුවන්ට ලැබිය යුතු සමාජ ආර්ථික සහන කොටසට අදාල ILO ව සම්පාදිත නීති අනුමත කර අත්සන් කරල තිබුනේ, නමුත් ඒ එකක් ගැනවත් සේවකයන්ට වාසි වෙන විදියට නීති ගේන්න කටයුතු කළේ නැහැ.  අඩුම තරමින් සංවිධානය වීමේ නිදහස වගේ අයිතියක් වත් නෛතිකව තහවුරු කිරීමට කටයුතු කළේ නෑ,” යි ලීනස් ජයතිලක අවධාරණය කළේය.
 
මෙම සාකච්ඡාවේදී දිනේෂ්  ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ‘පවතින තත්වය තේරුම්ගත් බවක්’  පෙනෙන්නට තිබුණු බව සඳහන් කළ ඇන්ටන් මාකස් වැඩි දුරටත් සදහන් කළේ“අපි බලමු හෙට අනිද්දා මොන උත්තරයක් ලැබෙයි ද කියලා” යනුවෙනි.
 
 
 
“මොට්ට මෙවලම්”
 
 
55007b5ff2c27ede40fbbcf0e2f4cb32 M 
 
 
පීඩිත සුළු ජාතීන් පමණක් නොව වැඩකරන ජනතාව පවා මර්දනය කිරීමට යොදාගන්නා ත්‍රස්ත මර්දන පනත් අහෝසි කරවා ගැනීම වැනි ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගැනීමට කම්කරු පංතිය සතු හැකියාව සංවිධිත බලයේ දුබලතා නිසා සීමා වී ඇති හෙයින් මෙවන් “මොට්ට මේවලම් යොදාගෙන” කේවල් කිරීමට සිදුවී ඇති  බව ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයා පවසයි.
 
“සංවිධිත කම්කරු පංතිය තමා ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම. නමුත් කම්කරු පංතිය කියල කිව්වට අද ඉන්නේ ඉතාම දුර්වල සංවිධාන තත්ත්වයක. සමස්ත  කම්කරු පංතියෙන් සංවිධානය වෙලා ඉන්නේ 7% ක් විතරයි. අපි කතා කරන අපනයන ක්ෂේත්‍රයේ සේවකයන් බැලුවොත් 5% ක්වත් සංවිධානය වෙලා නෑ. ඒ වගේ තත්වයක්  තුළ අපිට සිද්ධ වෙලා තියෙනවා මේ GSP + වගේ මෙවලම් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා උත්සාහ දරන්න. අපිට ශක්තිය තියෙනව නම්, කම්කරු පංතිය සංවිධානත්මකව ශක්තිමත් නම් ඕව පස්සේ යන්න ඕන නැහැනේ. බලය පෙන්නල කේවල් කරනවනේ. ඉතිං මේ වගේ මොට්ට මේවලම් යොදාගෙන හරි පුළුවන් ද මූලික අයිතිවාසිකම්වත් තහවුරු කරගන්න කියලයි මේ තත්ත්වය තුල බලන්න වෙලා තියෙන්නේ,” යි ඇන්ටන් මාර්කස් සඳහන් කළේය.
 
 
ශ්‍රී ලංකාව එකඟ වී ඇති මානව හිමිකම් පිලිබඳ වගකීම් ඉටුකර නැති බව ඔප්පු වුවහොත්, දැනට ලබාදී ඇති GSP+ සහනය හෙවත් වරණීය බදු ක්‍රමය යටත් ලබාදී ඇති සහන අත්හිටුවීමේ අවදානමක්  මතුව පවතී.
 
 
GSP+ සහනය නැවත සලකා බැලීමට නියමිත මේ වසරේ නොවැම්බරයේදී යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා දැඩි ලෙස විමර්ශනය කරනු ඇති අතර, එහිදී සුළු ජාතීන්ගේත්, කම්කරුවන්ගේත් අයිතිවාසිකම් රැකීම ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාවට නංවා ඇති ආකාරයද සැලකිල්ලට ගනු ඇත.
 
මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සුරැකීම සඳහා වන ජාත්‍යන්තර සම්මුති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා 2010 පෙබරවාරියේදී අත් හිටුවන ලද වරණීය බදු සහනය (GSP+) 2017 මැයි මාසයේදී නැවත ප්‍රදානය කෙරුනේ යහපාලන රජය විසින් පොරොන්දු වූ පරිදි මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි යන  විශ්වාසයෙනි.
 
චීනය ළඟට ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරු වන්නේ යුරෝපයයි.
 
යුරෝපය පසුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවෙන් මිලදී ගෙන ඇති බඩු වල වටිනාකම යුරෝ කෝටි 21කි. එය යුරෝපයෙන් ලංකාවට විකුණා ඇති භාණ්ඩ වල ආදායමට වඩා යුරෝ කෝටි 12කි.
 
 
 
 
 
###########
The Leader
 
 
දළදා පෙරහැටත් ඥානමෑණියන්ගේ පිහිටයි!
 

චීනයෙන් බැසිල්ට බාල්දියක් ? 
 

 
logo

subscribeYT

subscribeYT

නවතම පුවත්