එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ගොඩනැගීමට නියමිත 'ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ' ව්‍යවස්ථා කෙටුම්පත යලි සංශෝධනය කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ ඇතැම් පක්ෂවලටද නව සන්ධානයට එක්වීමට හැකිවන පරිදි එම සංශෝධන සිදු කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර එම සංශෝධන කෙටුම්පත් කරන මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රටේ අනාගත අභියෝග ජයගැනීම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලට අමතරව වෙනත් ප්‍රධාන පක්ෂ ද ගොනුකර ගනිමින් මෙරට විශාලතම ජනතා පෙරමුණක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඔහු විසින් පෙන්වා දී ඇත.
මේ අතර පසුගිය 02දා මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දැක්වූ අමාත්‍ය සුජීව සේනසිංහ පැවසුයේ, දැනට යෝජිත සන්ධානයට වඩා පුළුල් සන්ධානයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි.
''ඒකට මනෝ ගනේෂන් මැතිතුමා, රවුෆ් හකීම් මැතිතුමා, දිගම්බරම් මැතිතුමා, රිෂාඩ් බදියුදීන් මැතිතුමා, රාධා ක්‍රිෂ්ණන් මැතිතුමා, චම්පික මැතිතුමාලා පමණක් නෙවෙයි, අර්ජුන මැතිතුමාල පමණක් නෙවෙයි, ඊට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු, අනිකුත් පක්ෂවල මන්ත්‍රීවරු, මේ ආදී වශයෙන් ප්රජාතන්ත්රවාදය ගරු කරන, රටේ අනාගතයට විශේෂයෙන්ම ස්වර්ණමය යුගයක් බිහි කරන් බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසිඳු සියලුම නායකයන් එකතු කර ගැනීමේ චේතනාවෙන් තමයි අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධාරණය කළේ.''
යයි ඔහු එහිදී කියා සිටියේය.
ගිවිසුම්ගතවීම කල්දැමු හේතුව !
එක්සත් ජාතික පක්ෂය ද ඇතුළත්ව බිහි කිරීමට නියමිතව තිබූ සන්ධානයට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (05) දිනයේ සිදු කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණද එය දින නියමයක් නොමැතිව කල් දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ තීරණය කළේ එවැනි යෝජනා ගණනාවක් ඉදිරිපත්වීම නිසා බව එජාපය පවසයි.
රට සුරකින හා රට නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවතී සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වු බැවින් ඒ අදහස් පිළිබඳව සියලු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අදාළ සාකච්ඡාවන් නිම වන තුරු සන්ධානය සඳහා අත්සන් තැබීම කල් දැමිය යුතු බවට ද එකඟත්වයකට එළැඹි බවද ඔහු විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.
අලුත් සන්ධානය බිහි කිරීම ප්‍රමාද කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව බව අමාත්‍ය පී හැරිසන් ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහය ලබා දීමට මෑතකදී ආණ්ඩුවට එක්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
එම ආරංචිමාර්ග වලට අනුව විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන් මෙම තීරණය ගැනීමට නියමිත අතර මෙම පිරිසට එජාප ආසන සංවිධායක ධුරයන්ද ලැබෙනු ඇති බවද පැවසේ.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව පිහිටුවීමට යෝජිත ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබාගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් මෙහෙයවන lankaleadnews.com වෙබ් අඩවිය වාර්තා කර තිබේ.